කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12570 දක්වා ඉහළට

2020.11.05


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 170ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවත් ඒ අනුව අද අද දින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 383 ක් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට මෙරටින් තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12570 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදකලා ප්‍රදේශ ලැයිස්තුවෙන් ඉවත් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 213 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

තවත් කොවිඩ් -19 මරණ පහක් අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 29 ක් බව එම දෙපාර්තමේන්තුව කියයි.

ඉන් තිදෙනකුම නිවෙස්වලදී මිය ගොස් ඇකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණ සම්බන්ධයෙන් විස්තර පහතින්.

01.කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පිඹුර මූලික රෝහලේ දී ඊයේ (04) දින මිය ගොස් ඇත. එම පුද්ගලයා කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර දීර්ඝකාලීන වකුගඩු රෝගයෙන් ද පෙළී ඇත.

  1. වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ (04) දින මියගොස් ඇත.

  2. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇත. මරණයට හේතුව ලෙස වාර්තා වන්නේ කොවිඩ් -19 ආසාදනය නිසා සිදු වූ හෘදයාබාධයකි.

  3. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. සිය නිවසේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. මරණයට හේතුව වශයෙන් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහලු ආසාදනයකි.

  4. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 74ක පිරිමි පුද්ගලයෙකි. සිය නිවසේ දී මිය ගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයකු ලෙස තහවුරු කර ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.

ඊට අදාළ නිවේදනය පහතින්..

 


Update :

වැලිකඩ බන්ධනාගාරයේ හත් දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කාර්ය මණ්ඩලයේ එක් අයෙකුට ද රැඳවියන් හය දෙනකුට ද මෙලෙස කොරෝනා ආසාදිත වී ඇතැයි එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

එහි රැඳවියන් අඟුණකොළපැලැස්සෙ බන්ධනාගාරයට මාරු කරන බවද එම මධ්‍යස්ථානය පවසයි.


Update :

කොළඹ නගර සභා සීමාවෙන් ඊයේ (04) කොරෝනා ආසාදිතයින් 170ක් හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතීරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

බොරැල්ල මෝදර උයන නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 138 දෙනකුද, කොළඹ වරායෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනකුද කොළඹ උතුර ප්‍රදේශයෙන් රෝගීන් 21 දෙනකුද මෙලෙස තහවුරු වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

ඊයේ කොරෝනා ආසාදිතයින් තහවුරු වූ ප්‍රදේශ

  • කොළඹ නගර සභා සීමාව – 170
  • කොළඹ දිස්ත්‍රික්කයේ අනෙක් ප්‍රදේශ 42
  • ගම්පහ දිස්ත්‍රික්කය 62
  • කළුතර දිස්ත්‍රික්කය 20
  • කුරුණෑගල දිස්ත්‍රික්කය 02
  • ගාල්ල දිස්ත්‍රික්කය 02
  • මාතර දිස්ත්‍රික්කය 03
  • රත්නපුර දිස්ත්‍රික්කය 09
  • නුවරඑලිය දිස්ත්‍රික්කය 06
  • නුවර දිස්ත්‍රික්කය 03

Update :

ඊයේ (04) තවත් පොලිස් නිලධාරීන් 53 දෙනකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

බොරැල්ල පොලිසියේ 41 දෙනකුටද කොරෝනා ආසාදනය වූ බවට ඊයේ තහවුරු විය. ඒ අනුව ඊයේ කොරෝනා ආසාදනය වූ මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් පස් දෙනකු හඳුනා ගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : සේවකයකුට කොවිඩ් -19 ආසාදිත වීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත් හිටුවන බව තැපැල්පතිවරයා පවසයි.


2020.11.04


ඇද වැටීමෙන් මිය ගිය බව කියන 78 හැවිරිදි පුද්ගලයකුටත් කොරෝනා ආසාදිත වී ඇති බවට මිය යාමෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙලෙස ඇද වැටීමෙන් බරපතල තුවාල සිදුවී ඉකුත් 02 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඊයේ (03) මිය ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේදී මෙලෙස ඔහු කොවිඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගත් නමුත් මරණයට ආසන්නම හේතුව සලකා බලා මෙය කොරෝනා මරණයක් නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Update :

අද දින තවත් කොවිඩ් -19 ආසාදිතයන් 169ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් ආසාදිතයින් 151 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවගට පිටතින් බවත් 18 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව අද තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 443කි.


