මාධ්‍යයට තියෙන බලය තේරුම්ගන්න – සාහිත්‍යවේදිනී මාලිනී ගෝවින්නගේ

වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොන වගේ තත්ත්වයක් ද?

වෘත්තීය ජනමාධ්‍යවේදියා කියන පුද්ගලයත් රැකියාවක් තමයි කරන්නෙ. ඒ වුණත් ඔහුට හෝ ඇයට සමාජය සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා. එදා වේල හම්බ කර ගැනීම විතරක් නෙමෙයි ඔහුගේ රැකියාවේ අරමුණ. මම හිතන්නෙ මාධ්‍යවේදියෙක් බවට පත්වුණු ගමන් අපේ ආධ්‍යාත්මයෙන්ම අපි මේ කියන සමාජ වගකීමට බැඳෙනවා. මාධ්‍යවේදියෙක් කියන්නෙ තවත් රැකියාවක් නෙමෙයි මට අනුව නම්. ඔහු සමාජයේ සුවිශේෂී පුද්ගලයෙක්. ඒකෙන් මම අදහස් කරන්නෙ සමාජයට උඩින් හෝ සමාජයේ විශේෂ වරප්‍රසාදලත් කණ්ඩායමක් කියන අදහස නෙමෙයි. සමහරු නම් එහෙම වෙන්න උත්සාහ කරනවා තමයි. ඒත් මාධ්‍යවේදියා හැමවෙලාවෙම ඉන්න ඔ්නෙ ජනතාවත් එක්ක. ජනතාවට ඉහළින් නෙමෙයි. වචනෙ අර්ථයට තර්ක-විතර්ක මොනවා තිබුණත්, ඔහු පාරිශුද්ධ පුද්ගලයෙක් වෙන්න උත්සාහ දැරිය යුතුයි කියන එකයි මගෙ අදහස.

අද සමාජය පත්වෙලා තියෙන තත්ත්වයට මාධ්‍යවේදීන් සෑහෙන තරම් වගකියන්න ඔ්නෙ. බහුතරය වගකීම අත්හැරලා. අනෙක තමයි, අවංක, සුවිශේෂී හැකියාවක් සහිත මාධ්‍යවේදීන් සමාජයේ ඕනෙතරම් ඉන්නවා. හැබැයි මාධ්‍ය ආයතනවල ඉහළ, තීරණ ගන්න තැන්වල ඉන්නෙ ඔවුන් නෙමෙයි. ඔවුන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. මාධ්‍ය සමාජය ඇතුළෙන්ම ඔවුන්ව කපලා දානවා. ඒ අභියෝගයට මුහුණදීමත් මාධ්‍යකරුවෙකුගෙ වගකීමක් විදිහට මම දකිනවා. මාධ්‍යවේදියෙකුට කළකිරෙන්න, අත්හැරලා යන්න අයිතියක් නෑ, ඔහු මොන තත්ත්වයකදී වුණත් සමාජය ඉදිරියට ගෙනයන්න සටන් කිරීමේ වගකීමක් දරන කෙනෙක්.

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් රැසක් මැද්දෙ තමයි, වෘත්තීය මාධ්‍යවේදියට තමන්ගෙ වගකීම ඉටුකරන්න වෙලා තියෙන්නෙ. ඒ වගේ තත්ත්වයකදි ඔබ කියන අභියෝගය ඔහු හෝ ඇය ජයගන්නෙ කොහොමද?

