චූදිත ‘අග විනිසුරුත්’ නිව්යෝර්ක් යවයි – ජනපති පත්වීම් සියල්ල අනුමතයි !

(ශාලික විමලසේන)  

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ එම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මූලස්ථානය පිහිටි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නිත්‍ය නියෝජිත යන තීරණාත්මත තනතුරුවලට චූදිතයන් යැවීම බරපතළ කරුණක් බව රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෝ අවධාරණය කරති.

අද (03) පැවැති පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තනතුරට හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් පත්කිරීමට තීරණය කරන ලදි. මීට පෙර ජිනීවාහි නිත්‍ය නියෝජිත තනතුරට මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු ද වන සී.ඒ.චන්ද්‍රප්‍රේම පත්කිරීමට මෙම කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබිණි.

අදාළ ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කර සිටින්නේ මෙම තනතුරු දෙකම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන තනතුරු බවයි. ලෝකයේ රටවල් අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මෙන්ම මෙරට විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයේදී ද එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තනතුරු තීරණාත්මක බව ඔවුහු පෙන්වා දෙති.

රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් නෑ

මීට පෙර මෙම තනතුරුවලට පත්කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ අත්දැකීම් සලකාබැලීම සියලු ආණ්ඩුවලින් සිදු කළද, වර්තමාන ආණ්ඩුව එය නොසලකා හැර ඇති බව ඔවුන්ගේ අදහසයි. රාජ්‍ය නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීම, එම සංවිධානයේ විවිධ සමුළු නියෝජනය, ආර්ථික සහ දේශපාලන වශයෙන් උපායමාර්ගික සම්බන්ධතා ශක්තිමත් කිරීම ඇතුළු කාර්යයන් රැසක් ද මෙම නිත්‍ය නියෝජිතයන් මාර්ගයෙන් සිදු වන බව පෙන්වා දෙන ඔවුන්, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් නැති පුද්ගලයන්ට මේ කාර්යය තරමක් අසීරු වනු ඇති බවයි.

විශේෂයෙන්ම ඇමරිකාව සහ චීනය ලංකාව මූලික කරගෙන උපායමාර්ගිය ගැටුමකට මුලපුරමින් සිටින කාලයක මෙවැනි පත්කිරීම් සිදුකිරීම මගින් ලංකාවට අන්තර්ජාතික වශයෙන් මානව හිමිකම් වැනි ක්ෂේත්‍රවලදී ලබාගත හැකි සහාය ද අහිමි වී යන්නට ඉඩ ඇතැයි එම ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කර සිටිති.

එක්නැලිගොඩ ගැන ගෙතූ කතා

එක්සත් ජාතීන්ගේ වධහිංසා පිළිබඳ කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් පවසා තිබුණේ අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක සැඟවී ජීවත් වන බවයි. ‘මම මේක කියන්නෙ ප්‍රයෝගකාරී අදහසකින් නොවෙයි. මේක ගැන අපිට බොහෝදුරට පැහැදිලියි. අපිට මාධ්‍ය හරහා මේ ගැන තොරතුරු ලැබී තිබෙනවා’ ඔහු එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ මෙසේ ප්‍රකාශ කරනු එක්සත් ජාතීන්ගේ වීඩියෝපටයක පැහැදිලිව සටහන්ව ඇති බව බීබීසී පුවත්සේවය තහවුරු කර ඇත. මෙම ප්‍රකාශයෙන් පසු ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුව සඳහා මොහාන් පීරිස් සාක්ෂිකරුවකු වශයෙන් නම් කරනු ලැබිණි. අධිකරණයට කැඳවීමෙන් පසු, අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් මොහාන් පීරිස් පවසා තිබුණේ තමන් කරන ලද ප්‍රකාශයක් දේශපාලන හේතු මත වැරදි ලෙස වටහාගෙන ඇති බවයි. එසේම ප්‍රගීත් එක්නැලිගොඩ ජීවතුන් අතර සිටින බවක් තමන් නොපැවසූ බව ද, බුද්ධි අංශ තොරතුරු මත විදේශ රැකවරණ පිළිබඳ පැවසූ බවත් ඔහු අධිකරණය ඉදිරියේ පවසා තිබිණි.