Update :

වෛරසය මර්දනයට පිළියමක් සොයා ගන්නා තෙක් රට වසා තැබිය නොහැකි බව ජනපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සියලු දෙනා දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සූදානම් විය යුතු බවටත් ජනතාව වගකීමෙන් ක්‍රියාකළ යුතු බවටත් ජනාධිපතිවරයා අවධාරණය කළ බව එම මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බව ද ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත යුතු බව ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 274 දෙනකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් 267 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බව ද 07 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය පවසයි.


Update :

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 41කට කොරෝනා ආසාදිත වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මේ වන විට එම පොලිසියේ කොරෝනා ආසාදනය වූ මුළු නිලධාරීන් සංඛ්‍යාව 56ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

තොටලඟ මුවදොර උයන මහල් නිවාසයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් කොරෝනා මරණයක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක බවත් මෙය මෙරට සිදු වූ 24 වැනි කොවිඩ්-19 මරණය බවත් එම මධ්‍යස්ථානය කියයි.


Update :

පාර්ලිමේන්තු ආවරණය කිරීම සඳහා ගිය තවත් මාධ්‍යවේදියකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔහු ලේක්හවුස් මාධ්‍ය ආයතනයට අයත් දිනමිණ පුවත්පතේ සේවය කරන මාධ්‍යවේදියකු බවත් මාතර පදිංචි අයෙක් බවත් එම මධ්‍යස්ථානය කියයි.

අදාළ මාධ්‍යවේදියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවද සඳහන් වේ.


2020.11.03


තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනකු තහවුරු වූ බවත් ඉන් 132 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

එ අනුව අද මෙතෙක් තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 409කි.


Update :

පාර්ලිමේන්තු ආවරණය කිරීම සඳහා ගිය  මවුබිම පුවත් පතේ තවත් මාධ්‍යවේදියකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මාධ්‍යවේදියා මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද කුණ්ඩසාලේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කළ බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම පුවත් පතේ මාධ්‍යවේදිනියකට ද මීට පෙර කොරෝනා ආසාදිත බවට තහවුරු විය.


Update :

 

කළුබෝවිල, කැලණිය සහ රාජගිරිය පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරු හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම කඳවුරුවල රාජකාරී කළ නිලධාරීන් කිහිප දෙනකුට කොවිඩ් 19 ආසාදිත වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

අද වන විට පොලිස් නිලධාරීන් 183 දෙනකු කොවිඩ්-19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ද ඉන් 56 දෙනකුම පොලිස් විශේෂ කාර්‍ය බලකායට අයත් නිලධාරීන් බව එම මධ්‍යස්ථානය පවසයි.


Update :

23 වැනි කොරෝනා මරණය ලෙස නිවේදනය කෙරුණු කාන්තාව මිය ගොස් ඇත්තේ සිය නිවසේදී බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ⁣ආසාදිත බවට හඳුනාගෙන ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවක මෙලෙස මිය ගොස් ඇතැයි ද ඇයට උණ, කැස්ස උගුරේ ආසාදනය වැනි රෝග තිබී ඇති බවද පෙනහළු ආසාදනය නිසා මිය යන්නට ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 272 දෙනකු වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඉන් 269 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවද ඔවුන් පෙර රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින් බවද තිදෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය කියයි.


Update :

කොරෝනා ආසාදිතයකු තහවුරු වීම නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘ඉසුරුපාය’ ගොඩනැගිල්ල විෂබීජහරණය සඳහා තාවකාලිකව වසා දැමූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.


