වැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක් !

(කෝවිඳ ගුණසේකර)

ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් බහුතර ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. නමුත් මෙම තත්ත්වය රටේ ශ්‍රම වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි නොවේ. එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ රටේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ යා යුතුව තිබෙන බවට හඬක් නැගෙමින් තිබියදී ය. විද්වතුන් හරහා සමුළු, සම්මන්ත්‍රණවලදී මේ පිළිබඳ සංවාද කාලයක් පුරා මතුවෙමින් පවතී.

කාන්තාවන්ගේ ශ්‍රම බලකා නියෝජනය පහළයෑමට හේතුවක් ලෙස මේ බොහෝදෙනා දක්වන්නේ දරුවන් ලැබීමෙන් පසුව, එම දරුවන් රැකබලාගැනීම සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට ඔවුන්ට සිදු වීම ය. මේ නිසාම දරුවන් රැකබලාගැනීමට තිබෙන පහසුකම් රැකියා ස්ථානවල ඇති කිරීමට සේවායෝජකයන් උනන්දු කරවීම හරහාත්, ළදරුවන්ට මව්කිරි ලබාදීම වෙනුවෙන් වෙනම කාලයක් රාජකාරිය අතරතුර වෙන්කර දීම හරහාත් මෙම තත්ත්වයට යම් විසඳුමක් ලබාගැනීමට කටයුතු කෙරිණි. එවැනි සාධනීය පියවර අනුගමනය කෙරුණද, අපේක්ෂිත පරිදි කාන්තා ශ්‍රම බලකායේ සැලකිය යුතු ඉහළයෑමක් තවමත් දැකගැනීමට හැකියාවක් ලැබී නැත.

ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ යා යුතුව තිබෙන්නේ ඇයි? පිරිමි පාර්ශ්වය රැකියාවේ යෙදී, කාන්තා පාර්ශ්වයට දරුවන් රැකබලාගැනීම ඇතුළු කටයුතුවල යෙදීමට අවස්ථාව සලසාදීම වඩා හොඳ නොවේද යනුවෙන් මතයක් ද සමාජයේ තිබේ. නමුත් අවධානයට ගත යුතු කරුණ වන්නේ වර්තමානයේ අධ්‍යාපනය ලැබීම අතින් පුරුෂ පාර්ශ්වයට වඩා ඉදිරියෙන් සිටින්නේ කාන්තාවන් වීම ය. එසේ ලබන අධ්‍යාපනයට සුදුසු රැකියාවක්, ගැටළුවකින් තොරව සොයාගැනීමට සහ එම රැකියාවේ නිරතවීමට කාන්තාවන්ට අවස්ථාව තිබීම යනු රටේ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය ඉහළයෑමට ද හේතුවකි. තමන් ලබන ඉහළ අධ්‍යාපනයට සුදුසු රැකියාවක යෙදීමේ අයිතිය ද කාන්තාවන්ට තිබිය යුතුය. අනෙක් අතට ලෝකයේ ප්‍රථම අගමැතිනිය පත්කරගත් ජනතාවක් සිටින රටක කාන්තාවන්ට සියලු අවස්ථාවල සමතැන තහවුරු කිරීමට කටයුතු කිරීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තේ පෙර සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශය තවදුරටත් තහවුරු කිරීමට ය.

මෙම ලිපිය කාන්තාවන්ට රැකියා ලබාගැනීම සම්බන්ධයෙන් තිබෙන අවස්ථා විරල වීම සහ එයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් වෙනස් කතිකාවක් ඇතිකිරීමේ අරමුණින් ලියැවෙන්නකි. කාන්තාවන්ගේ පරම උරුමය දරුවන් රැකබලාගැනීම ය යන සාම්ප්‍රදායික මාතෘකාවෙන් බැහැරට අවධානය යොමු කිරීම අපේක්ෂිත ය.

ප්‍රසූත නිවාඩු දීමනා – රැකියා අවස්ථා ලබාගැනීමට කාන්තාවන්ට බාධාවක් ?

