ඉහළ පොලිස් ලොක්කන් මාරු කිරීමේ බලය අමාත්‍යාංශ ලේකම්ට

(නිලුක සඳුන් පද්මසිරි)

ඉහළ පොලිස් නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් විෂය බාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්⁣ට පවරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට පෙර පොලිස් ස්ථානාධිපති සිට පොලිස්පති හැර පොලිස්පති දක්වා ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ස්ථාන මාරුකිරීම, උසස් කිරීම, පත්කිරීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පොලිස් කොමිෂන් සභාවට පැවරී තිබිණි. පොලිස් ස්ථානාධිපති හැර ඉන් පහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ බලය පොලිස්පතිට පවරා තිබිණි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 57(1) ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙලෙස බලතල පැවරීම සිදු කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්.ඒ.බී දයා සෙනරත් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 2202/24 දරණ ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරී සහ ඊට ඉහළ නිලධාරීන් ස්ථාන මාරු කිරීම, වැරදි පිළිබඳ විනය පාලනය සහ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල පොලිස් විෂය බාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත පවරා තිබේ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී නිලයන් සහ ස්ථානභාර නිලධාරීන් ස්ථාන මාරු කිරීමේ බලතල ද එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනු ලැබ ඇත.

සරත් වීරසේකර ඇමති ධුරයේ දිවුරුම් දෙයි

චමල් රාජපක්‍ෂ මහතා යටතේ පැවති රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉවත් කර අලුතින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශයක් සකස් කර ඒ යටතට පවරා තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් ප්‍රකාශයට පත් කරමින් පසුගියදා 2207/25 දරණ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරිණි. ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට එම ගැසට් නිවේදනයෙන් පවරා ඇත.

එලෙස සකස් කෙරුණු නව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(25) දිවුරුම් දුන්නේය. එමෙන්ම චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වීරසේකර මහතා මේ වන විට පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

Photo-PMD

ඒ අනුව එම ගැසට්ටුවෙන් ඉහත බලතල හිමිවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාවරයා ලෙස මීට ⁣පැය කිහිපයකට පෙර දිවුරුම් දුන් සරත් වීරසේකර මහතාගේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. මෙතෙක් එහි ලේකම්වරයා කවුදැයි යන්න නිවේදනය කර නැත.

ස්ථානභාර නිලධාරීන් සහ ඊට පහළ නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලතල පහත පරිදි වෙයි.

 

Previous articleශානිගේ ආරක්ෂාව ගැන තරුණ ජනමාධ්‍යවේදීහු මානව හිමිකම් කොමිසමට ලියති
Next articleශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here