තමන් වෙනුවෙන් මාධ්‍යවේදියා පෙනීඉන්න ඕනෙ ! – සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ

වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?

තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂියට වගකියන්න පුළුවන් මාධ්‍ය භාවිතාවක යෙදෙන එක තමයි වෘත්තීය මාධ්‍යවේදීයාගෙ වගකීම විදිහට මම විශ්වාස කරන්නෙ. ජනතාව අතරට ප්‍රවෘත්ති ගෙනයෑම විතරක් නෙමෙයි, ඒ ගෙන යන ප්‍රවෘත්තියේ ස්වාධීන බව, ඒ කියන්නෙ ඒකපාර්ශ්වික නොවන විදිහට, කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් නොවන විදිහට ප්‍රවෘත්තියක් වාර්තා කිරීම කළ යුතුයි. අද මාධ්‍ය වෘත්තියේ යෙදෙන බොහෝ දෙනෙක් තමන්ගෙ වෘත්තිය ගැන පර්යේෂණ කරනව නම්, ඒ ගැන වැඩිදුර හදාරනව නම් වැදගත් කියන එකයි මගෙ අදහස. එක-එක්කෙනාට ගැතිකම් කරන එක මෘධ්‍ය වෘත්තිය නෙමෙයි. ඒක තේරුම්ගන්න නම් මේ වෘත්තිය මොකක්ද කියලා හරියට හදාරන්න ඕනෙ.

දේශපාලන සහ ප්‍රාග්ධන බලපෑම් රාශියක් අතර තමයි, මාධ්‍යවේදියාට ඔය වගකීම ඉෂ්ට කරන්න සිදුවෙන්නෙ. ඒ තත්ත්වයට මුහුණ දීම සම්බන්ධයෙන් ඔබට තියෙන යෝජනා මොනවාද?

ඇත්තටම ඒක දුෂ්කර කාර්යයක් තමයි. මාධ්‍යවේදියා අරන් එන ප්‍රවෘත්තිය හෝදලා – කරලා, තමන්ගෙ පැත්තට දාලා හදන්නෙ ඒ කාර්යාලයේ ඉන්න මාධ්‍ය අයිතිකාරයා හෝ ඔහුගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරන්න සූදානම් වෙලා ඉන්න කෙනෙක් කියලා මම දන්නවා. මොන තත්ත්වය යටතේ වුණත් තමන්ගෙ අනන්‍යතාව රැකගන්න පුළුවන් කොන්දක් මාධ්‍යවේදීන්ට තිබිය යුතු වෙනවා. තමන්ගෙ කොන්ද ශක්තිමත් කරගත්තොත් වෘත්තියට මීට වඩා සාධාරණයක් ඉටුකරන්න පුළුවන් වෙයි. මම දන්නවා, ඔක්කොම පවතින්නෙ සල්ලිත් එක්කනෙ. ඒක නිසා රැකියාවෙන එළියට බහිනවා වගේ තීරණ ගන්න හැමෝටම බැරිවෙයි. එහෙම බැරිකම් තියාගෙන වුණත්, ඒ වගේ තීරණ ගත්තු අයත් ඉන්නවා. ඒක එක එක්කෙනාගෙ වෙනස්කම් මතනෙ තීරණය වෙන්නෙ. කොහොම වුණත් කවදහරි දවසක තමන්ගෙ හෘද සාක්ෂියට වගකියන්න පුළුවන් මනුෂ්‍යයෙක්, මාධ්‍යවේදියෙක් වෙන්න අවම උත්සාහයක්වත් දරන්න ඕනෙ කියලයි මම හිතන්නෙ.

තමන්ගේ ප්‍රවෘත්තිය වෙනුවෙන් හඬක් නගන්න ශක්තිය හදාගන්න ඔ්නෙ. අඩුම තරමෙ ඒක වෙනස් නොකර ඉදිරිපත් කිරීම වෙනුවෙන් පෙනීඉන්න පුළුවන් වුණොත්, මම කියන්නෙ තමන් වෙනුවෙන් පෙනීඉන්න පුළුවන් මාධ්‍යවේදියෙක් වෙන්න ඕනෙ කියන එකයි. මොකද තමන්ගෙ හෘද සාක්ෂියත් එක්ක හැප්පෙන්න සිද්ධවෙනවා නැත්නම්. ඒ විදිහට මාධ්‍යවේදියො තමන් වෙනුවෙන් පෙනී ඉන්න පටන් ගත්තොත්, අනාගතයෙදි මීට වඩා ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත් ආරක්ෂා වෙයි. මේ වගේ තත්ත්වයකදි මාධ්‍ය හිමිකරු හෝ වෙනත් දේශපාලන බලවේග වුණත් ප්‍රවෘත්තියක් වෙනස් කරන්න, ඒකෙ ඉදිරිපත් කරන රටාව වෙනස් කරන්න කලින් දෙපාරක් හිතන්න ගන්නවා. ඒක තමයි මම හිතන්නෙ වෘත්තීය මාධ්‍යවේදීන් තමන්‌ගෙ වගකීම වෙනුවෙන් කරන්න ඕනෙ පළමුවැනි වැඩේ. ඒ ගමන හරියට යන්න පටන්ගත්තොත් මාධ්‍යවේදීන්ට හැදෙන පෞර්ෂය ඉදිරියේ හිමිකරුවන්ට අඩිය පස්සට තියන්න වෙනවා.

