Home භාෂණය වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්. ප්‍රේමවර්ධන

වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්. ප්‍රේමවර්ධන

0
වත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්. ප්‍රේමවර්ධන
ලංකාවට ද්විභාෂික අධ්‍යාපනයක් අවශ්‍ය බව නිදහසට පෙර යුගයේ සිට ම කතාබහට ලක්වූවකි. එය බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද විවිධ කොමිෂන් සභා මගින් ද අවධාරණය කෙරුණු කරුණකි. යටත්විජිත රාජ්‍යයක් වුවද, මෙරට දරුවන්ට මව් භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කරන්නට ඉඩ සැලසීම අත්‍යවශ්‍ය බව බ්‍රිතාන්‍යයන්ගේ අදහස විය.
ඊට වැදගත් උදාහරණයක් වන්නේ මෙරට සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික සිවිල් සේවකයන්ට සිංහල හෝ දෙමළ හෝ ඉගෙනගැනීම අනිවාර්ය කිරීම ය.
මෙවැනි වාතාවරණයක් යටතේ ය, ලංකාවේ පළමු අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා පත්වන්නේ. ඒ කාලයේ ක්‍රියාත්මක වූයේ කාරක සභා ක්‍රමයකි.
අධ්‍යාපන කාරක සභාවේ සභාපතිවරයා වූයේ නිල බලයෙන් කන්නන්ගරයන් ය. ඒ කාරක සභාවේ සාකච්ඡා කෙරුණු වැදගත්ම කාරණය වූයේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ය. ඊට අදාළ ව මුලින්ම පැමිණි යෝජනාව නම් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ය. නමුත් ඒ අදහස යට ගොස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතුය යන අදහස පෙරට ආවේය. එය එදවස සිදු වූ බරපතල අඩුපාඩුවකි. යම් හෙයකින් එදා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළේ නම් අපට ගුරු කොට ගත හැකි මුලක් දකින්නට හැකියාව තිබිණි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය

ජාතික ප්‍රතිපත්තිය මාරු වීමෙන් පසු කන්නන්ගරයන්ගේ මූලිකත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කෙරිණි. සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් පසු යටත්විජිත යුගයේ දී ක්‍රියාත්මක කළ වඩාත් ප්‍රජාතාන්ත්‍රික ම යෝජනාවලිය හෝ ක්‍රියාවලිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ය. මේ ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ කමිටුවට සියලූ ජාතීන්, සියලූ ආගම් නියෝජනය වන පරිදි සාමාජිකයන් පත් කරනු ලැබිණි. ඉන්පසු මේ යෝජනාවලියට මහජන අදහස් ලබාගැනීමේ පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි.
මුලින්ම කන්නන්ගරයන් ඇතුළු පිරිස කළේ පුවත්පත්වල දැන්වීම් පළකිරීම ය. ඉන්පසු පාසල්, පිරිවෙන් ඇතුළු සියලූ අධ්‍යාපන ආයතන වලට මේ සඳහා යෝජනා ඉල්ලමින් ලිපි යවන ලදි. ඊටත් එහා ගොස් තවදුරටත් මේ ක්‍රියාවලිය පුළුල් කරමින් ප්‍රාදේශීය මට්ටමින් මහජන සාකච්ඡා පවත්වන ලදි. ඒ සාකච්ඡා පැවැත්වූයේ මහනුවර, ගාල්ල, මඩකලපුව, යාපනය සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ය. එය රටේ සියලූ ආගම් සහ ජාතීන් නියෝජනය වන ඉතා පුළුල් හරස්කඩකි.
කන්නන්ගරයන් ප්‍රමුඛ පිරිස කටයුතු කළ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ජන හදවත්වලට කා වැදිණි. එදා සිට අද වන තෙක් ම ඉදිරිපත් වූ අන් කිසිම පනතක් හෝ යෝජනාවලියක් ඒ තරම් ජන හදවත්වලට කා වැදී නැත.
එය ඉතා හොඳින් පැහැදිලි වන උදාහරණයක් තිබේ. පසුගිය කාලයේ දී අපි මහජන පෙත්සමක් අත්සන් කළෙමු. ඒ නිදහස් අධ්‍යාපනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට ආණ්ඩුවට බල කරන්නට ය. එහි දී ජනතාව අපෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ නිදහස් අධ්‍යාපනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැද්ද යන්න ය. ඔවුන් සිතා සිටියේ නිදහස් අධ්‍යාපනය ලංකාවේ මූලික නීතියට ඇතුළත් කර ඇති බවකි. ඒ තරමට ම එය ජන මනස තුළ ක්‍රියාකාරී ය.

නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ල

සරල ව හඳුන්වන්නේ නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව යනු නිදහස් අධ්‍යාපනයේ පදනම් ලියවිල්ල ය. ඒ යෝජනාවලිය ය, මේ සා දැවැන්ත ප්‍රජාතන්ත‍්‍රවාදී ක්‍රියාවලියක් මගින් සකස් කෙරුණේ. ඒ වනවිටත් ලෝකයේ සමහර දියුණු රටවල් සමඟ සංසන්දනය කළ විට අදාළ යෝජනාවලියේ යම් අඩුපාඩු තිබුණද, එය සෑහෙන තරම් ඉදිරිගාමී විය. අඩුපාඩු තිබුණද, මේ ක්‍රමයේ තිබූ වඩාත් සාර්ථක ම යෝජනාව නම් ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තියයි.
කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ සඳහන් ව ඇත්තේ මව්භාෂාව පදනම් කරගත් ද්විභාෂික අධ්‍යාපන යෝජනාවලියකි. එනම් අධ්‍යාපනය ආරම්භ කළ යුත්තේ හැමවිටම මව්භාෂාවෙන් ය. ලංකාවේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ය. බර්ගර් ජනයා ඉංග්‍රීසි භාෂාව තම මව්භාෂාව ලෙස සැලකූ නිසා ඒ කාලයේ ඉංග්‍රීසි ද මව්භාෂාවක් ලෙස සලකන ලදි.
මෙසේ අධ්‍යාපනය ආරම්භ කිරීමෙන් පසු තුන් වැනි ශ්‍රේණියේ දී ක්‍රමානුකූලව දෙවැනි භාෂාව, භාෂාවක් ලෙස ඉගැන්වීම ආරම්භ කළ යුතුය යනුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ සඳහන් වේ. එනම් සිංහල ජනතාව දෙමළ විෂයක් ලෙස ඉගෙන ගනී. දෙමළ ජනතාව සිංහල විෂයක් ලෙස ඉගෙන ගනී.

සියලුම ළමයින් ද්විභාෂික වන්නේය

ඉන්පසු අවුරුදු 14 ක් ගත වන විට, එනම් නව වැනි ශ්‍රේණියේ දී පාසල් අධ්‍යාපනය ලබන සියලූම ළමයින් ද්විභාෂික වන්නේය යන්න මෙහි අරමුණ ලෙස සඳහන් විය. එනම් කතා කිරීම, ලිවීම, සවන්දීම යන සියලූ අංශ වලින් ළමයින් ද්විභාෂික ය. අද වන විට ලෝකයේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාල පර්යේෂණ කර සොයාගෙන ඇත්තේ ඕනෑම දෙවැනි භාෂාවකින් හොඳ නිපුණත්වයක් ළඟා කර ගැනීමට නම් අවුරුදු හයක් – අටක් අතර කාලයක් ඒ භාෂාවෙන් වැඩ කළ යුතුය යන්න ය.
මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් ගුරුවරුන් ද ඒ දැනුම ලබා ගත යුතුය. එම නිසා කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ පැහැදිලිව සඳහන් වන්නේ සියලූම ගුරුවරුන් අනිවාර්යෙන්ම ද්විභාෂික විය යුතු බව ය. මේ ක්‍රමයට අනුව සියලූම ගුරුවරුන් ද්විභාෂික වී, මේ ක්‍රමයට අනුව නිවැරදිව සිසුන්ට ද්විභාෂික අධ්‍යාපනය ලබාදුන්නේ නම් අද ලංකාව වඩාත් ඉදිරිගාමී තැනකට ගොස් තිබෙනු නියත ය. මුළු රට ම ද්විභාෂික වනවා කියන්නේ රටින් පිටතදී කෙසේ වෙතත් රට අභ්‍යන්තරයේ දී කිසිදු ආකාරයක භාෂා ගැටළු හෝ සන්නිවේදන ගැටලු හෝ ඇති නොවන්නේය.
ඊළඟට අප සාකච්ඡා කළ යුත්තේ කන්නන්ගරයන් මේ සා වැදගත් යෝජනාවලියක් හඳුන්වා දීමට පුරෝගාමී වුවද, එය ඉදිරියට නොගියේ ඇයිද යන්න පිළිබඳව ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මෙරට පැවැත්වූ පළමු මැතිවරණය, එනම් 1947 මැතිවරණයෙන් කන්නන්ගරයන් පරාජයට පත් කෙරිණි. එය පරාජය වීමක් නොවේ. ඒ කාලයේ තිබූ ප්‍රධානම පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණද, එතුමා තරග කළ මතුගම ආසනයට පක්ෂයේ කිසිදු නායකයකු ඡන්ද වැඩට සහාය දෙන්නට හෝ වේදිකාවක කතා කරන්නට පැමිණ නැත. වාමාංශික යැයි කියූ පිරිස් ද වක්‍ර ලෙස සහාය ලබා දුන්නේ මෙවැනි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ මිනිසා පරාජයට පත් කිරීමට ය.

