අධිකරණයේදී වගේම මහ පාරෙදිත් විස්සට එරෙහිව සටන් කරනවා – එම්.ඒ.සුමන්තිරන්

වර්තමාන ආණ්ඩුව විසින් ගැසට් කරනූ ලැබු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් එමගින් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස විනාශයට පත්වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

දෙමළ ජනතාව වශයෙන් සමස්ත ජනතාවගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකගැනීම වෙනුවෙන් අධිකරණයේදී මෙන්ම මහ පාරේද පෙනීසිටීමට තමන් සූදානම් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

Medialk.com සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට විසිවැනි සංශෝධන කෙටුම්පත පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි ඇති බරපතළ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ජනතාව අවබෝධ කරගනිමින් සිටීම වැදගත් බවත් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

මර්දනයට පහසුයි

‘ආණ්ඩුව හඳුන්වලා දීලා තියෙන විසිවැනි සංශෝධන කෙටුම්පතෙන් බිහිවන්නේ ඒකාධිපති ආණ්ඩුවක්. භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුත් මීට එරෙහිව නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒක ඉතා වැදගත්. දකුණේ ප්‍රගතිශීලී කණ්ඩායම් මේ වනවිටත් මීට එරෙහිව වැඩ ආරම්භ කරලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත විය යුතුයි. අපි පැහැදිලිවම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය නැතිව ගියොත් ජනතාව මර්දනයට ලක්කිරීම වඩාත් පහසු වෙනවා. සියලු ජනතා සටන් ඉදිරියට ගෙනයන්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම අතිශයින්ම වැදගත්.

2010 සැප්තැම්බර් 08

දෙදාස් දහයෙ සැප්තැම්බර් අටවැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නැගුවෙ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය වළ දැමීමට එරෙහිව අපි ඒ වෙලාවෙත් සෘජුව පෙනී සිටියා. දැන් නැවතත් ඔවුන් ඒ වරදම කරන්න උත්සාහ කරනවා.

අපි වර්තමාන ආණ්ඩුවට අනතුරු අඟවනවා, මේ විදිහට වැඩ කරන්න ගියොත් ඔවුන්ට වැඩි කාලයක් ආණ්ඩු කරන්න ලැබෙන්නෙ නැති වෙයි කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන කවරෙකු වුවත්, සාමූහික සටන් ඉදිරියේ අනිවාර්යෙන්ම පරාජයට පත්වෙනවා.

ස්වාධීන නම පමණයි

විසිවැනි සංශෝධනය විදිහට ගෙනැති තියෙන්නෙ එදා ගෙනාපු දහඅටවැනි සංශෝධනයමයි. ඒ ඒකාධිපතිත්වය වෙනස් කරන්න දහනව වැනි සංශෝධනයෙන් අපිට පුළුවන් වුණා. ඒත් දැන් ඒක ආපහු හරවන්නයි හදන්නෙ. මේක සම්මත වුණොත් ස්වාධීන කොමිෂන් සභාවලට නැවත ස්වාධීන තත්ත්වයට එන්න ලැබෙන්නෙ නැහැ. එහෙම වුණොත් ඒවා ස්වාධීන කොමිෂන් සභා වන්නේ නමට පමණයි.

2018 ආපසු හැරවීම

මෙයින් ජනාධිපතිවරයාට නැවත මුක්තිය ලැබෙනවා. දහනව වැනි සංශෝධනයෙන් මුක්තිය අහිමි කළ නිසා තමයි, දෙදාස් දහ අටේ ඔක්තෝබර් මාසෙ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී විදිහට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අධිකරණය හරහා ආපහු හරවන්න අපිට පුළුවන් වුණේ. මේ සියලු කරුණුවලින් පැහැදිලි වෙන්නෙ ආණ්ඩුව අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයකට යන්න උත්සාහ කරන බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දෙනා මීට එරෙහිව එකතු වෙන්න ඕනෙ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පාර්ශ්වවලට අපි ආරාධනා කරනවා මේකට. මේක උතුරට හෝ දකුණට විතරක් අදාළ දෙයක් නෙමෙයි. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදයයි නැතිවෙන්නෙ.

දැනට මන්ත්‍රීවරු 31 ක්

දැනටමත් අපි රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් කියන මන්ත්‍රීවරු එක්ක මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානය සහ ඔවුන් එකතු වුණාම මන්ත්‍රී ආසන 25 ක් තියෙනවා. උතුරේ අනෙක් තුන්දෙනාත් එක්ක මන්ත්‍රී ආසන 28 යි. ජනතා විමුක්ති පෙරමුණත් එක්ක 31 ක් වෙනවා. සමගි ජන බලවේගය සහ මේ අනතුර දකින සියල්ලන් මේ සටනට එක්කරගත යුතුයි.

Previous articleආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ මුල්වරට එක්වෙයි – අවසාන තීරණය 20
Next articleදේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here