Update :

මෙරට 22 වැනි කොවිඩ්-19 මරණය ලෙසට නිවේදනය කෙරුණු කාන්තාව මිය ගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය නිසා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

පෙරේදා (01) කොළඹ ජම්පටා වීදියේ නිවසකදී මියගොස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලද 68 හැවිරිදි එම කාන්තාවගේ ⁣දේහය සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොවිඩ්-19 ආසාදිත කාන්තාවක බව තහවුරු වී ඇතැයි එම දෙපාර්තමේන්තුව කියයි.

ඇගේ පවුලේ සාමාජිකයකු කොරෝනා ආසාදිත වී සිට ඇතැයි ද ඇගේ නිවසේ අනෙකුත් පුද්ගලයන් ද නිවෙස් නිරෝධායනයට යොමු කර තිබූ බව ද ඇය මිය යාමට ආසන්න හේතුව කොවිඩ්-19 නිව්මෝනියා තත්ත්වය බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 39 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊයේ(02) තහවුරු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 179 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (02) කොරෝනා ආසාදිතයින් තහවුරු වූ ප්‍රදේශ

  • ගම්පහ දිස්ත්‍රික්කය

ගම්පහ 09
කඳාන 02
මහර 34
බියගම 18
මිනුවන්ගොඩ 01
කැලනිය 16
වත්තල 03
පෑලියගොඩ 03
රාගම 02
කඩවත 02
මුළු එකතුව 90

  • කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ (1-18) 32
කොළඹ මහ නගර සභාව 09
කහතුඩුව 01
කෝටිකාවත්ත 01
කොලොන්නාව 12
වැලිපිල්ලෑව 02
රාජගිරිය 01
මොරටුව 01
හෙල්තොට 01
අළුබොමුල්ල 01
මුළු එකතුව – 61

  • කෑගල්ල දිස්ත්‍රික්කය

වරකාපොල 11
අරනායක 10
යටියන්තොට 01
මුළු එකතුව – 22

  • ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල – 09
හික්කඩුව – 01
මුළු එකතුව – 10

  • රත්නපුර දිස්ත්‍රික්කය – 04
  • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
  • පොලිසිය

එස්.ටී.එෆ් රාජගිරිය – 23
මීගමුව 01
CID 01
රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂක අංශය 02
බොරැල්ල 08
කෙසෙල්වත්ත 02
පිටකොටුව ​​01
CCT කොළඹ 01
මුළු එකතුව – 39 යි

  • නිරෝධායන මධ්‍යස්ථාන 43

Update :

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මරණ දෙකම කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ බවද එම මධ්‍යස්ථානය කියයි.


2020.11.02


Update :

මේ වන විට පවතින තත්ත්වය අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළින්  කෝවිඩ් පොකුරක් නිර්මාණය වීම තරම් බරපතල තත්ත්වයක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ අනුරාධපුර ශාඛාවේ නුවන් කුලතුංග මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළින් මේ වන විට කෝවිඩ් ආසාදිතයින් 08 දෙනකු පමණ හදුනාගෙන ඇති බවත් ඔවුන් එකම ස්ථානයකින් නොව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් තහවුරු වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙසේ හඳුනාගත් කෝවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් මේ වන විට නිවෙස් තුළම නිරෝධායනයට යොමුකර ඇතැයිද තවදුරටත් ආශ්‍රිතයින් හදුනාගැනීම සිදුකරන බවද මෙම කෝවිඩ් ආසාදිත පිරිස ඇසුරුකළ සමීපතම පුද්ගලයින් සොයමින් තවදුරටත් ඔවුන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු සිදුකරන බවද නුවන් කුලතුංග මහතා කීවේය.

මේ අතර කොළඹ සිට අනුරාධපුරයට පැමිණි කම්කරු අමාත්‍යාංශයේ උසස් නිපධාරියෙකුට කෝවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු කරගැනීමත් සමග ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු 35 දෙනකු දින 14ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද හෙතෙම පැවසීය.

එම පුද්ගලයින් නිරෝධායනයට යොමුකර දින 11 කින් පසුව පීසීආර් පරික්ෂණ සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර කෝවිඩ් ආසාදනය වී යැයි කියන කම්කරු අමාත්‍යාංශයේ උසස් නිලධාරියාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසූවේ ඔහු මේ වන විට පුනානි රෝහලට යොමුකර සිටින බවයි.