වෙරිටේ රිසර්ච් ආයතනය මෑතකදී සිදු කර තිබෙන පර්යේෂණයකින් මෙය තහවුරු වී තිබේ. රාජ්‍ය අංශයේ කාන්තා සහ පිරිමි රැකියා ප්‍රතිශතය පිළිවෙළින් සියයට 45ක් සහ 55ක් වුවද, පෞද්ගලික අංශය සැලකීමේදී එහි කාන්තා රැකියා නියුක්ත ප්‍රතිශතය සියයට 30 කි. පෞද්ගලික අංශයේ පිරිසි රැකියා නියුක්ත ප්‍රතිශතය සියයට 70 ද ඉක්මවයි.

මෙසේ වීමට හේතු විමසා බැලූ විට අනාවරණය වී තිබෙන්නේ තරුණ කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු දීමනා සහ දරුවන් රැකබලාගන්නා සමයේ ලිහිල් වැඩ මුර නියම කිරීමට සිදුවන නිසා, තරුණ කාන්තාවන්ට විශේෂයෙන්ම අවුරුදු 20 – 40 වයස් කාණ්ඩයේ පසුවන කාන්තාවන්ට රැකියා අවස්ථා ලබාදීමේදී පෞද්ගලික අංශය වරක් නොව දෙවරක් ම සිතා බලන බව ය. පෞද්ගලික අංශයේ සේවායෝජකයන්ට අනුව ගර්භණී සමයේ සම්පූර්ණ සේවා මුරයකට යටත් නොවන කාන්තාවන්ට දීමනා ගෙවීමත්, නිවාඩු ලබාදීමත් මූල්‍යමය වශයෙන් අවාසිදායක වන අතර, එය ඔවුන්ට අතිරේක බරකි.

පෞද්ගලික අංශයේ සේවායෝජකයන් සැලකීමේදී, වර්තමානයේ මෙසේ ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් වන සම්පූර්ණ පිරිවැය දැරිය යුත්තේ ඔවුන් විසින් ය. මේ නිසා තම ආයතනයේ තිබෙන රැකියා අවස්ථාවකට කාන්තාවක් වෙනුවට පිරිමි පාර්ශ්වයේ කෙනෙකු බඳවාගැනීමට ඔවුන් පෙළඹේ.

ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම – ලෝකය සහ ශ්‍රී ලංකාව

ලෝකයේ බොහෝ රටවල රජයන්, පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවිකාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම වෙනුවෙන් පූර්ණව හෝ අර්ධ වශයෙන් දායකත්වය සැපයීම සිදු කරයි. එනම් ඇතැම් රටක පෞද්ගලික අංශයට සම්පූර්ණයෙන්ම ප්‍රසූත නිවාඩු දීමනා පිරිවැය දැරීමට සිදුවන විට, තවත් රටකදී පෞද්ගලිකඅ ංශයට දැරීමට සිදුවන්නේ එයින් අඩක් පමණි.

මෙසේ පූර්ණ වශයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම ලෝකයේ රටවල් 96 ක රජයයන් සිදු කරන අතර, තවත් රටවල් 33 ක රජයයන් අර්ධ වශයෙන් එය සිදුකිරීම සඳහා අරමුදල් වෙන්කරනු ලබයි.

ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් වන සාධනීය පියවරක් 2019 අයවැය මගින් ගැනිණි. ඒ පසුගිය යහපාලන ආණ්ඩුවෙන් ය. ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් පෞද්ගලික අංශය වැය කළ යුතු මුදලින් අඩක්, සමාගම් බදුවලින් සහනයක් ලෙස ලබාදීමට යෝජනා කිරීම එම සාධනීය පියවර විය. නමුත් මෙය යෝජනාවකට පමණක් සීමා විය. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව අද සිටින්නේ ප්‍රසූත නිවාඩු දීමනා ගෙවීමක් රජය පාර්ශ්වයෙන් සිදු නොකරන අප්‍රිකානු, ආසියානු සහ මැදපෙරදිග රටවල් බහුතරයක් අතර ය.

ශ්‍රී ලංකාවේ රජය පෞද්ගලික අංශයේ ප්‍රසූත නිවාඩු දීමනා පිරිවැය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් දරාගැනීම වාසි සහගත ද?