ජාතික ප්‍රතිපත්තිය පරාජයට පත් කිරීම

මෙවැනි බාධා මැද වුවද කන්නන්ගරයන්ගේ මේ යෝජනාවලිය සාර්ථක කරගැනීමට පෙරමුණ ගත් දැවැන්තයෙකි, ඊ.ඩබ්ලිව්.අදිකාරම්. ඔහු රට වටා ගොස් මේ ගැන දේශන පවත්වා තිබේ. ඒ අතර ඉහළ පෙළේ දේශපාලනඥයන්ගෙන් බහුතරය මීට විරුද්ධ බව ද ඔහු පවසා ඇත.
මේ දේශපාලනඥයන්ට බලපෑමක් කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ පාර්ශ්ව එක්ව කළ රැස්වීම් ය. ජනතාව ඊට දැඩි උනන්දුවකින් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ ජනතාව ලක්ෂ ගණන් පෙත්සම් කතානායකවරයාට එවා ඇත. තමන්ගේ ආසනයේ මන්ත්‍රීවරයාට මේ පනතට අත උස්සන ලෙස බලකරමින් ටෙලිග්‍රෑම් යොමු කර ඇත. අවසානයේදී ජාතික රාජ්‍ය සභාවේ විවාදය යන අතරතුර වල්පොළ රාහුල හිමියන් පෙරටුකොට ගත් හාමුදුරුවරුන් සහ අනෙකුත් ආගම් වල පූජකවරුන් රාජ්‍ය සභාවේ අසුන්ගෙන සිට ඇත. එවැනි බලපෑමකින් ය, ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සියල්ල පරාජය කිරීමට දත-කට මැදගෙන සිටි මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්මත කරගෙන ඇත්තේ.
කන්නන්ගරයන්ගේ යෝජනා ජනතා මැදිහත්වීමෙන් සම්මත කරගත්තද, කන්නන්ගරයන්ට නැවත අධ්‍යාපන ඇමැතිකම දෙන්නට පාලකයන් කටයුතු කළේ නැත. මේ සා වැදගත් යෝජනාවලියක් ඉදිරිපත් කළ එතුමාට ලබා දුන්නේ වෙනත් ඇමැති ධුරයකි. අධ්‍යාපන ඇමැති ධුරය ලබා දුන්නේ මුල සිටම නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූ අයකුට ය. තත්ත්වය අභාග්‍ය සම්පන්න ලෙස ඉදිරියට යන්නේ මෙසේ ය.
ඊටත් වඩා කනගාටුදායක කරුණ නම් 1956 වර්ෂයත් සමඟ රට පුරා පැතිර ගිය වාර් ගික ප්‍රබෝධය ය. සිංහල පමණක් වැදගත් ය යන්න පැතිර ගිය ප්‍රබල මතවාදය ය. නිදහසට පෙර සිට ම යම් යම් ආකාරයේ මෙවැනි වාර්ගික කොටස් ඉස්මතු වුවද, එය ප්‍රබල ලෙස කරළියට ආවේ පනස් හය කාලයේ ය. ඒ කාලයේ දී වාර්ගික අවශ්‍යතා ජාතික අවශ්‍යතා පරදවා ඉදිරියට ආවේය. මේ වාර්ගික ප්‍රබෝධය නිසා ම මැතිවරණවලදී මෙය ජන මනස වෙනස් කිරීමට යොදා ගැනිණි. එහි කූඨප්‍රාප්තිය වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ය. එය පනතක් හරහා ම සිදු වූ නීතිගත කිරීමකි.
එයින් පසු කන්නන්ගරයන්ගේ ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය පසෙකට දමා, ස්වභාෂාවෙන් පමණක් ඉගැන්විය යුතුය යන මතය ඉදිරියට ගෙනාවේය. එය දේශපාලනඥයන් විසින් වෛරය පතුරවන ආකාරයෙන් ජනතාවගේ ඔළුවට දමනු ලැබිණි. මෙය මුල සිට ම විශ්වවිද්‍යාල දක්වා ම ක්‍රියාත්මක විය. අවාසනාවට කන්නන්ගරයන් දසක ගණනාවක් ඉදිරිගාමීව දකිමින් ලෝකයට පෙර අපේ රටට හඳුන්වා දුන් ද්විභාෂික අධ්‍යාපන ප්‍රතිපත්තිය වළපල්ලට ගියේය.
කළ යුත්තේ කඩිනමින් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් ගොඩනැගීම ය. ඒ හරහා යළිත් මතුවෙමින් පවතින ජාතිවාදී සහ වර්ගවාදී රැළි යටපත් කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ එකිනෙකාට සැකයකින් තොරව ඒ දැනුම බෙදා ගත හැකි පරිසරයක් සකස් කිරීම ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here