විස්සෙන් අධිකරණය විධායකය යටතට

යෝජිත 20 වැනි සංශෝධනය ඒ ආකාරයෙන්ම සම්මත වුවහොත් අධිකරණය විධායකය යටතට පත්වන බවත් මෙම කෙටුම්පත බලතල බෙදීමේ න්‍යායට පටහැනි බවත් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා සඳහන් කළේය.

මෙම සංශෝධනය හරහා තවදුරටත් ස්වාධීන කොමිෂන් සභා නොමැති වන අතර ඒවා විධායකයේ කොමිෂන් සභා බවට පත්වන බවද Medialk.com සමග අදහස් දක්වමින් හෙතෙම පැවසීය.

20 වැනි සංශෝධනය අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ඕනෑම කොමසාරිස්ව⁣රයකු හේතු දක්වා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බවට සඳහන් කර ඇතැයි ද ඒ මහතා කීවේය.

පහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම, ස්ථානමාරු කිරීම්, උසස්වීම් ලබාදීම, විනය පරීක්ෂණ කිරීම ආදී කටයුතු මෙන්ම අධිකරණ උපලේඛණ ගත නිලධාරීන්ගේ පත්කිරීම්, පරීක්ෂණ සේවා සමාප්ත කිරීම්, ස්ථාන මාරුකිරීම්, උසස් කිරීම් ආදිය සිදු කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු  ඉවත්කරන ලද්දේ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කිරීම මගින් බවත් 1946 සිටම මෙම කොමිෂන් සභාවේ පාලනය විධායකයෙන් ඈත් කර තිබූ බවත් නීතිඥ ජගත් ලියනාරච්චි මහතා අවධාරණය කළේය.

විධායක,ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන බලතලවලදී අධිකරණය පිහිටවා ඇත්තේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයට ඈතින් බවද ඔහු පෙන්වා දුන්නේය.

නමුත් මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත්කිරීමටත් ඉවත් කිරීමටත් ජනාධිපතිවරයාට බලයක් ලැබෙන බවත් මේ ක්‍රියාවලිය නිසා අධිකරණය විධායකය යටතට පත්වන බවත් ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

“මෙය භයානක තත්ත්වයක්. ඒ වගේම මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ න්‍යායටත් මෙය පටහැනියි. මේනිසා අධිකරණය විධායකයට අනුව හැසිරෙන්න වෙනවා .ජනතාවට තමයි මෙයින් හානිය සිදුවෙන්නේ. සරලව කිව්වොත් අධිකරණයට අතපොවන්න විධායකයට සෘජුවම අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම 19 හරහා හඳුන්වා දුන් කොමිෂන් සභා ස්වාධින කොමිෂන් සභා කියලා අපිට කියන්න පුළුවන්. නමුත් 20 වැනි සංශෝධනයෙන් පසුව මේවා තවදුරටත් ස්වාධින කොමිෂන් සභා නෙවෙයි විධායකයේ කොමිෂන් සභා බවට පත්වෙනවා”

Previous article20න් නීතිඥ වෘත්තීයටත් බලපෑම් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 
Next articleජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here