ඔව්. සමස්තයක් වශයෙන් ගත් විට, ශ්‍රී ලංකා රජය අවම වශයෙන් අර්ධ වශයෙන් හෝ පෞද්ගලික අංශයේ සේවායෝජකයන් දැනට දරනු ලබන ප්‍රසූත නිවාඩු දීමනාවල බර දැරීමට ඉදිරිපත් වන්නේ නම්, එය ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළයෑමටත්, ඒ හරහා රටට වඩාත් ශක්තිමත් ශ්‍රම බලකායක් හිමිවීමටත්, එමගින් පෞද්ගලික අංශයට ආර්ථික උත්තේජනයක් සැපයීමටත් වශයෙන් කරුණු ගණනාවකට හේතු වේ. මේ ඇතැම් ධනාත්මක කරුණු පහත පරිදි වැඩිදුරටත් විස්තර කළ හැකිය.

01.ආර්ථිකයේ සහ ශ්‍රම වෙළෙඳපොළේ සුබවාදී වෙනසක් ඇති කිරීම.

කාන්තාවන්ට විශාල ලෙස වෙනස්ව සලකන රටවල ප්‍රසූත නිවාඩු දීමනා සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමෙන් කාන්තා රැකියා නියුක්තිය සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව 2013 වසරේ කරන ලද අධ්‍යයනයකින් අනාවරණය වූවකි.

අනෙක් අතට කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අභියෝග රැසකට මුහුණ දී සිටින පෞද්ගලික අංශයට සැලකිය යුතු කාලයක් ආර්ථික සහනයක් ලබාදිය යුතු යැයි ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගෙන ඇත. මෙකී ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් යම් අනුග්‍රහයක් ලබාදීම, එවැනි සහනයක් ලෙස සැලකිය හැකිය.

මේ හරහා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා සඳහා කාන්තාවන්ට වැඩියෙන් දොරටු විවෘත වීම, ගෘහස්ථ ආදායම් මට්ටම ඉහළයෑම මෙන්ම කාන්තාවන් වැඩියෙන් ශ්‍රම බලකායට එකතුවීම හරහා රටේ රැකියා වෙළෙඳපොළේ සුබවාදී වෙනසක් ඇතිකිරීම ද සිදුවනු ඇත.

  1. ප්‍රසූත නිවාඩු සඳහා බදු සහනයක් ලබාදීමෙන් රජයට අහිමි වන ආදායම, අනෙකුත් සහනාධාර දීමනාවලට රජය වර්තමානයේ කරන වියදම්වලට වඩා අඩු ය.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්ත මත පදනම්ව වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සකස් කර ඇති වාර්තාවකට අනුව ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම වෙනුවෙන් රජයට වසරකට වැයවන්නේ රුපියල් බිලියන 4.2 ක මුදලකි. එය 2018 වසරේ රටේ සමස්ත බදු ආදායමෙන් සියයට 0.25 කි.

මෙසේ ප්‍රසූත නිවාඩු දීමනා බදු සහනයක් ලෙස ලබාදීමෙන් රජයට දැරීමට සිදුවන මුදල, රජය ගෙවන අනෙකුත් සහනාධාර සමග සංසන්දනය කරන විට ඉතා පහළ අගයක් ගනී. උදාහරණයක් ලෙස 2018 වසරේ රටේ බදු ආදායම අනුව ගත්විට, සමෘද්ධි සහනාධාරයට රජය රුපියල් බිලියන 39.2 ක් වැය කර ඇත. පොහොර සහනාධාරයට වැය කර ඇති මුදල රුපියල් බිලියන 26.9 කි.  ප්‍රසූත නිවාඩු දීමනා සඳහා රජයට වැයකිරීමට සිදුවන මුදල, 2018 වසරේ පොහොර සහනාධාරයට වැය කළ මුදල සමග සංසන්දනය කළ විට, එයින් සියයට 16 ක් පමණි.

03.රැකියා නියුක්තිය වැඩි කිරීමට රජය මෑතකදී ගත් ක්‍රියාමාර්ග සඳහා වැය කිරීමට සිදුවන මුදල සමග සංසන්දනය කිරීමේදී ද ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම සඳහා අනුග්‍රහය දැක්වීම වඩාත් ලාබදායක වේ.

