අද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද ලිවේරා

වෘත්තීය ජනමාධ්‍යවේදියකුගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ කුමක්ද?

නීතියේ පරමාධිපත්‍යයේ වැදගත් කොටස්කරුවෙක් තමයි ජනමාධ්‍යවේදියා කියන්නෙ. නීතියේ පරමාධිපත්‍ය තහවුරු කරන්න උපරිමයෙන් වැඩ කිරීම ඔහුගේ වගකීමක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක්, ව්‍යවස්ථාව පැත්තෙන් හෝ වෙනත් කණ්ඩායමක් මගින් සිදුවෙනව නම් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන එක මාධ්‍යවේදියා කළ යුතුයි. ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරලා, මහජනතාවට ඒ වැඩේ වැරදියි කියන තීරණය ගන්න අවශ්‍ය තොරතුරු ලබාදීම ජනමාධ්‍යවේදියා මගින් සිදුවෙන්න ඕනෙ. මේ කියන්නෙ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ජනතාව උසිගැන්වීමක් නෙමෙයි. ජනතාවට නිවැරදි තොරතුරු, සමබරව ලබාදීලා, ජනතාවට අවශ්‍ය තීරණය ගන්න පොළඹවන එක. නැත්නම් මගපෙන්වන එක මාධ්‍යවේදියා කළ යුතුයි කියන එකයි මගේ අදහස.
ඒ වගේම රටේ පවතින නීති, රටේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති ගැන ජනතාව දැනුවත් කිරීමත් මාධ්‍ය හරහා සිදුවෙන්න ඕනෙ. මාධ්‍ය වැරදි විදිහට ඒවා සමාජගත කළොත් සමස්ත සමාජයම වැරදි පාරක යනවා. ඒ වගේමයි, ජනතාව මේවා ගැන නොදන්නා තාක්කල් ජනතාව රවටන්න පුළුවන් වෙනවා. ඒක දේශපාලනඥයන් වෙන්නත්  පුළුවන්, රජයේ නිලධාරීන් වෙන්නත් පුළුවන්. වෙනත් පෞද්ගලික පාර්ශ්ව වෙන්නත් පුළුවන්. උදාහරණයක් බලන්න, ඔය ණය දෙන ආයතන, ලීසිං ආයතන වගේ ඒවා කොයිතරම් ජනතාව රවටනවා කියලා අපිට අහන්න ලැබෙනවද. මාධ්‍ය මගින් මේවා ගැන නිවැරදි තොරතුරු නිරන්තරයෙන් සන්නිවේදනය කරනව නම් මේ තත්ත්වය යම් තරමකට අඩු කරගන්න පුළුවන්. මම හිතන්නෙ මාධ්‍ය නැවත හිතන්න ඕනෙ, තමන්‌ගෙ වගකීම මොකක්ද කියලා.

වර්තමානයේ මේ වගකීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

වර්තමානයේ ඒ වගකීම සිදුවෙන්නෙ නෑ කියලා කනගාටුවෙන් කියන්න වෙනවා. උදාහරණ කියන්න අවශ්‍ය නෑනෙ. සිද්ධ වෙන අසාධාරණකම්වලින් කීයද මාධ්‍ය වාර්තා කරන්නෙ. ඒවගෙත් සමහර තොරතුරු විකෘති කරනවා. ජනතාව කොහොමද එතකොට ඒවා දැනගන්නෙ. ළමා අයිතිවාසිකම් උල්ලංඝනයවීම් කොයිතරම් සිදුවෙනවද. ළමයින්ට හා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දවසින් දවස වැඩිවෙනවා. ඒත් ඒවට අදාළ සංඛ්‍යාලේඛන වගේ කිසිවක් පිළිවෙළට ඉදිරිපත් කිරීමක් මාධ්‍ය මගින් සිදුවෙන්නෙ නෑ. අනෙක ඒවට මාධ්‍යයෙන් කොයිතරම් අඩු ඉඩක්ද වෙන්වෙන්නෙ. අපේ රටේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඒක. සංවර්ධනය වුණු රටවල, සංවර්ධනය වෙමින් පවතින සමහර රටවලත් මීට වඩා මාධ්‍ය තමන්ගෙ වගකීම හඳුනගෙන කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්.