සමාජ මාධ්‍ය ප්‍රබලව ව්‍යාප්ත වෙන තත්ත්වයක, ජනතාව තවදුරටත් ප්‍රධාන මාධ්‍යවලින් මීට කාලෙකට කලින් වගේම තොරතුරු බලාපොරොත්තු වෙනවද?

මට හිතෙන්නෙ නම් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මිනිස්සු තවමත් මාධ්‍ය ගැන විශ්වාස කරන එක. සමාජ මාධ්‍ය ගැන එහෙම විශ්වාසයක් නෑ. අනෙක තමයි, හැම තැනකටම, තවමත් රටේ බහුතරයට අන්තර්ජාල පහසුකම්, සමාජ මාධ්‍ය පහසුකම් නෑ. ගමට තවම පත්තරය, ටීවී එක තමයි වැදගත්ම. මම හිතන්නෙ නෑ, කවදාවත් පත්තර නැතිවෙයි කියලා. ලෝකෙ අපිට වඩා අන්තර්ජාල පහසුකම් වැඩි රටවල වුණත් තවම පත්තර නැති වෙලා නෑනෙ. හැබැයි ප්‍රවෘත්ති ගලායන වේගය වැඩි වෙනවා. දවසින් දවස ප්‍රවෘත්ති ලැබෙන මාර්ග වැඩි වෙනවා. ඒවත් එක්ක මාධ්‍ය හිමිකරුවන්ට, අර මුලින් කියපු බලපෑම් කරන පාර්ශ්වවලට බොරු කියන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ඒක වැදගත්.

කර්මාන්තයක් විදිහට ජනමාධ්‍ය ගුණාත්මකව වර්ධනය කරන්න ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවාද?

පටු අරමුණු සහිත දේශපාලන බලවේගවලින් මාධ්‍ය ඉවත් කරන්න ඕනෙ. ඕනෙ කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන්. ඒත් මාධ්‍ය, ඒ කියන්නෙ ජනතාවගෙ තොරතුරු දැනගැනීමේ අයිතියට බලපෑම් කරන්න අයිතියක් නෑ. මාධ්‍ය ආයතන හිමිකරුවන්ට දේශපාලනඥයන් එක්ක සම්බන්ධකම් තියෙන්න පුළුවන්. ඔවුන්ට වෙනත් ව්‍යාපාර තියෙන්න පුළුවන්. ඒ ව්‍යාපාර පවත්වාගෙන යන්න තමන්ට අයිති මාධ්‍ය යොදාගන්නවා වෙන්න පුළුවන්. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ. එකම දේ, මාධ්‍යවේදීන් අවම කොන්දක් සහිතව රාජකාරිය කරන්න පටන්ගන්න ඕනෙ. ඒගොල්ලො ගිහිල්ලා අරගොල්ලො කියන ඕනෙම දෙයක්, ඒ විදිහටම කරනවා නම්, මේවා ගැන කතා කරලා වැඩක් නෑ. අන්න ඒ හැඟීමෙන්, ඒ වහල් සේවයෙන් මාධ්‍යවේදීන් නිදහස් වුණු දාට, ඒත අත්හැරපු දාට, නිදහස් වෙන්න හෝ අත්හරින්න අඩු තරමේ උත්සාහයක් හරි දරන දාට යහපත් මාධ්‍යයක් හැදෙන ගමන පටන්ගනියි.

Previous articleකොරෝනා රෝගීන් සංඛ්‍යාව 12570 දක්වා ඉහළට
Next articleභුමිදානය කරන්න මුස්ලිම් වැසියන්ට ඇති අයිතියට ගරු කරන්නැයි ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here