නුපුහුණු සේවකයන් 100,000 ක් රැකියා විරහිත උපාධිධාරීන් 60,000 ක් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ වැඩසටහනක් වර්තමානයේ රජය විසින් ක්‍රියාත්මක කර තිබේ. මෙසේ බඳවාගන්නා නව සේවකයන්ගේ වේතන සහ දීමනා වෙනුවෙන් රුපියල් බිලියන 58.67 ක වියදමක් දැරීමට සිදුවන අතර, ඔවුන්ට පුහුණුව ලබාදීම වෙනුවෙන් තවත් රුපියල් බිලියන 27.9 ත් වැය කිරීමට සැලසුම් කර තිබේ.

එසේ තිබියදී සුදුසුකම් සහිත කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් වන බව සහතික කෙරෙන එක් ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි, ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම සඳහා අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් රජයට වියදම් වන්නේ ඉහත මුදලෙන් දහයෙන් එකකටත් අඩු මුදලකි.

කළ හැක්කේ කුමක්ද?

මීට පෙර සඳහන් කළ පරිදි පැවැති යහපාලන රජය පෞද්ගලික අංශයට ලබාදෙන බදු සහන හරහා අර්ධ වශයෙන් ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමේ තර්තව්‍යයට දායකත්වය ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කළ ද, එය ක්‍රියාත්මක කෙරුණේ නැත. වර්තමානයේ පත්ව සිටින නව රජය 2020 වසර ආරම්භයේදී සැලකිය යුතු බදු කප්පාදුවක් සිදු කළද, ඔවුන්ගේ අවධානය ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීම සහ එය සම්බන්ධයෙන් බදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් යොමු වූයේ නැත. එය ඇත්ත වශයෙන්ම වැඩ කරන රටක් ගොඩනැගීමේ අරමුණ සහිතව බලයට පත්වූ බව සඳහන් කළ රජයට, ප්‍රායෝගිකව එය ක්‍රියාවට නැංවීමට ලැබුණු මහඟු අවස්ථාවකි. එහෙත් ඔවුන් එය මගහැරීය.

කාන්තාවන්ට සමාන අවස්ථා තහවුරු කිරීමේදී, රැකියාවලටද එම අවස්ථා පවතින බව තහවුරු කිරීම වැදගත් වේ.

මෙම ලිපියෙන් පෙන්වා දී ඇති ආකාරයට එසේ ප්‍රසූත නිවාඩු දීමනා ලබාදීමට පූර්ණ වශයෙන් හෝ අඩුම තරමින් අර්ධ වශයෙන් අනුග්‍රහය දැක්වීම සඳහා රජයට වැයවන්නේ අනෙක් සහනාධාර දීමනා ගෙවීම්වලට වඩා, දැනට ක්‍රියාත්මක බදු කප්පාදු කිරීමවලට වඩා, දැනට සිදුකෙරෙන බලදවාගැනීම් සහ පුහුණුකිරීම් සඳහා යන වියදමට වඩා අඩු මුදලකි. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නම් කාන්තාවන්ට රැකියා අවස්ථා පුළුල් වීම, ඒ හරහා ශ්‍රම බලකාය ශක්තිමත් වීමද සිදු වේ.

එම නිසා මෙවර හෝ කාන්තාවන් සඳහා ප්‍රසූත දීමනා නිවාඩු ලබාදීම වෙනුවෙන් රජයේ අනුග්‍රාහකත්වය ලබාදෙන බවට යෝජනාවක් අයවැයට ඇතුළත් කර, එය යෝජනාවකට පමණක් සීමා නොකොට සැබෑවටම ක්‍රියාත්මක කිරීමට රජය උත්සුක වීම යනු වැඩ කරන රටක් කරා යන ගමන තවත් ඉක්මන් සහ පහසු කරවීමට හේතු වනු ඇත.

(මෙම ලිපිය සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙන The case for State supported maternity leave benefits in Sri Lanka ශීර්ෂයෙන් යුතු විදසුන පරිහරණය කර ඇත.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here