කොරෝනා මරණ භුමිදානය කිරීම ගැන සලකා බැලීමට පත් කළ කමිටුව මේ සතියේ රැස්වෙයි

(නිලූක සදුන් පද්මසිරි)

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදුකරන අාකාරය සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා අදාළ කමිටුව මේ සතියේ රැස්වෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (03) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම කමිටුව නැවත රැස්වීමට තීරණය කරනු ලැබූ බව ද එහිදි කොරෝනා රෝගීන් භූමිදානය කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ඇය කීවාය.මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා වට කිහිපයක් කළ බව ඇය සඳහන් කළාය.

කොරෝනා රෝගීන් භුමිදානය කිරීමට අදාළව මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් ඇති බවත් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස මීට මාස හයකට පෙර ඉල්ලීම් කළ බවත් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය. එ් සම්බන්ධයෙන් මාස හයකින් සලකා බලන බවට එම අවස්ථාවේ අදාළ බලධාරීන් ප්‍රකාශ කළ නමුත් දැනට මාස හයක් ගොස් ඇතැයිද අනික් රටවල මේ වන විටත් එම වෙනස සිදු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ නැවතත් කටයුතු කරමින් සිටින බවත් මෙම කරුණ දේශපාලනීකරණය කළ යුතු නැති බවත් එසේ වු⁣⁣වහොත් එකිනෙකාට විරුද්ධව මිනිස්සු හැරවීමක් සිදුවන බවත් ඒ හේතුවෙන් මෙම ගැටළුව ඉවසීමෙන් මානුෂිකව විසඳාගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ කරුණු දැක්වීමකට පිළිතුරු ලෙස අලි සබ්‍රි මහතා මේ බව කීවේය.

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන් ආදාහනය කිරීමට තීරණය කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික නිර්වචනයක් අනුව බවත් එම අවස්ථාවේ අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ලබාදුන් විශේෂිත නිර්දේශයක් අනුව බවත් එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කීවාය.

කොරෝනා නිසා සිදුවන මරණ සම්බන්ධයෙන් ඒ ඒ පාර්ශ්වවල කැමැත්ත අකමැත්ත අනුව අාදාහනය හෝ භූමිදානය සිදු කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසූ නමුත් ශ්‍රී ලංකාව එම මරණ ආදාහනය කිරීමට අන්තවාදී තීන්දුවක් ගත් බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහිදී අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසූවේ මෙි වන විට මෙලෙස මියගිය මුස්ලිම් ජාතිකයින් නව දෙනකුගේ දේහයන් ආදාහනය කර ඇති බවත් මෙය මානුෂීයව සලකා බලා හැකි ඉක්මණින් මැදිහත් වී මෙම ගැටළුව විසඳන ලෙසත්ය. මෙරටේ සිටින මුස්ලිම් ජනතාවට භුමිදානය කිරීමට ඇති අයිතිය හැකි ඉක්මණින් ලබා දෙන ලෙසට ද ඔහු ඉල්ලා සිටියේය.

එම විවාදය පැවැත්වූ අවස්ථා⁣වේ ඇති වූ දෙබස් පහතින් දැක්වෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – කොරෝනාවලින් රටේ ජාතිය දෙකඩ කළා. කොරෝනා ගැන රටවල බේද අමතක කරලා එක්සේසත් වෙනකොට මේ ⁣රටේ රජය මුළු රටම බෙදුවා. ගරු කථානායක තුමනි ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනා වලින් මරණයක් වෙනකොට එ් පාර්ශ්වවල කැමැත්ත අකමැත්ත අනුව භුමිදානය කරන්න පුළුවන් කියලා.දැන් මට ඇහුණා සෞඛ්‍ය ඇමතිතුමිය කියනවා සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවා කියලා හැබැයි මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට ඒ අයව ඉලක්ක කරගෙන කොරෝනාව ව්‍යාප්ත කරන්නේ මේ රටේ මුස්ලිම්වරුන් ඉස්ලාමීය ජාතිකයින් කියන කතාව නිර්මාණය කරලා මොකද්ද ක⁣ළේ. පුච්චන එක පාපකර්මයක් ඒ ආගමේ. ⁣ඒ සංස්කෘතියේ. නමුත් මොකද්ද කළේ ඉතාමත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි – ගරු කථානායක තුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික නිර්වචනයක් අනුව ඒ වෙලාවේ තිබිච්ච සෞඛ්‍ය සේවයේ වි⁣ශේෂඥයෝ දීපු නිර්දේශ අනුව තමයි ඒ වෙලාවේ තීන්දු ගත්තේ. අපට ඕන විදියට නෙමෙයි. තාක්ෂණික නිර්වචනයක් අනුව. ඒක වෙනස් කරනවනම් අපි ඒක බලලා කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – ගරු කථානායකතුමනි ගරු අැමතිතුමිය එසේ කථා කළත් අලි සබ්‍රි මැතිතුමා දන්නවා එතුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍යය කියලා අලි සබ්‍රි මැතිතුමා දන්නවා.

