පරිපාලනය නඩු කියද්දී බණ්ඩාරවෙල විශේෂ අවශ්‍යතා සහිත පාසලේ දරුවෝ කුසගින්නේ !

(ශාලික විමලසේන)
සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික මැදිහත්වීම නිසා විශේෂ අවශ්‍යතා සහිත සිසු-සිසුවියන් අධ්‍යාපනය ලබන බණ්ඩාරවෙල ශ්‍රී සුදර්ශි විශේෂ පාසලේ සහ තංගල්ල, පොළොම්මාරුව අඳ-බිහිරි පාසලේ කටයුතු පවත්වාගෙන යෑම බරපතළ ගැටළුවක් වී තිබේ.

දෙපාර්තමේන්තු තීරණයෙන් මුළුතැන්ගේ වැඩ නවතී

1979 වසරේදී ආරම්භ කරන ලද මෙම පාසල් දෙක, එක පාලක මණ්ඩලයක් මගින් පාලනය කෙරුණු අතර, 2017 ජනවාරි මාසයේ සිට මෙම පාසල් දෙකේ පරිපාලන කටයුතු දෙපාර්තමේන්තුව මගින් පවරාගෙන ඇත. ඉන්පසු අදාළ පාලන කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු යටතට පවරා ඇතත්, පරිපාලනයට අවශ්‍ය මුදල් නිදහස් නොකිරීම නිසා පාසල්වල සේවය කරන සාමාන්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම පවා පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සිදු කර නැත.
මේ නිසා බණ්ඩාරවෙල ශ්‍රී සුදර්ශි විශේෂ පාසලේ මුළුතැන්ගෙයි කටයුතු කළ සේවිකාවන් දෙදෙනා ද පාසලේ සේවයෙන් ඉවත් වී ඇති අතර, සිසු-සිසුවියන්ට ආහාර ලබාගැනීම පවා මේ වනවිට අසීරු වී තීබේ. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් කෑම පාර්සල් ලබාගැනීම මගින් මෙම ගැටළුව තරමක් දුරට මගහරවා ගැනීමට උත්සාහ කළද, පවතින වසංගත තත්ත්වය නිසා එය ද අසීරු කටයුත්තක් වී ඇතැයි පෙන්වා දෙන එම පාසලේ විදුහල්පති ඩබ්ලිව්.එම්.ඥානතිලක, තමන්ට සහ බිරිඳට සිසු-සිසුවියන්ට ආහාර ලබාදීමට සිදු වී ඇතැයි ද සඳහන් කරයි.

රජයේ නියමය

එක වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසලේ සිසු-සිසුවියන් 123 දෙනෙක් අධ්‍යාපනය ලබති. එහෙත් මේ දිනවල පාසල් පැවැත්වෙන්නේ 6 – 11 දක්වා අධ්‍යාපනය ලබන සිසු-සිසුවියන් 69 දෙනෙකුට පමණක් වන අතර, ඒ අතරින් 50කට ආසන්න සිසු පිරිසක් පාසලේ නේවාසිකාගාරවල නැවතී සිටී. විශේෂ අවශ්‍යතා සහිත මෙම දරුවන්ට ආහාර ලබාදීම, නේවාසිකාගාර පිරිසිදු කිරීම වැනි කටයුතුවල යෙදී සිටි සාමාන්‍ය සේවකයන් වැටුප් නොලැබීම නිසා සේවයට වාර්තා නොකිරීමෙන් බරපතළ ගැටළු මතුවෙමින් පවතින බවත්, එසේ වුවද රජයේ නියමය පරිදි පසුගිය නොවැම්බර් 23 දා සිට පාසල පවත්වාගෙන යෑමට සිදු වූ බවත් විදුහල්පතිවරයා පෙන්වා දෙයි. මේ දුෂ්කර තත්ත්වය නිසා පාසල වසා දැමීමට උත්සාහ කළද, අධ්‍යාපන අමාත්‍යංශංයෙන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ද ඊට ඉඩක් නොලැබුණු බවත්, මේ වන විට විදුලි සැපයුම පවා අත්හිටුවන තත්ත්වයකට පැමිණ ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළ විදුහල්පතිවරයා, දෙසැම්බර් 23 දා නිල වශයෙන් පාසල් නිවාඩු ලබාදීමෙන් පසු මේ තත්ත්වය යටතේ නැවත ආරම්භ කිරීම ගැටළුවක් බව ද MediaLK වෙත අවධාරණය කළේය.

