වසරකට කසල ටොන් 32000ක් ලංකාවේ මුහුදු තීරයට

(හසරිඳු රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසල ටොන් 32 000  ක් පමණ එකතු වන බවත් ඉන් විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතල් වන බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී ඇත.

2019 වසරේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ වෙරළ පවිත්‍රතා දිනය තුළදී (ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ )  ආහාර ඔතන ද්‍රව්‍ය 218 556 ක් , සිගරට් කොට 11 607ක් ප්ලාස්ටික් බෝතල් 15 438ක්, ප්ලාස්ටික් බෝතල් මූඩි 22 555 , බීම බට 4707 ක්, ප්ලාස්ටික් කෝප්ප 3625ක් , සිලි බෑග් 11 972  ක්,  ප්ලාස්ටික් දවටන 3561 ක් සහ  වෙනත් ප්ලාස්ටික් බෑග් (සිලි බෑග් නොවන) 7544ක් සහ ප්ලාස්ටික් පියන්  4883ක් හමුවී තිබේ.

අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය නිමිති කරගනිමින් පසුගිය 2019 වසරේදී එක් දිනක් තුළදී ක්‍රියාත්මක කළ ලෝකයේ වෙරළ කලාප පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් වැඩිවශයෙන්ම හමුවී ඇති ද්‍රව්‍ය වන්නේ  ආහාර ඔතන ද්‍රව්‍ය, සිගරට් කොට සහ ප්ලාස්ටික් බෝතල් බව  2020 වෙරළ පවිත්‍රතා වාර්තාව සඳහන් කර තිබේ.

ඒ අනුව පිළිවෙලින් ප්ලාස්ටික් බෝතල් මූඩි, බීම බට, ප්ලාස්ටික් කෝප්ප, සිලි බෑග්, ප්ලාස්ටික් දවටන, වෙනත් ප්ලාස්ටික් බෑග් (සිලි බෑග් නොවන) සහ ප්ලාස්ටික් පියන් යනාදිය ලෝකයෙන් වැඩිපුරම හමුවු කසල ද්‍රව්‍ය 10 වන බවද එම වාර්තාව සඳහන් කළේය.

ඒ අනුව එක් දිනක් තුළදී ලෝකයෙන් ආහාර ඔතන ද්‍රව්‍ය 4 771 602 ක්, සිගරට් කොට 4,211,962 ක් ප්ලාස්ටික් බෝතල් 1 885 833 ක් ,ප්ලාස්ටික් බෝතල් මූඩි 1500523 , බීම බට 942992 , ප්ලාස්ටික් කෝප්ප 754696 , සිලි බෑග් 740 290 ක් , ප්ලාස්ටික් දවටන 678 312ක් ,  වෙනත් ප්ලාස්ටික් බෑග් 611 100 ක් , ප්ලාස්ටික් පියන් 605 778 ක් හමුවී තිබේ.

රට තුළ බැහැර කරන කසල ජල මාර්ග හරහා වෙරළ කලාපයට පැමිණිම සහ මුහුදට බැහැර කරන කසල වෙරළ කලාපයට පැමිණ තැන්පත්වීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේය.

වෙරළ කලාපයට කසල එකතුවීම සම්බන්ධයෙන් සහ වෙරළ පිරිසිදු කිරීම සම්බන්දයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා මෙසේ පැවසීය.

“මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙක්ම වෙරළ කලාපයට කසල එකතුකරන්න සම්බන්ධ වෙනවා.  මේ පුද්ගලයින් නුවර කුරුණෑගල පොළොන්නරුවේ ඉන්න පුළුවන්. ලංකාවේ කොතැන හිටියත් මේ සියලුදෙනා දෛනිකව වෙරළ කලාපය දුෂණය කිරීමට  සම්බන්ධ වෙනවා.

නිවසේ නිපදවන අපද්‍රව්‍ය ගමේ , නගරයේ, පළාතේ නිපදවන අපද්‍රව්‍ය ක්‍රම ක්‍රමයෙන් ඇළදොළ ගංගා වැනි ජල මාර්ග හරහා බැහැර කිරීමෙන් ඒවා වෙරළ කලාපය දුෂණය කිරීමට එකතුවෙනවා.

වෙරළ කළාපය පිරිසිදු කිරීම වෙරළ කලාපයට පැමිණ සිදුකිරීමට පුළුවන් වගේම රටේ පිරිසුදුව තබාගැනීමෙන් එය සිදුකළ හැකියි. ඒ පණිවුඩය ගෙනියන්න අපි වෙරළ කලාපය පිරිසිදු කිරීමෙන් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

මුහුද කියන්නේ ලංකාවේ අනාගත ආර්ථිකය. මුහුද හරහා ජලය ශක්තිය රැකියා කෘෂිකර්මය ආදි බොහෝදේ ලබාගන්නනවා. නීල ආර්ථිකයට අපි අනිවාර්යෙනන් යා යුතුයි. මුහුද තුළ ගොඩක් සම්පත් තිබෙනවා. ඒවා ලබාගන්නනම් සාගරය සෞඛ්‍යාරක්ෂිතව අපි බලාගත යුතු වෙනවා. වෙරළ කලාපය පිරිසිදු කරගැනීමට  සියලු දෙනා දායක වෙන්න කියා මම ඉල්ලා සිටිනවා”

Previous articleජගත් මානව හිමිකම් කොමිසමෙන් ලංකාව ඉවත් වන කතාව බොරු 
Next articleආණ්ඩුවට එරෙහිව උතුරේ පක්ෂ මුල්වරට එක්වෙයි – අවසාන තීරණය 20

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here