දුම්රියෙන් වැලි ප්‍රවාහනය පාඩුවට කරන්නැයි ඇමැතිගෙන් නියෝගයක් !

මඩකලපුව, එරාවුර් සිට කොළඹ දක්වා දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීමේ අවස්ථාව ලබා දී ඇති පෞද්ගලික සමාගමට විශේෂ සහන ලබාදීමට ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ කටයුතු කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුදලක් අහිමි වන බව දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ පවසන්නේ ඇමැතිවරයාගේ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද දැනුම් දී ඇති බවයි. එසේම මේ සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට ද කටයුතු කරන බව ඔහු සඳහන් කර සිටී.
MediaLK කළ විමසීමකදී ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, තමන්ට අවශ්‍ය වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන විශාල පාඩුව අවම කිරීමට බව ද සඳහන් කළේය.

රාජ්‍ය ආයතන සහනය පෞද්ගලික අංශයටත්

මඩකලපුව, එරාවුර් සිට කොළඹ දුම්රිය අංගනය දක්වා වැලි ප්‍රවාහනය සඳහා සම්බන්ධ වී සිටින්නේ හේමචන්ද්‍ර ඇසෝසියේටඩ් පෞද්ගලික සමාගම ය. ඒ සඳහා සමාගමට අයත් කන්ටේනර් බහාලුම් 20 ක් යොදාගෙන ඇති අතර, දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බීසීඑෆ් බොගී කන්ටේනර් ෆ්ලැට්ස් (BCF Bogee Container Flats) 10 ක් සහ එම් – 11 හා එම් – 4 වර්ගයේ එන්ජින් දෙකක් ද යොදගෙන තිබේ.
භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රියක් ඒ සඳහා යොදවා ඇති අතර, දුම්රිය කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා විධිමත් මිල ගණන්වලට අනුව රුපියල් 925 ක ගාස්තුවක් අයකළ යුතු වුවද, එය ද මෙහිදී අඩු කර ඇත. මේ මුදල රාජ්‍ය ආයතන සඳහා පමණක් ලබාදෙන සහන ගාස්තුවක් බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. මෙය 2012 වසරේදී අනුමත කරන ලද ගාස්තුවක් වන අතර, එය සංශෝධනය කර ද නැත. කොළඹ සිට එරාවුර් දක්වා දක්වා යෑමේ සහ ඒමේ දුර කිලෝමීටර් 680 ක් පමණ වේ. සැලසුම්වල සඳහන් ආකාරයට එක් දුම්රිය වාරයකින් ප්‍රවාහනය කරන වැලි කියුබ් ප්‍රමාණය 108 කි. කිලෝමීටර් 680 ක ගමන්වාරයක් සඳහා කිලෝමීටරයකට සම්මත ගාස්තුව ලෙස රුපියල් 925 බැගින් අයකරන්නේ නම්, දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල රුපියල් 6,29,000 කි. ඊට සියයට 8 ක වැට් බද්දක් ද අයවිය යුතු අතර, ඒ දෙකේ එකතුව රුපියල් 6,79,320 කි.

සියයට 50 ක අඩු කිරීමක්

එහෙත් ප්‍රවාහන ඇමැතිවරයාගේ නියෝගයකින් වැලි පැටවීමට යන ගමන් වාරයක් සඳහා වන අයකිරීම සියයට 50 කින් අඩු කර ඇත. දුම්රිය ආඥා පනතට අනුව ඇමැතිවරයාට එවැනි බලයක් පැවරී නැති බව දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති අවධාරණය කර සිටී. කෙසේ වෙතත් ඇමැතිවරයාගේ අදාළ නියෝග නිසා එක් දුම්රිය ගමන් වාරයක් සඳහා අය කරන්නේ රුපියල් 4,71,750 කි. ඊට එකතු වන වැට් බදු මුදල රුපියල් 37,740 ක් වේ. එනම් සමාගමෙන් එක් ගමන් වාරයක් සඳහා මේ වනවිට අය කරන්නේ රුපියල් 5,09,490 කි.
ඒ අනුව ඇමැතිවරයාගේ මෙම තීරණය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට එක් ගමන් වාරයකින් රුපියල් 1,69,830 ක පාඩුවක් සිදු වේ. එම ගමන් වාරයකින් රජයට අහිමි කර ඇති බදු ආදායම රුපියල් 12,580 කි. මේ වනවිට දින තුනකට වරක් මෙසේ දුම්රියෙන් වැලි ප්‍රවාහනය කිරීම සිදු වන අතර, මාසයකට දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 16,98,300 ක මුදලක් අහිමි වේ.

ලොකු ලාබයකට පොඩි පාඩුවක් – ඇමැති

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමසීමේදී ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලබාගැනීමට නම් මුල් අවස්ථාවේදී සහන ලබාදීමට සිදු වන බවයි. වැලි ගෙන ඒම සඳහා යන දුම්රිය ගමන් වාරය සඳහා සියයට 50 ක සහනයක් ලබාදී ඇති බව සත්‍යයක් යැයි ද ඇමැතිවරයා තහවුරු කළේය. එමගින් සිදුවන පාඩුව පිළිබඳව විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ දීර්ඝ කාලීන ලාභයක් වෙනුවෙන් කෙටි කාලීන පාඩුවක් විඳින්නට සිදු වන බවත්, ඉදිරියේදී තරගකාරී සමාගම් කිහිපයක් යොදවා දිනපතා වැලි ප්‍රවාහනයට කටයුතු කරන බවත් ය. මඩකලපුවේ සිට මෙන්ම කන්තලේ සිට කොළඹට වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.
Previous articleසැකකරුවන් පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ව්‍යවස්ථා විරෝධීයි – නීතිඥයෝ මාධ්‍යයට කියති !
Next articleවත්මන් අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි – ප්‍රවීණ ලේඛක සහ දේශක ටී. එම්. ප්‍රේමවර්ධන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here