මොහාන් පීරිස්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් එල්ල වූ අතර, හිටපු නීතිපතිවරයකු සහ හිටපු අගවිනිසුරුවරයකු ලෙස අපරාධයක් සම්බන්ධයෙන් මෙසේ කටයුතු කිරීම පිළිබඳව නීතිවේදීහු අප්‍රසාදය පළකර සිටියහ.

ඩොක්යාර්ඩ් – ලෙකෝ චෝදනා

එසේම ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටියදී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාල ජයලත් සහ රත්නපාල ඩයස් යන කමිටු දෙකක් මගින් පරීක්ෂණ සිදුකළ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක සඳහන් විය. අදාළ මිලදී ගැනීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවත්, ඊට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉහත කී කමිටු මගින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව නිර්දේශ කර තිබූ බව ද අල්ලස් කොමිසම මෙම චෝදනා පත්‍ර මගින් පවසා ඇත.

එසේ තිබියදී 2010 වසරේ දෙසැම්බර් 01 වැනි දින සහ දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලසීමාව තුළ එවකට නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් සහ එම වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට ච එම චෝදනා පත්‍ර මගින් අල්ලස් කොමිසම චෝදනා කර තිබිණි.

ජනපතිවරණය දා රාත්‍රිය

2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රැඳී සිටීමට කළ උත්සාහයට ආධාර කළ බවට ද මොහාන් පීරිස් චෝදනා ලබා සිටී. මෙම චෝදනාවට මොහාන් පීරිස් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව නීතිවේදීන්ගේ එකමුතුව පෙන්වා දී තිබිණි. ශ්‍රී ලංකාවේ නීතිය යටතේ මුක්තියක් පවතින්නේ රටේ ජනාධිපතිවරයාට පමණක් බැවින් එසේ අත්අඩංගුවට පත්වුවහොත් ඔහුට තවදුරටත් සිය ධුරයේ කටයුතු කිරීමේ සදාචාරාත්මක හැකියාවක් නැති බව ද එවකට අගවිනිසුරුධුරය ද දැරූ මොහාන් පීරිස්ගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම එකමුතුවේ සම ප්‍රකාශක නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ මාධ්‍යයට පවසා තිබිණි. මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති මංගල සමරවීර විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් කර තිබිණි.

ජනාධිපති සමග අග විනිසුරු සංචාරේ

එසේම මොහාන් පීරිස් අගවිනිසුරු ධුරය දරන කාලයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වතිකානුවේ සංචාරයකට එක්වීම ද ඔහු සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වූ අවස්ථාවකි. දේශපාලන නායකයෙකු නායකත්වය දරන දූත මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස රටක අගවිනිසුරුවරයෙකු සහභාගි වීම මගින් එම රටේ අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ ලෙස හෑල්ලුවට ලක්වන බව නීතිඥ සංවිධාන අවධාරණය කර තිබිණි. හිටපු අගවිනිසුරුවරයා මෙම දූත පිරිසට ඇතුළත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ නිල නිවේදනයේ ද සඳහන් විය.

ආණ්ඩුව ආ ගමන් අනුමතයි

පසුගිය පෙබරවාරි මාසයේදී ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු වන සී.ඒ.චන්ද්‍රප්‍රේම එක්සත් ජාතීන්ගේ ජිනීවාහි නිත්‍ය නියෝජිත තනතුරට නම් කෙරුණු අතර, එවකට ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අවස්ථා දෙකකදී කැඳවීම් කළද, ඔහු ඊට සහභාගි වී තිබුණේ නැත. එම නිසා අදාළ ධුරය හිස්ව පැවතිණි. එහෙත් පසුගිය අගෝස්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කෙරුණු නව උසස් නිලතල පිළිබඳ කාරක සභාව මගින් ඔහුගේ පත්වීම එක්වරම අනුමත කරන ලදි.

