ආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ මුල්වරට එක්වෙයි – අවසාන තීරණය 20

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උතුරු පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) යාපනය, තරුණ කලාකරුවන්ගේ මණ්ඩපයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

උතුරේ වර්තමාන දේශපාලන වාතාවරණය සහ තිලීපන් සැමරුම සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. මාවෙයි සේනාධිරාජාගේ ආරාධනයෙන් අදාළ දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් මෙම සාකච්ඡාවට පැමිණ ඇත.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් අවසාන තීන්දුව සහ එය සංවිධානය කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවසාන තීන්දුවක් ගැනීමට ලබන 20 වැනිදා පෙරවරු 9 ට නැවතත් රැස්වීමට ද මෙහිදී තීරණය කර තිබේ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසුගිය නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසු උතුරේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පොදු තීරණයක් ගැනීම සඳහා රැස් වූ මුල්ම අවස්ථාව මෙය වේ.

මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.සරවනබවන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම්, යාපනය මහ නගර සභාවේ උප සභාපති ඊසන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන පී.කජීපන්, වී.කනගරත්නම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයේ නායක සී.වෙන්දන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here