20න් නීතිඥ වෘත්තීයටත් බලපෑම් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් 

(නිලූක සඳුන් පද්මසිරි)

මෙි වන විට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිඥ වෘත්තීයට බලපෑම් එල්ල කරන වගන්ති ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි.

මෙම වගන්ති අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කරන ආකාරයද වෙනස්වන බවත් 1978 ව්‍යවස්ථාව අනුව විවිධ ජනපතිවරුන් පත්කරන ලද විනිසුරුවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටළු මතු වූ බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් 2001දී 17 වැනි සං⁣⁣ශෝධනය ගෙන ඒමට හේතු වූ බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම 35 වැනි වගන්තියට සිදු කිරීමට නියමිත සංශෝධනය නිසා ජනාධිපතිවරයා විසින් කරන ලද වරදකට හෝ පැහැරහැරීමකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා අභියෝග කිරීමේ හැකියාවද අහිමි වෙන බවද ඔහු කියයි.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුට ඔවුන් කරන ලද වගකීම් පැහැරහැරීම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු කිහිපයක්ම සිදුවෙන බව හෙතෙම පෙන්වා දෙයි.පාස්කු ප්‍රහාරයේදී ලැබුණ බුද්ධි තොරතුරු නොසලකා හැරීම සම්බන්ධයෙන් සහ රෝයල් පාර්ක් මිනීමැරුමේ චූදිතයා නිදහස් කිරීම සම්බන්ධයෙන් ද අධිකරණ කටයුතු සිදුවෙන බව ඔහු සඳහන් කරයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් අනාගතයේදී ඕනෑම ජනපතිවරයකුට ජනාධිපති මුක්තිය ලැබී ඔහු කරන වරදකට හෝ කරන ලද පැහැරහැරීමකට එරෙහිව යාමට මෙරට පුරවැසියන්ට ඇති අවස්ථාව අහිමිව යනු ඇති බව ජනාධිපති නීතිඥවරයා කියයි.

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතීඥ වෘත්තීයට ඇතිවෙන බලපෑම් සම්බන්ධයෙන් මේ කෙටුම්පතේ සිදුවිය යුතු වෙනස්කම් රජයට පෙන්වා දීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මේ කෙටුම්පත සම්බන්ධයෙන් පත් කරනු ලැබීමට නියමිත කමි⁣ටුව සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කරයි.

මෙම ව්‍යවස්ථාව බලාත්මක කිරීමට පෙර නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් උපදේශන ලබාගන්නා ලෙසට අදාළ ආයතනවලට බලකරන ලෙස ඔහු නීතිඥ සංගමයෙන් ඉල්ලා සිටී.

Previous articleකුට්ටිමනීගේ නීතිය ප්‍රේමලාල්ට අදාළ නැද්ද ? – සජිත්ගේ ප්‍රශ්නයට ආණ්ඩුව නිහඬයි
Next articleවිස්සෙන් අධිකරණය විධායකය යටතට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here