අනිවාර්ය උඩුගංබලා යෑමක් තමයි කරන්න‌ වෙන්නෙ. ප්‍රාග්ධන බලපෑමට මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය සමාජයකට යටවෙන්න පුළුවන්ද. අපිට බැරිද ඒක එක්ක හැප්පෙන්න. කොතැනින්ද ඒක ආරම්භ කරන්නෙ, කොහොමද ඒක කරන්නෙ, එහෙම කරන්න ගිහින් මාධ්‍යවේදියගෙ රැකියාව නැතිවුණහම මට වගකීම ගන්න පුළුවන්ද වගේ ප්‍රශ්නවලට මගෙ ළඟ උත්තර නෑ. ඒත් මට හිතෙන්නෙ කුමන මාධ්‍යයකදි වුණත් මාධ්‍යවේදියා රැඩිකල් විය යුතුයි. රැඩිකල් කියපු ගමන් අපේ සමාජයේ තියෙන්නෙ එච්චර හොඳ අදහසක් නෙමෙයි. ඒකට හේතුව රැඩිකල් කියන්නෙ මොකක්ද කියන එක අපේ හුඟදෙනෙක් තේරුම් අරගෙන නැති එක. රැඩිකල් කියන්නෙ අවංක අත්හැරීම් කියලා වෙනස් අර්ථයකින් ගන්න පුළුවන්. තමන් විශ්වාස කරන ඇත්ත වෙනුවෙන් පෙනීඉන්න එක.
මාධ්‍යවේදියට මේක ආදේශ කරගන්න. මාධ්‍ය ආයතනය එක්ක ඔහු හැප්පෙන්න ඕනෙ, හැබැයි ඒක කරන්න ඕනෙ තමන්ගෙ වාසියට නෙමෙයි. පොදු යහපත වෙනුවෙන් අවංකව. බැරිම තැනකදි ඔහුට අත්හරින්න වෙයි. හැබැයි මම දැකලා තියෙනවා, එහෙම අත්හරින අයට අත්හැරියට වඩා වැදගත් දේවල් ඒකෙන් හම්බෙනවා. අත්හරින්න බයවෙන තාක්කල්, මොකුත් අලුතින් ලැබෙන්නෙත් නෑ. මේ විදිහට අත්හරින්න කියපු ගමන් මට විවේචනයක් එල්ල වෙයි. කොහොමද එතකොට ඔවුන් ජීවත්වෙන්නෙ කියලා. ඇත්ත, එහෙම මිනිස්සු රකින, මිනිස්සුන්ව රකින්න පුළුවන් ශක්තිමත් සමාජ සමූහ මේ සමාජයෙ නෑ තමයි. එහෙම වුණේ ඇයි වගේ කාරණා එක්ක ඒක වෙනම කතා කරන්න ඕනෙ මාතෘකාවක්.  
මිනිස්සු මේ ප්‍රශ්නෙ දන්නවා. හැබැයි ඒක පිළිගන්න සූදානම් නෑ. ඒ වගේම බොරුවට කැමැත්තෙන් මුලාවෙලා ඉන්නෙ. සමාජයේ බහුතරය ඇත්තට බයයි. ඒක නිසා නිද්‍රාගත කරන්න පහසු වෙලා තියෙනවා. මාධ්‍ය තමයි ඒ වැඩේ මෙහෙයවන්නෙ. මේ තත්ත්නව ගැන විශේෂයෙන් මාධ්‍යවේදීන් තේරුම්ගන්න ඕනෙ. උදාහරණයක් ගන්න, ළමයින්ට හොඳ නෑ කියලා සමාජය පිළිගන්න කොච්චරක් දේවල් මාධ්‍යවල යනවද. ඒව ගැන ඒවා මෙහෙයවන මාකටින් කණ්ඩායම් එක්ක මාධ්‍යවේදීන් කීදෙනෙක් කතා කරලා තියෙනවද.

මේ තත්ත්වයේ වෙනසක් කරන්න ඔබ කරන යෝජනා මොනවද?

එක යෝජනාවයි කරන්න තියෙන්නෙ. මාධ්‍යයට තියෙන බලය තේරුම්ගන්න. අද මාධ්‍යවේදීන්ව මෙහෙයවන්නෙ ඒ බලයෙන් කොටසක්වත් නැති විවිධ පටු අරමුණු එක්ක ඉන්න කණ්ඩායම්. මේ කණ්ඩායම්වලට යටවෙන්න කලින්, මාධ්‍යයට සිව්වැනි ආණ්ඩුව කියන්නෙ ඇයි කියලා හොයලා බලන්න. මේවා තේරුම්ගත්තට පස්සෙ අර මම මුලින් කියපු පෞර්ෂය, අවංක කැපවීම් කිරීමේ ශක්තිය ලැබෙනවා. මාධ්‍ය මෙහෙයවන්න ඕනෙ, අවංක, පෞර්ෂයක් තියෙන මාධ්‍යවේදීන්. ඒකට කිසිම බෙදීමක් නෑ. ජාති බේද, ස්ත්‍රී-පුරුෂ අදාළ නෑ.

Previous articleකොරෝනා මරණ භුමිදානය කිරීම ගැන සලකා බැලීමට පත් කළ කමිටුව මේ සතියේ රැස්වෙයි
Next articleචූදිත ‘අග විනිසුරුත්’ නිව්යෝර්ක් යවයි – ජනපති පත්වීම් සියල්ල අනුමතයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here