බටලන්ද චූදිත ජිනීවා වෙත

88-89 කාලයේ කුප්‍රකට බටලන්ද අපරාධ සම්බන්ධයෙන් වරක් අත්අඩංගුවට පත්ව, නිදොස් නොකෙරුණු පුද්ගලයෙකු පෙබරවාරියේදී මෙම තනතුරට නම් කිරීම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ බරපතළ විවෙච්නයට පත් විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලය පිහිටි ජිනීවාහි, එම කොමිසමේ සැසිවාරවලට අදාළ සියලු කටයුතු ලංකාව වෙනුවෙන් සම්බන්ධීකරණය කිරීමේ වගකීම පැවරෙන්නේ මේ නිත්‍ය නියෝජිතයාට බවත්, මේ නිසා එම තනතුරට පත් කෙරෙන පුද්ගලයාට එරෙහිව මානව හිමිකම් චෝදනාවක් එල්ලවී තිබීම රාජ්‍ය නියෝජනය කිරීමේදී දැඩි අවාසිසහගත තත්ත්වයක් ඇති කිරීමට ඉඩ ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

සපුගස්කන්ද නිවාස යෝජනා ක්‍රමයේ පවත්වාගෙන ගිය බටලන්ද වධකාගාරයේ සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් සී.ඒ. චන්ද්‍රප්‍රේමට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. බටලන්ද ඝාතන චෝදනා එල්ල වී තිබූ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් 2000 අගෝස්තු 03දා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ සාක්ෂි මත එම ඝාතන සම්බන්ධයෙන් සී.ඒ. චන්ද්‍රප්‍රේම අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, එම වසරේ අගෝස්තු 15 වැනිදා ය. කොළඹ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කළ නීතීඥ චරිත ලංකාපුර, නීතීඥ කාංචන අඹේපොල, ගම්පහ අධිකරණයේ නීතීඥ නිශ්ශංක සහ කැලණිය ටයර් සංස්ථාවේ සේවය කළ පෙරේරා යන පිරිසගේ ඝාතන සම්බන්ධයෙන් ඩග්ලස් පීරිස් විසින් ලබාදුන් දිවුරුම් පෙත්සමේ සඳහන් කරුණු විමර්ශනය කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චන්ද්‍රප්‍රේම මහතා අත්අඩංගුවට ගත් බව එවකට මාධ්‍ය වාර්තා කර ඇත. පසුව නීතිපතිවරයා විසින් එම නඩුව ඉවත් කරගෙන තිබේ.

පොලිස් සහතිකය

මේ අතර උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතියට නිර්දේශ කෙරෙන පුද්ගලයන් පිළිබඳ පොලිස් වාර්තාවක් ද ලබාගැනීම අනිවාර්ය වේ. සී.ඒ.චන්ද්‍රප්‍රේම සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ, ඔහුගේ නම නිර්දේශ කෙරෙන අවස්ථාවේ නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් විසින් ය. පසුගිය ජනවාරි 29 වැනිදා දින සඳහන් එම වාර්තාවට අනුව සී.ඒ.චන්ද්‍රප්‍රේම 1990 වසරේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ස්ථිර පදිංචි අයෙකු වන අතර, ඔහුට විරුද්ධව අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් නැත. කිසිදු අධිකරණ කටයුත්තක් ඔහුට එරෙහිව සිදු වී නැති බව ද එහි සඳහන් ය.

මගේ පත්වීම් වෙනස් කරන්න එන්න එපා’

කෙසේ වෙතත් මේ ආකාරයේ පත්වීම් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබාදී තිබීම ද විශේෂත්වයකි. මෙම නම් ද ජනාධිපතිවරයා විසින් අදාළ තනතුරු සඳහා නිර්දේශ කර තිබූ අතර, තමන් විසින් සියලු පත්වීම් සිදු කරන්නේ ජාති හිතෛෂී බව සුදුසුකමක් ලෙස සැලකිල්ලට ගනිමින් බවත්, තමන් කරනු ලබන පත්වීම්වලට විරුද්ධව එය වෙනස් කරන ලෙස බලපෑම් නොකරන ලෙසත් ජනාධිපතිවරයා ඒ අවස්ථාවලදී අවධාරණය කර තිබිණි.

මැතිවරණයේදී තමන්ට සහාය දැක්වූ ජාතික සංවිධානවලින් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස මිලින්ද මොරගොඩ පත්කිරීම සම්බන්ධයෙන් එල්ල කළ විරෝධයට ද ජනාධිපතිවරයාගෙන් ලැබී තිබුණේ මෙම පිළිතුරම ය.

Previous articleමාධ්‍යයට තියෙන බලය තේරුම්ගන්න – සාහිත්‍යවේදිනී මාලිනී ගෝවින්නගේ
Next articleසුවසැරියේ වෙන්ටිලේටර්ස් ගලවන කතාව බොරු – හර්ෂ ද සිල්වා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here