ආණ්ඩුවට ඉහළින් සිට – ‘සීනි’ මෙහෙයවන අත !

(සඳුන් වේරගොඩ)

අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩයක් වන සීනි ආනයනය රජයේ ප්‍රතිපත්ති හමුවේ අර්බුදයකට මුහුණදී ඇති බවක් දැක ගැනීමට ඇතැයි ආරංචි මාර්ග දක්වයි.

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වන වගන්තිය යටතේ රජය විසින් පනවා තිබූ කිලෝග්‍රෑමයකට රුපියල් 50ක් වූ බද්ද කිලෝග්‍රෑමයකට ශත 25 දක්වා 2020.10.14 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට රජය තීරණය කළ බව 2020.10.13 වන දින අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ දක්වා ඇත. මෙම නිවේදනය මගින් සීනි ඇතුළු තවත් අත්‍යවශ්‍ය වෙළෙඳ භාණ්ඩ රැසකට පනවා තිබූ විශේෂ බදු 2020.10.14 දින සිට මාස තුනක කාලයක් දක්වා අඩු කරන්නට යෙදී ඇති බවක් පෙනේ. මෙම ආනයන බදු අඩු කිරීම මගින් පාරිභෝගිකයාට සහන සැලසීමක් බලාපොරොත්තු වූ බවක් පෙනීමට ඇති බව ආනයනකරුවෝ පෙන්වා දෙති. මෙම බදු අඩු කිරීම හේතුවෙන් දැනට රුපියල් 125 ට අලෙවි වන සීනි කිලෝව රුපියල් 85 ට මිල නියම කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වී ඇත. කොවිඩ් 19 වසංගතය නැවත ව්‍යාප්ත වන අවධියක මෙම බදු අඩු කිරීම සිදු කරන ලද්දේ පාරිභෝගිකයන්ට සහන සැලසීමට යැයි රජය සඳහන් කර තිබිණි.

අගමැතිට ලිපියක්

කෙසේ වෙතත්, මේ වන විට විශාල වශයෙන් සීනි තොග ආනයනය කර ඇති සමාගම් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතා දක්වා ඇති බවක් ද වාර්තා වේ. “අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය” මගින් 2020 ඔක්තෝබර් මස 14 දින අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිඛිතව මෙම බදු සහන අඩු කිරීම ගැන විරෝධතා දක්වා ඇත. උපරිම සිල්ලර මිල අඩු කිරීම හේතුවෙන් තමන්ගේ සංගමයේ සාමාජිකයන්ට දැඩි මූල්‍ය අලාභ සිදුවන බවත්, එබැවින් ගුදම්වල ඇති තොග වෙ‌ළෙඳපොළට නිකුත් කළ නොහැකි බවත් එම සංගමය අගමැතිවරයාට දන්වා ඇත. තවද තම සංගමයේ සාමාජිකයන්ගේ තොග ගණනය කර, ඔවුන්ට සිදුවන පාඩුව පියවීමට කටයුතු කරන ලෙසද එම සංගමය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඇතැම් ආනයනකරුවන් විසින් කර ඇති මෙම ඉල්ලීම හේතුවෙන් පාරිභෝගිකයාට ලැබිය යුතු සහනයක් නොලැබී යෑමේ අවධානමක් ඇති වී තිබේ.

පාලනය වෙන’තක !

මෙම වාතාවරණය තුළ, ඇතැම් ආනයනකරුවන් විසින් 2020.10.14 දිනැති බදු නිවේදනය යටතේ සීනි ආනයනය කිරීම ආරම්භ කර ඇති අතර, ආනයනකරුවන් කිහිපදෙනෙකු ණයවර ලිපි විවෘත කර ඇති බව ද වාර්තා වේ. නැවත වරක් අගමැති හා මුදල් අමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා විසින් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ආනයන වටිනාකමෙන් 0.4% ක බලපත්‍ර ගාස්තුවක් සීනි සඳහා 2020.10.30 දින සිට බලපැවැත්වෙන පරිදි පනවා ඇත. ආනයනකරුවන් පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමයේ බලපෑම මත මෙම බලපත්‍ර ගාස්තුව පනවා ඇති බවත්, අඩු මිලට සීනි ආනයනය කර පාරිභෝගිකයන්ට සහන ලබාදීම වෙනුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමයට අවශ්‍ය පරිදි රජය කටයුතු කරන බවත් ය.

ආණ්ඩුවේ බහිරවයා

කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව විසින් මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදු කර නොමැති අතර, එම දෙපාර්තමේන්තුව විවිධ හේතු දක්වමින් බලපත්‍ර නිකුත් කිරීම කල් දමමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිටත් නව බදු ප්‍රතිපත්තිය යටතේ කොළඹ වරාය වෙත සීනි මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ආනයනය කර ඇති අතර, එය එක් මසක දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් වේ. පාරිභෝගික අධිකාරිය මගින් පනවා ඇති උපරිම තොග මිල වන රුපියල් 92 සහ උපරිම සිල්ලර මිල වන රුපියල් 100 ඇතුළත එම තොගය වෙ‌ළෙඳපොළේ විකිණිය හැකි බවත්, ආනයන හා අපනයන පාලකවරියගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ්19 වසංගතයෙන් අපහසුතාවට පත් පාරිභෝගිකයන්ට ලබාදීමට ගිය සහන මගහැරී යන බවත් ආනයනකරුවෝ කියා සිටිති.

සංවිධානාත්මක ව්‍යාපාර

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලකවරිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද, දුරකතනය මගින් සම්බන්ධ කරගත හැකි වූයේ එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරියෙක් පමණි. ආනයන හා අපනයන දෙපාර්තමේන්තුව මෙසේ බලපත්‍ර නිකුත් නොකර කල් මරනු ලබන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමයේ යටි අරමුණු ඉටු කිරීමට බව ආනයනකරුවෝ පෙන්වා දෙති. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළෙඳුන්ගේ සංගමය, මේ වන විට ක්‍රියාත්මක වන කිලෝග්‍රෑමකට ශත 25 ක බද්ද නැවත ඉහළ දමා ගැනීමට උත්සාහ දරන බවත්, එතෙක් කිසිවෙකුට ආනයන බලපත්‍ර ලබාගත නොහැකි ආකාරයට කටයුතු කරන්නේ යැයි පෙනී යන බවටත් ආනයනකරුවෝ චෝදනා කරති. කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හමුවේ රජය මගින් පාරිභෝගිකයන්ට ලබාදෙන සහන, ජනතාව වෙත ලැබීම වළක්වමින් සංවිධානාත්මක ආනයනකරුවන්ගේ මඩිය තරකර ගැනීම වෙනුවෙන් ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව මෙසේ කටයුතු කරන්නේ ඇයිද යන්න පිළිබඳව ඔවුන් පැහැදිලි කළ යුතු බව ආනයනකරුවන්ගේ අදහසයි.

විසඳුම

පාරිභෝගිකයන්ට සහන සැලසීමට නම් මේ අවස්ථාවේ ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වනුයේ කිලෝග්‍රෑමයකට රුපියල් 0.25 බැගින් වන බද්ද ගැසට් නිවේදනයේ ප්‍රකාශ කර ඇති ආකාරයෙන් මාස තුනකට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් සහ තොග මිල රුපියල් 92 ක් ලෙස පාලනය කිරීම බව ද ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් බහුල ආනයනකරුවෝ අවධාරණය කර සිටිති.

Previous articleකොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
Next articleඅද ඉන්න මාධ්‍යවේදීන් ඉගෙනගන්නෙ නෑ ! – ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද ලිවේරා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here