ඔහු මෙසේ කීවේය.

“ගිය මාසේ 28 වෙනිදා වැඩ කරලා මම ගෙදර ආවා. ගෙදර ඉද්දි මට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා. ඔෆිස් එකේ පීසීආර් පරීක්ෂණය කරපු 05 දෙනකුට කෝවිඩ් ආසාදනය වෙලා කියලා තහවුරු කරගෙන තියෙනවා කියලා කිව්වා. ඒ නිසා මටත් කෝවිඩ් ඇති කියලා මම සැක හිතලා මම ඒ අවස්ථාවේදීම අනුරාධපුර රෝහලට කතාකළා. එතකොට අනුරාධපුර රෝහලෙන් කිව්වා දැන්ම ඇවිත් රෝහලට ඇතුල්වෙලා පීසීආර් පරීක්ෂණය කරගන්න කියලා. ඒ අවස්ථාවේ මම වෙනත් කිසිවෙක් හමුනොවී කෙලින්ම රෝහලට ගියා. පීසීආර් පර්ක්ෂණය කළාට පස්සේ මම ආසාදිතයෙක් කියලා හදුනාගත්තා. ඒනිසා රෝහලෙන් මාව පූනානි වලට එව්වා. ඊට පස්සෙ මගෙන් විස්තර ගත්තා. මම ආසාදිතයෙක් කියලා දැනගන්න කලින් ඊට කලින් සතියේ මම අනුරාධපුර නගරයේ ස්ථාන 04 ට ගිහින් තියෙනවා. ඒ තැන් වලදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවා එය තහවුරු කර තිබෙනවා. පසුව මගේ පවුලේ අය සහ ආශ්‍රිතයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරෝධායනයට යොමුකර තිබෙනවා. “ යැයි කීවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හදුනාගත් ආසාදිතයින් සහ ඔවුන් සම්බන්ධතා පැවැත්වු ස්ථාන මේ වන විට විෂබීජ හරණය කර ඇති බවත් තවදුරටත් එම කටයුතු සිදුකරමින් පවතින බවත් අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.


Update :

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල සහ බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශත් ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් හුදකලා ප්‍රදේශ ලෙසට නම් කරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයිිි.


Update :

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 111 ක් වාර්තා වූ බවත් එම සියලු දෙනාම පෑලියගොඩ පොකු⁣රේ ආශ්‍රිතයන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව අද දිනට මේ වන තෙක් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 275 කි. එමෙන්ම දෙවැනි රැල්ලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 7857 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

22 වැනි කොරෝනා මරණය ලෙස රජයේ සෞඛ්‍ය අංශ විසින්ම අද(02) උදැසන ප්‍රකාශයට පත් කරනු ලැබු පානදුර තරුණයාගේ මරණය කොවිඩ්-19 මරණ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට  තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ එම මරණය කොරෝනා නිසා ඇති වූ මරණයක් නොවන නිසා බව එම අංශය පවසයි.

එම මරණය සිදුවීමට කොරෝනා දායක වී නොමැති නිසා මෙම තීරණය ගෙන ඇති බවත් කොවිඩ්-19 රෝගයේ බලපෑම තක්සේරු කිරීමට වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණ වෙනම ගණන් කිරීමට තීරණය කර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නි⁣වේදනයක දැක්වේ.

ඒ අනුව මෙතෙක් මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 21 දක්වා අඩු කර තිබේ.


Update :

නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට තිබූ දෙවැනි පාසල් වාරය නොවැම්බර් 23 වැනිදා දක්වා කල් දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


Update :

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 164 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් 121 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවත් 43 දෙනකු නිරෝධායනය වෙමින් සිටින අය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහායක කාර්ය මණ්ඩලයේ සේවකයකු ඊයේ COVID-19 ආසාදිත බවට තහවුරු වූ බව එම මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මේ වන විට ඔහු ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන බවද එම කාර්යාලය නිවේදනය කරයි.