ඒකට හේතුව විදිහට ඔබ දකින්නෙ මොන වගේ තත්ත්වයක්ද?

පෞද්ගලික වාසි කියලයි මට නම් හිතෙන්නෙ. හැම මාධ්‍ය ආයතනයක්ම ව්‍යාපාරයක් කරගෙන, ඒවා දේශපාලන සම්බන්ධකම් එක්ක එකතු කරලා, පෞද්ගලික වාසිය විතරක් බලන තැනට පත්වෙලා තියෙනවා. තවත් පැත්තකින් ඒගොල්ලොන්ට විවිධ පෞද්ගලික හිතවත්කම් තියෙන අයට අදාළ ප්‍රවෘත්ති වාර්තා කරන්නෙ පක්ෂපාතීව. විවෘත, නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යන්න ඔවුන්ට අවශ්‍යතාවක් නෑ. මාධ්‍ය හිමිකරුවොත් එහෙමයි. ඔවුන් කියන දේ ඒ විදිහටම කරන මාධ්‍යවේදීනුත් එහෙමයි. ඒ අයගෙනුත් බහුතරය තමන්ගෙ දේශපාලන මතය වෙනුවෙන්, තමන්ගෙ පෞද්ගලික වාසිය වෙනුවෙන් තමයි මේ මාධ්‍යවේදියා කියන වෘත්තිය මෙහෙයවන්නෙ. මාධ්‍යවේදියාට සමාජයේ පිළිගැනීමක් තියෙනවනෙ. ඒ පිළිගැනීම ඔවුන් මෙහෙයවන්නෙ ජනතා යහපත වෙනුවෙන් නෙමෙයි.

මේ තත්ත්වය වෙනස් කරන්න ඔබට තියෙන යෝජනා මොනවද?

මාධ්‍යවේදියා පුළුවන් තරම් දැනුවත් කළ යුතුයි. මම හිතන්නෙ අද ඉන්න හුඟක් මාධ්‍යවේදීන් මාධ්‍යවේදියාගේ වගකීම මොකක්ද කියන එක හරියට අඳුරගෙන නෑ. ලෝකයේ ඒ වගකීම ඉටුවෙන්නෙ කොහොමද කියන එක ඔවුන් හදාරන්නෙ නෑ. ලංකාවෙ සමහර පුවත්පත් කලාවේදීන් ඒ වගකීම ඉටුකරපු ආකාරය ගැන ඔවුන්ට දැනීමක් නෑ. ඔවුන් තමන් කරන දේ මොකක්ද, ඒකෙන් සමාජයට අත්වෙන වාසිය හෝ අවාසිය මොකක්ද කියන එක ගැන හිතන්නෙ නෑ. ඒක නිසා ඒගොල්ලොන්ව ක්‍රියාකාරී මාධ්‍යවේදීන් කරන්න වැඩසටහන් සකස් කළ යුතුයි. අද මාධ්‍යවේදීන් බහුතරය ඉගෙනගන්නෙ නෑ මේවා ගැන. අධ්‍යයනය කරන්නෙ නෑ මේවා ගැන. ඔවුන් මානව අයිතිවාසිකම්වලට සංවේදී මාධ්‍යවේදීන් බවට ඔවුන්ව පත්කරන්න ඕනෙ. තමන්ගෙ අයිතිය වෙනුවෙන් විතරක් නෙමෙයි, අනුන්ගෙ අයිතිය වෙනුවෙන් පෙනීඉන්න ඔවුන්ට රාජකාරිමය වගකීමක් තියෙන බව කියලා දෙන්න ඕනෙ.

Previous articleආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !
Next articleවැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here