ජනතා විරෝධය මැද්දේ අක්කරෙයිපත්තු වෙරළේ සම්පත් ඕස්ට්‍රේලියාවට 

(ශාලික විමලසේන)

අක්කරෙයිපත්තු වෙරළ තීරයෙන් කපාගන්නා වැලි, ඔලුවිල් වරායේදී සෝදා, ඕස්ට්‍රේලියාවට යැවීමේ ව්‍යාපෘතියක් මගින් වෙරළ බරපතළ ලෙස විනාශ වන බව එම ප්‍රදේශයේ ජනතාව අවධාරණය කරති.

ජනතා විරෝධය 

මෙසේ රැගෙන යන වැලි තොගවලින් කොටසක් නැවත වෙරළට ගෙනැවිත් දමන බවද පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ කිසිදු ප්‍රමිතියකින් තොරව වැලි කැපීම නිසා විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවයි. මීට එරෙහිව ජනතාව උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වුවද, මෙතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.

බැසිල්ගේ ව්‍යාපෘතියක්

පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ සම්පත් අඩුවීම නිසා, 2013 වසරේදී අම්පාර, අක්කරෙයිපත්තු වෙරළේ ඛනිජ වැලි නිධිය ද අපනයනය කිරීම සම්බන්ධයෙන් මුලින්ම අවධානය යොමු වී ඇත. හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ නැගෙනහිර නවෝදය ව්‍යාපෘතිය යටතේ මීට අදාළ මූලික සැලසුම් සකස් කර ඇත.

ඒ අනුව අදාළ ඛනිජ වැලි නිධිය සංවර්ධනය කිරීමේ කටයුතු දම්සිලා නම් මෙරට පෞද්ගලික සමාගමකට පවරා තිබේ.ඕස්ට්‍රේලියානු සමාගමක් සමග අදාළ මෙරට සමාගම මීට අදාළ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, ඊට අනුව වෙරළ තීරයෙන් කපාගන්නා වැලි ඔලුවිල් වරායේදී සෝදා, තෝරාගත් කොටස් ඕස්ට්‍රේලියාවට යැවිය යුතුය.

පරිසර විනාශය 

කිසිදු පරිසර ඇගයීමකින් තොරව, මෙසේ වෙරළේ වැලි විශාල වශයෙන් ඉවත් කිරීම නිසා ස්වභාවික පරිසර පද්ධතිය වෙනස් වීම, කුඹුරු ඉඩම්වලට බලපෑම් ඇති වීම, ළිං සිදීයෑම, මුහුදු ඛාදනය නිසා වෙරළ තීරයේ පිහිටි ජනාවාස විනාශ වීම සිදු විය. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර, මේ විරෝධය නිසා අදාළ ව්‍යාපෘතිය 2015 වසරේදී තාවකාලිකව නතර කෙරිණි.

පරිසර වාර්තා ?

වර්තමාන ආණ්ඩුව යටතේ යළිත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, අක්කරෙයිපත්තු සිට කිලෝමීටර් 25 ක වෙරළ තීරය තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. අගෝස්තු මාසයේ අවසාන සතියේදී මීට අදාළ සාකච්ඡාවක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පවත්වා ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා සහ පතල් කැණීමේ කාර්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය නියෝජනය කරමින් රජයේ නිලධාරීන් එම සාකච්ඡාවට සහභාගි වී ඇත.

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පරිසර ශක්‍යතා වාර්තාවක් සකස් කිරීමට සාකච්ඡාවේදී සියලු පාර්ශ්ව එකග වී තිබේ. එහෙත් මෙතෙක් ඊට අදාළ කිසිදු මූලික කටයුත්තක් සිදු වී නැතත්, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම තම කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව ඒ ආශ්‍රිතව පදිංචි ජනතාව පෙන්වා දෙති.

ලක්ෂයකට සෘජු පීඩා!

ආලියඩිවෙම්බු, තිරුක්කෝවිල් සහ පොතුවිල් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට අයත් වෙරළ සීමාවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, ජනතාව පෙන්වාදෙන්නේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනේ පදිංචි 80,000 ත්, ලක්ෂයත් අතර පිරිසක් සෘජුවම මෙමගින් පීඩාවට පත්වන බවයි.

වෙරළේ අනුමැතිය නැත

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසන්නේ අක්කරෙයිපත්තුව වෙරළ තීරය ඛනිජ වැලි ලබාගැනීම සදහා හෑරීමට තම දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබා දී නැති බවයි. එවැනි සාකච්ඡාවක් ආරම්භ වී ඇති බවත්, ඒ පිළිබද දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අධ්‍යයනය කරමින් සිටින බවත් සදහන් කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා, විද්‍යාත්මක පර්‍යේෂණයකින් පසු ඊට අනුමැතිය ලබාදිය හැකිද යන්න තීරණය කරන බව ද අවධාරණය කරයි.

පරිසර බලධාරියා

මෙම ව්‍යාපෘතියේ සියලු කටයුතුවලට මැදිහත් වී සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. හිටපු ඇමති බැසිල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන සභාපතිවරයා, මීට අදාළ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සමාගම සමග කටයුතු කරමින් සිටින බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ප්‍රතිචාරයක් නැත

මේ පිළිබදව විමසීමට සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහු දැක්වූ ප්‍රතිචාරය වූයේ ‘I am in a meeting, can you call back later?’ යන්න පමණි.

Previous articleවිස්සෙන් අධිකරණය විධායකය යටතට
Next articleරජයේ සමාගම් විගණනය අහෝසියි : කෝප් කමිටුවෙනුත් ඉවතට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here