Update :

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලුම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු අද(02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.


Update :

වෙනත් හේතුවක් නිසා මරණයට පත්ව පානදුර රෝහලට ඇතුළත් කළ 27 හැවිරිදි තරුණයෙකු මරණයෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔහු ඉකුත් 31 වැනිදා පානදුර රෝහලට ඇතුළත් කර තිබේ. මෙය මෙර⁣ට 22 වැනි මරණය බව ද එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

ඒ අනුව ඇඳිරිනීතිය පනවා නොමැති වුවද එක් නිවසකින් පිටවීමට අවසර හිමි වන බවට සඳහන් වන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසරලත් වැඩවල නිරත නොවන්නේ නම් එක් නිවසකින් පිටවීමට අවසර හිමි වන්නේ පුද්ගලයන් දෙදනකුට පමණි.

එම මාර්ගෝපදේශ නිවේදනය පහත දැක්වෙයි


2020.11.01


Update :

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 204 ක් තහවුරු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 169 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවද 35 දෙනකු නිරෝධායනය මධ්‍යස්ථානවලින් බවද එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

කෑගල්ල මාවනැල්ල ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 18 දෙනෙකු තහවුරු වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

පළමු පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බවට තහවුරු වූ පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි ද මිය ගිය පසුව කරන ලද දෙවැනි පීසීආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි ද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඔහු වැලිසර රෝහලේදී මිය ගොස් ඇති අතර මිය ගිය පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද දෙවැනි පීසීආර් පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් බව ද ඔහු අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් 23 වැනිදා රෝහල්ගත වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

තවත් කොරෝනා රෝගීන් 193 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන් 187 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් හය දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කිසිදු අවශ්‍යතාවයක් සදහා දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.


Update :

ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වල සිටින්නන් හට යම් කිසි රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නම් රෝහල් තුළට යාමට ප්‍රථම 011 7966366 අමතා දැනුම්දෙන ලෙසත්, එවිට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් නිවසටම පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා අද (01) ප්‍රකාශ කළේය.

එමෙන්ම, පීසීආර් පරීක්ෂණය මඟින් වෛරසය අසාදනය වූ අයෙක් බව හඳුනාගත හොත් දැනට ක්‍රියාත්මක වන රෝහල් පද්ධති තුනහි යෙදවීමට කටයුතු කරන බවත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ තිබේ නම්, දෙවැනි මට්ටමේ රෝහලකට ඇතුළත් කෙරෙන බවත් වෛරසය අසාදිත එහෙත් රෝගලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතටත් යොමු කරන බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම, අතුරු අබාධ/ නිධන්ගත රෝග ඇති,බරපතළ හානි විය හැකි, අසාදිතයෙකු හට දරුණු ලෙස රෝග ලක්ෂණ තිබේ නම් පළමු මට්ටමේ රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඔහු කීවේය.

මෙවර ලංකාව තුළ ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසය කන්දකාඩු පොකුරෙන්, නාවික පොකුරෙන් හෝ මතු වූ වෛරස ව්‍යාප්තියට වඩා ඉතා ඉක්මණින් තවකෙකුට පැතිරීමේ හැකියාව පවතින බව ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

ඒ බව ඊයේ (31) දිනයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රයෙෂණයකින් තහවුරු වී ඇති බවත් එම වෛරසය වඩා සාස් වර්ගයේ උප වර්ගයක් වන B142 වර්ගයේ වෛරසයක් වන බවත් ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව, පුද්ගලයින් ආසාදිතයින් වීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව මෙහි දී අනාවරණය කළ ඒ මහතා හැකි තරම් සංචරණය සීමා කොට හැකි තරම් නිවෙස් තුළට වී සිටින්නැයි ද ඒ මහතා ජනතාවට උපදෙස් දුුුුුුුුුුුන්නේය.