සෞඛ්‍ය නිර්දේශ

තංගල්ල, පොළොම්මාරුව අඳ – බිහිරි පාසල යනු එක වසරේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන එකම අඳ – බිහිරි පාසල වේ. මෙහි ශ්‍රව්‍යාබාධිත අංශයේ සිසුන් 86 ක් ද, දෘශ්‍යාබාධිත අංශයේ සිසුන් 72 ක් ද අධ්‍යාපනය ලබමින් සිටී. වසංගත තත්ත්වය යටතේ නිරෝධායන නීතිවලට අනුකූලව පාසල පවත්වාගෙන යෑමේ දුෂ්කරතා ඇති බව දැනුම් දීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් පාසල වසා දැමීමට නිර්දේශ කළ බව එහි නියෝජ්‍ය විදුහල්පති ඩී.ජී.කුලරත්න සඳහන් කළේය. මේ නිසා පාසලේ වියදම් පිළිබඳ බරපතළ ගැටළුවක් මතු වී නැතත්, සාමාන්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක් බව ද නියෝජ්‍ය විදුහල්පතිවරයා අවධාරණය කළේය.

නඩුවක් තියෙනවා

මෙම පාසල් දෙකේ මතු වී තිබෙන ගැටළුව පිළිබඳව සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී, එහි ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ මීට අදාළ ව නඩුවක් විභාග වන නිසා මාධ්‍යයට කිසිවක් පැවසිය නොහැකි බවයි. මෙම පාසල්වලට අදාළ සමාජ සේවා විෂය භාර රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ, ඔහුගේ දුරකතනයට අද (19) දිනය පුරාම ප්‍රතිචාර නොදැක්වූ නිසා ය.

සමාජ සේවා ආඥා පනත

උපකෘත පාසල් පනත යටතේ 1979 වසරේදී ආරම්භ කරන ලද මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන පාසල් දෙක ආරම්භයේ සිට ම පාලනය වූයේ විශේෂ අධ්‍යාපන සේවා සමිතිය මගින් ය. මෙම පාලක සභාවේ පරිපාලන සහ මූල්‍ය ගැටළු ඇති නිසා පාසල් දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි පවරාගන්නා බව 2017 ජනවාරි 22 වැනිදා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමේදී සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇත්තේ සමාජ සේවා ආඥා පනතේ 33 සහ 34 වගන්ති යටතේ මෙම පවරාගැනීම සිදු කළ බවයි.
එහෙත් තංගල්ල, පොළොම්මාරුව අඳ – බිහිරි පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා සඳහන් කරන්නේ අදාල වගන්ති යටතේ මෙම පාසල් පවරාගැනීම නීතිවිරෝධී බවයි. සමාජ සේවා ආඥා පනතේ 33 වගන්තියේ සඳහන් වන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුවට මෙම පාසල් පරීක්ෂා කළ හැකි බවයි. එම පනතේ 34 වගන්තියට අනුව එසේ පරීක්ෂා කළ නොහැකි වුවහොත් අධිකරණයේ නඩු පවරා, පරිපාලන කටයුතුවලට මැදිහත්වීම සඳහා දෙපාර්තමේන්තුවට බලය තිබේ. නියෝජ්‍ය විදුහල්පතිවරයා සඳහන් කරන්නේ පනතට අනුව අධිකරණ ක්‍රියාවලියක් නොමැතිව මෙම පවරාගැනීම් සිදු කළ බවයි.

නඩු පිට නඩු

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල දිසා අධිකරණයේ SPL/417 අංකය යටතේ දෙපාර්තමේන්තුවට පවරාගන්නා විට සිටි පාලක සභාව නඩු පවරා ඇත. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සුදුස්සන් තේරීම සඳහා මහ සභාව පවත්වන ලෙසයි. ඉන්පසු මහ සභාව ව්‍යවස්ථා විරෝධී ලෙස පැවැත්වීමේ උත්සාහයක් සම්බන්ධයෙන් තංගල්ල දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර, එම අධිකරණයෙන් මහ සභාව පැවැත්වීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පාලක සභාවේ බලය අපේක්ෂා කරන කණ්ඩායම් දෙකක් විසින් මෙම අධිකරණ කටයුතු මෙහෙයවා ඇති අතර, ඔවුන් කොළඹ මහාධිකරණයේ ද තවත් නඩුවක් පවරා ඇත. ඉන්පසු පාලන බලය තිබූ කණ්ඩායම විසින් සමාජ සේවා දෙපාර්තමේන්තුව අදාළ පාසල් පවරාගැනීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර තිබේ. පසුගිය අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණයෙන් මීට අදාළ ව තීන්දුවක් ලබාදෙමින් පවසා ඇත්තේ කඩිනමින් පාසල් පරිපාලනය පෙර පැවැති පාලක සභාවට පවරන ලෙසයි.