මේක මේ ලකුණු දාගන්න කරන කතාවක් නෙමෙයි. මේ ඇත්ත කතා කරන්නේ. මොකද්ද මේ රටේ වෛද්‍ය විශේෂඥවරුන් මහාචාර්ය වජිර දිසානායක, වෙස්ලි ශෙරිෆ්, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු එ් වගේම රුවෙස් හනීෆා මේ හැමෝම මොකද්ද ඉල්ලුවේ අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරලා තීන්දුවක් ගන්න කිව්වා. ඉස්ලාමීය ප්‍රජාවට මුස්ලිම් ජාතිකයින්ට ඒ පුච්චන ක්‍රියාවලිය පාප කර්මයක්. ඒ සංස්කෘතිය ආගමට විරුද්ධව යන දෙයක්. නමුත් රටේ රැල්ලක් නිර්මාණය කරා මුස්ලිම් භක්තිකයන් ඉස්ලාම් භක්තිකයන් කියලා. ඒක පැහැදිලිවම කළා. මුළු රටේම ඒ වගේ මහා අන්තවාදී ජාතිවාදී රැල්ලක් නිර්මාණය කළා.ගරු කථානායක තුමනි, ඇත්ත කතාව. ගරු කථානායක තුමනි විශේෂයෙන්ම අපි පොඩ්ඩක් හොයලා බලමු.

පා.ම මොහොමඩ් මුසම්මිල් මහතා – මේ සභාවේ ජාතිවාදය අවුස්සන්න එපා. ඒකට කිසිම ලේඛණයක් නෑ. එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්වත් වෙනත් තැනකින්වත් කිසිම තැනකින් එහෙම කියලා නෑ මේ බොරුවක් කරන්නේ. ජනතාව නොමග යවන්න එපා.

පා.ම නලීන් බණ්ඩාර – ගරු කථානායකතුමනි මේ පහළ දේශපාලනය මේ තත්ත්වය නැති කරන්න ඕනේ. පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. මේ වගේ බොරු මේ වගේ දේවල් කතා කරන්න එපා. ජාතිවාදය අවුස්සන්න එපා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – ගරු කථානායකතුමනි මම ඔබතුමාගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා මේ කතාව කරගෙන යන්න ඉඩ ලබාදෙන්න. මේ බොරු පොයින්ට් ඔෆ් ඕඩර් කරන්නැතුව.