යම් කිසි පුද්ගලයෙකු රෝගියෙකු යැයි වාර්තා වූ විට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පීසීආර් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය යැයි සඳහන් කළ හොත් ඒ සඳහා අනිවාර්යයෙන් ඉඩ දෙන ලෙසත්, පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරු නිවසේම රැඳී සිටින ලෙසත් ඒ මහතා ඉල්ලා සිටී.

යම් කිසි හේතුවක් නිසා නිවසෙන් බැහැර වීමට අවශ්‍ය වුවහොත් මේ වන තෙක් අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙසත්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිධන්ගත රෝගාබාධ වලින් පෙළෙන්නන් මෙම වෛරසය වැළඳීමට ඇති හැකියාව අවම කර ගත යුතු බවත් ඒ මහතා පැවසීය.


Update :

බස්නාහිර පළාතට පැනවූ ඇඳිරිනීතිය නොවැම්බර් 09 වැනිදා අලුයම 05 දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම පළාතට ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැනවූ ඇඳිරිනීතිය හෙට(02) අලුයම 05ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.

මීට අමතරව එම කාලය තුළ පහත ප්‍රදේශවලට ද ඇඳිරිනීතිය බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.

  • ඇහැලියගොඩ පොලිස් වසම
  • කුරුණෑගල නගර සීමාව
  • කුලියාපිටිය පොලිස් වසම

නිරෝධායනය වෙන සියලු පුද්ගලයින් වෙත රජය විසින් සහන මල්ලක් ලබා දීමට කටයුතු කරන බවත් නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාල සිමාවේ දී බස්නාහිර පළාතේ නිවෙස්වලට අවශ්‍ය අහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වලට රැගෙන ඒමේ ක්‍රමවේදයක් සැකසීමට රජය දැනටමත් කටයුතු සම්පාදනය කරන බවත් සිල්වා මහතා කීවේය.

හමුදාපතිවරයා අද (01) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කළේ ය.

ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට හේතුව වන්නේ කොවිඩ්19 ආසාදිතයින් වැඩි වශයෙන් බස්නාහිර පළාතෙනුත්, කෑගල්ල, කුරුණෑගල සහ කළුතර ප්‍රදේශ වලිනුත් වාර්තා වීම නිසා බව ඒ මහතා ප්‍රකාශ කළේය.

අත්‍යවශ්‍ය කරුණක් හැරුණුකොට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද සීමා කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මෙම පියවර ගත් බවත් මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙසත්, නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ වල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගමන් කිරීමේ හැකියාව තිබෙන බවත් යුදහමුදාපතිවරයා පැවසීය.අනිකුත් පිරිස් නිවෙස් තුලම රැඳී සිටින ලෙසත් මෙහි දී යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියේය.

යම් අසාදිතයෙකු කුමන හෝ ප්‍රදේශයකින් වාර්තා වුවහොත් ඔහු වහාම රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන බවත්, එම රෝගියා රෝහල වෙත රැගෙන එන අවස්ථාවේ දී ඔහු ගේ ප්‍රථම අශ්‍රිතයින් සහ මහජන පරීක්ෂක වරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ හෝ අනුදැනුමට අනුව අනෙකුත් දෙවැනි අශ්‍රිතයින් පවා නිරෝධායනය කිරීමට කටයුතු කෙරෙන බවත්, නිවෙස් සඳහා නිරෝධායනය කර ඇති සියලුම පුද්ගලයින් ඒ ආකාරයෙන්ම නිරෝධායනය වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

රට තුළ ඉතාමත් අවදානම් තත්ත්වයක් පවතින මේ මොහොතේ ජනතාව නිරෝධායන කටයුතු වල ඒ ආකාරයෙන්ම නිරත වී කොවිඩ් 19 මෙරටින් තුරන් කිරීමට එකාමෙන් වැඩකටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටීයේය.

 

පෙර පුවත් සඳහා මෙතැනින්

Previous articleගෝඨාභයගේ පාර්ලිමේන්තු සභාව ‘වැඩක් නැතුවම’ අවසන් !
Next articleතමන් වෙනුවෙන් මාධ්‍යවේදියා පෙනීඉන්න ඕනෙ ! – සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here