බැංකු ගිණුම් බ්ලොක්

එහෙත් මෙතෙක් අදාළ පාසල් සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන මුදල් පාලක සභාවට නිදහස් කරන ලෙස ලිඛිතව දැනුම් දී නැති බවත්, එම ගිණුම් අත්හිටුවීම නිසා අධිකරණ තීන්දුවක් ලැබී තිබුණද පරිපාලන ගැටළු එසේ ම පවතින බවත් විදුහල් දෙකේ ම විදුහල්පතිවරු පවසති. ඊයේ දිනයේ තංගල්ල මහජන බැංකු ශාඛාවෙන් දුරකතනයෙන් කතා කොට, වහාම ගැටළුව විසඳන බව පැවසුවද, ලිඛිතව එය ලබාදිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. එසේ නොකොට අත්හිටවූ ගිණුමකින් මුදල් ගනුදෙනු කළ හැකි දැයි ඔවුහු වැඩිදුරටත් ප්‍රශ්න කරති.

ළමුන්ගේ රුපියල් 50 දීමනාව

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත පාසල්වල නේවාසිකව අධ්‍යාපනය ලබන ළමුන් වෙනුවෙන් දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 50 ක් පමණි. රජයේ නිර්ණායකවලට අනුව එම රුපියල් 50 ක මුදලෙන් ළමයකුගේ දිනක අවශ්‍යතා සපුරාගත යුතුය. එය කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් වන නිසා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මෙම පාසල්වල දෛනික කටයුතු පවත්වාගෙන යන බව අනුරාධපුරයේ පිහිටි රියන්සි අලගියවන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ හිටපු විදුහල්පති (විශ්‍රාමික) බී.ආනන්ද සෙනෙවිරත්න MediaLK වෙත පැවසීය.
මෙම මුදල රුපියල් 100 ක් දක්වා හෝ වැඩි කරන ලෙස ඉල්ලා සිටියද ඊට පිළිතුරක් නොලැබුණු බව සඳහන් කළ හිටපු විදුහල්පතිවරයා, 2016 අයවැය යෝජනා මගින් රුපියල් 150 ක් මෙම සිසුවකුට ලබාදීමට යෝජනා-සම්මත වූ බව ද පෙන්වා දුන්නේය. එසේ යෝජනා-සම්මත වුවද මෙතෙක් එය ක්‍රියාත්මක වී නැත. හිටපු විදුහල්පතිවරයා අවධාරණය කරන්නේ මෙම මුදල ද ලබාදෙනු ලබන්නේ පැමිණීමේ දීමනාවක් ලෙස බවයි. ඒ අනුව නොපැමිණි දින වෙනුවෙන් සිසුන්ට එම රුපියල් 50 හෝ ලැබෙන්නේ නැත. රට පුරා මෙවැනි පාසල් 28 ක පමණ, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 3,200 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටී. එහෙත් මෙම කිසිදු පාසලක් රජය යටතේ පාලනය වන්නේ නැත. ඊට හේතුව මෙම පාසල් තවදුරටත් උපකෘත පාඨශාලා පනත යටතේ පාලනය වීම ය. 1948 ට පෙර යුගයේදී මෙරට අධ්‍යාපනය ක්‍රියාත්මක වූ මිෂනාරි පාසල් පැවතියේ මෙම පනත යටතේ ය. ඉන්පසු පිරිවෙන් ඇතුළු ආගමික පාසල් සහ අනෙකුත් බොහෝ අධ්‍යාපන මධ්‍යස්ථාන මේ පනතින් ඉවත් කොට රජයේ පූර්ණ පාලනය යටතට හෝ අර්ධ පාලනය යටතට පත් කෙරිණි. එහෙත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ පාසල් තවමත් පාලනය වන්නේ අදාළ පනත මගින් වන නිසා, රජයට ඒවා පිළිබඳ වගකීමක් නැති බව ද විශ්‍රාමික විදුහල්පති සෙනෙවිරත්න පෙන්වා දෙයි.

දරුවන්ගේ අධ්‍යාපන අයිතිය

පවතින වසංගත තත්ත්වය යටතේ මේ ආකාරයට රජයෙන් ලබාදෙන අවම සහාය පවා නොමැති වූ විට, මෙම පාසල් පවත්වාගෙන යෑමත්, අදාළ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමත් බරපතළ ගැටළුවක් බව අදාළ පාසල්වල විදුහල්පතිවරු අවධාරණය කරති. නිදහස් අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව අධ්‍යාපනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් පැවැති සහ පවතින ආණ්ඩුවලට දිගටම බලපෑම් කරන ලද කරුණකි. එහෙත් මෙතෙක් එය සිදුවූයේ නැත.

 

(ඡායාරූපය සහ ප්‍රවෘත්තිය අතර සම්බන්ධයක් නැත. ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.)

Previous articleවත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්. ප්‍රේමවර්ධන
Next article(පරාජිත) ජාතික ලැයිස්තු මන්ත්‍රී රතන හිමි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලු කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here