අධිකරණ ඇමති අලි සබ්‍රි – විපක්ෂ නායක තුමාගේ කතාවේදි මගේ නම සඳහන් කරපු නිසා මම පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. අපි හැමෝම දන්නවා කොවිඩ් කියන්නේ ඉතාමත් අභියෝගාත්මක රෝගයක්. මේ රටට විතරක් නෙමෙයි ලෝකයටම. අපි සියලු දෙනාම මේ අභියෝගයට මුහුණ දෙමින් ඉන්නවා. අපි දන්න⁣වා මුස්ලිම් ජනතාවගේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා කියලා භුමිදානය කරන එක පිළිබඳව. නමුත් ඒක දේශපාලනලය කරන එක සුදුසු නෑ. ඔය කතා කරපු ටොක්ටර්ලා තුන් දෙනා එක්ක තවත් විශිෂ්ට ගණයේ වෛද්‍යවරු රාශියක් ගිහින් වෛද්‍ය කණ්ඩායමක් හමුවෙලා මේ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා මාස හයකට ඉස්සෙල්ලා. ඔවුන් මේක දේශපාලන පදනමක් මත නෙමෙයි ඔවුන්ට බියක් තිබුණා. ‘fear of unknown’ මේක evolving science එකක්. ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් දැනට මාස හයක් ගිහින් තියෙනවා අනික් රටවල මේක සිද්ධ වෙලා තියෙනවා. අපිට කිව්වා මාස හයකින් නැවත මේක සලකා බලනවා කියලා. අපි ඒ සම්බන්ධයෙන් නැවතත් කටයුතු කරමින් ඉන්නවා. මේක දේශපාලනය කරන්න හොද නෑ. එහෙම වු⁣⁣ණොත් එකිනෙකාට විරුද්ධව මිනිස්සු හරවනවා. ඒ නිසා ඉවසලා මේ ප්‍රශ්නය විසඳගන්න මානුෂිකව බලන්න කියලා මතක් කරනවා.

මුජිබර් රහුමාන් – ගරු කථානායකතුමනි දැන් ⁣අපේ අධිකරණ අමාත්‍යාතුමා යම් විග්‍රහයක් කළා.
ඒකේදි පැහැදිලිව කියන්න ඕනේ දැන් එතුමා කියන විදියට අද වෙනකොට ඒ විශේෂඥ කමිටුව පත් කරන්න කියලා ඉල්ලලා මාස හයක් වෙනවා. මේ මාස හය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිම ප්‍රතිචාරයක් දක්වලා නෑ මේ කමිටුව පිහිටුවන්න. ඒ නිසා අදත් එතුමට අදත් කියනවා විගහට මැදිහත්වෙලා මේක කල් දාන්නේ නැතුව කටයුතු කරලා මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට භුමිදානය කරන්න අයිතිය දෙන්න ඉක්මනට. ඕක පරක්කු කරන්න එපා අද වෙනකොට මිනිස්සු නව දෙනෙක්ව පුච්චලා තියෙනවා. අද වෙනකොට නව දෙනයි. තව කල් යන්න කල් යන්න මේක වැඩි වෙනවා. මේක මානුෂික ප්‍රශ්නයක්. මේක දේශපාලනයක් නෙමෙයි. ඔබතුමා මැරුණොත් ඔබතුමාවත් පුච්චනවා. මම මැරුණොත් මාවත් පුච්චනවා. අන්න ඒක. කල්පනා කරන්න. ඉක්මණින් මේක කරන්න.

පවිත්‍රා වන්නිආරච්චි – ඒ සම්බන්ධයෙන් එතුමා දැන් කිව්ව නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත් කරලා නෑ කියලා සහ එතුමා කතික ලැයිස්තුවෙත් නැනේ. ගරු කථානායක තුමනි මේ සම්බන්ධයෙන් ඒ විශේෂඥ වෛද්‍යවරුන් සමග අපි සාකච්ඡා වට කිහිපයක් කළා. ඒ වෙලාවේ අලි සබ්‍රි මැතිතුමා කිව්ව වගේ අපි කිව්ව මේක කවුරුත් ලෝකයම දන්නේ නැති වෛරසයක් ඒ නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරලා තමයි මේ කටයුත්ත කරන්න ඕනේ කියලා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ විශේෂිත නිර්දේශයක් අනුව තමයි අපි ඒ තීන්දුව ගත්තේ භූමිදානය නොකර අපි පුච්චන කටයුතු කරන්න. එවෙලේ විද්‍යාත්මක ඇනලසිස් එකක් ලබාදුන්නා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැවත අලි සබ්‍රි මැතිතුමාගේ ඉල්ලීමට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව මේ සතියේ රැස් වෙනවා. අපි රැස් වෙලා එි ගැන නැවත සලකා බලනවා.

Previous articleනිරෝධායන ක්‍රියාවලිය ගැන පවිත්‍රාට – ශවේන්ද්‍රට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ
Next articleමාධ්‍යයට තියෙන බලය තේරුම්ගන්න – සාහිත්‍යවේදිනී මාලිනී ගෝවින්නගේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here