පොඩි කාලෙ නම් මාධ්‍ය ත්‍රිපිටකය, කුරානය වගේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

මාධ්‍ය පාලනයට නීතිරිතී හදුන්වාදීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මාධ්‍ය වලට නීතිරීතී පනවලා පාලනය කළ යුතු නැහැ කියන මතයේ මම ඉන්නෙ. ඒක අද ලෝකයේ තිබෙන ප්‍රවණතාව. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මේ මතයේම හිඳිමිනුයි කටයුතු කළේ. සාපරාධී අපරාධයට මාධ්‍යවේදීන්ට පවා දඩුවම් කළ හැකි ආකාරයට දණ්ඩ නීති සංග්‍රහයට නීතී ඇතුළුකරන්න හැදුවත් අපේ ආණ්ඩු කාලයේදී එය සිදුකළේ නැහැ. ඒ වගන්තිය අපි ඉවත් කළා. පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍යවේදීන් ආචාරධර්ම අනුගමනය කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසදාගැනීමට කටයුතු කරනවානම් හොදයි කියන මතයේ තමයි අපි කටයුතු කළේ. එයට අවශ්‍ය වාතාවරණය අපි ඇති කළා.

නමුත් වර්තමාන මාධ්‍ය සමාජ භාවිතය තුළ ඒ උතුම් බලාපොරොත්තු ඒ උතුම් අරමුණු ඉටුවෙන තත්ත්වයක් තිබෙනවාද කියලා අවංකවම කල්පනා කර බැලිය යුතුයි. පිළිගත් මාධ්‍ය එහෙම නැතිනම් ප්‍රධාන මාධ්‍ය මේ විශ්වාසය රැකගෙන තියෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක් වී තිබෙනවා. විශ්වාසය කඩකරගත්තොත් එම මාධ්‍යවල පැවැත්මටත් එය බලපානවා. ඒ වගේම රටේ යහපතටත් එය බලපානවා. අද වැනි සමාජයක ප්‍රධාන මාධ්‍ය තම විශ්වාසය රැකගත්තේ නැතිවුණොත් සමාජ මාධ්‍යවල බලපෑමට සමාජය හසුවෙනවා. මේ නිසා මාධ්‍යයට තම වගකීම නිසි ලෙස ඉටු කිරීමත් විශ්වාසය රැකගැනීමත් සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබෙනවා.

මාධ්‍ය අචාරධර්ම සහ ඒවා අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මාධ්‍ය ක්ෂේත්‍රයටම ඔවුන් සම්බන්ධයෙන් තීරණගන්න අවස්ථාව ලබාදී තිබියදී එය ප්‍රයෝජනයට ගන්නේ නැතිනම් දේශපාලන බලය විසින් එය හසුරුවන්න ඉඩ තිබෙනවා. එහෙම වුණොත් මේ සියල්ලම උඩු-යටිකුරුවෙන්නත් පුළුවන්. මේ නිසා අපි ප්‍රවේශම් විය යුතුයි.

ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය නමින් ජාතික එකමුතුවක් අපිට තිබෙනවා. මීට වසර දොළහකට පමණ පෙර ප්‍රධාන මාධ්‍ය සියල්ල එකතුකරගනිමින් වැඩමුළුවක් පැවැත්වුවා. ප්‍රධාන කර්තෘවරුන්, මාධ්‍ය සංවිධානවල ප්‍රධානීන්, මාධ්‍ය හිමිකරුවන් ආදි සියල්ල මෙයට පැමිණ ප්‍රකාශයකට අත්සන් තැබුවා. වැලිගම ප්‍රකාශනය නමින් එය ප්‍රසිද්ධ කළා. නමුත් වසර දහයකට පසුව එම ප්‍රකාශය පිළිබඳ හැරී බැලිමක් සිදුකළා. මෙයට හැමෝම අත්සන් තබා තිබුණත් මෙය භාවිතයේදී එම කරුණු කිසිවක් එකතු කරගෙන නැහැ කියන කාරණය එහිදී අවබෝධ වුණා. මේ නිසා මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කරන්න තීරණය වුණා. ඒ නිසා පළාත් නවයටම ගොස් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළා. නමුත් මාධ්‍යකරණයේදී සියලු දේ නිවැරදිව ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යොමුකළත් ප්‍රධාන කාර්යාලයේ සංස්කාරකවරුන් එය වෙනස් ආකාරයට සංස්කරණය කරන නිසා ප්‍රශ්න ඇතිවන බව අම්පාරේ පැවති වැඩමුළුවේදී මාධ්‍යවේදියෙක් ආවේගශිලීව පැවසුවා. ප්‍රධාන කාර්යාල තුළ වෙනම න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ඔවුන් කිව්වෙ. මේ නිසා මෙම ප්‍රශ්න විසඳාගත යුත්තේ මාධ්‍ය සමාජයමයි. එහෙම නැත්නම් මාධ්‍යයේ අනාගතය, රටේ අනාගතය වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ රටේ බොහොමයක් ප්‍රශ්න ඇතිවීමටත් මාධ්‍යයේ හැසිරීම හේතුවෙලා තියෙනවා. කොහොමවුණත් මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය ගැන ජනතාව බොහොම අවදියෙන් ඉන්නෙ. මාධ්‍යයට නිදහස ලබාදීම පාලන තන්ත්‍රයේ වගකීම වනවා සේම ඒ ලැබෙන නිදහස නිවැරදිව භුක්තිවිඳීමත් මාධ්‍යයේ වගකීමක් වෙනවා.

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම කුමක්ද?

දේශපාලන න්‍යායපත්‍රවලට අවනතවීම සහ හිමිකාරිත්වයේ න්‍යායපත්‍රයට අවනතවීම ගැන නම් වශයෙන් අපි කතාකළ යුතු නැහැ. ඇතැම් මාධ්‍යයට පුද්ගලික න්‍යායපත්‍ර තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට තමන්ගේ වෙළෙද ප්‍රයෝජන වගේම තමන්ගේ දේශපාලන නායකයන් හරහා විවිධ දේවල් ඉටුකරගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ දේවල්වලට වශීවෙලා අද මාධ්‍ය කටයුතු කරනවා. වර්මානය වන විට මාධ්‍ය කටයුතු කරන්නෙ කොහොමස කියන එක ඔවුන්ටම තේරෙනවා. දිගින් දිගටම මාධ්‍ය ඒ විදිහට කටයුතු කළොත් එම මාධ්‍ය ක්‍රියාත්මක වෙන්නෙ කාගෙ න්‍යායපත්‍රයට අනුවද කියලා ජනතාවට තේරුම්ගන්න පුළුවන් වෙනවා.

අපි පොඩිකාලෙ හිතුවෙ ප්‍රධාන මාධ්‍ය කියන්නෙ ත්‍රිපිටකය, බයිබලය, කුරානය වගේ කියලා. මේ ප්‍රධාන මාධ්‍ය තුළින් යම් දෙයක් කිව්වොත් අපි ඒ කාලෙ ඒ දේවල් විශ්වාස කළා. නමුත් අද සමාජය ඊට වඩා අවදියෙන් ඉන්නෙ. මාධ්‍ය හැරෙනකොටම සමාජය දන්නවා මොකක්ද කියන්න යන්නෙ කියලා. මේ නිසා එක් සිදුවීමක් ගැන විද්‍යුත් මාධ්‍ය නාලිකා තමන්ගේ න්‍යායපත්‍රයට අනුව වාර්තා කිරීම තුළ ජනතාව විවිධ නාලිකා බලන්න පටන්ගත්තා. එතැනදී ඔවුන්ගේ න්‍යායපත්‍රයන් මොනවද කියලා පැහැදිලිවම තේරුම්ගන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.

ඒ වගේම තමයි පුවත්පත් පිළිබඳව කතාකළත්, මේ පත්තරය අර නායකයාගේ පවුලේ පත්තරය, මේ පත්තරය අර දේශපාලන පක්ෂයට හිතවත් පත්තරය, මේ පත්තරය අර දේශපාලනඥයා මුදල් ආයෝජනය කරන පත්තරය කියලා මිනිස්සු තේරුම් අරගෙනයි ගන්නෙ.

ඇතැම් වෙලාවට මාධ්‍ය විසින් පාලකයාට තිබෙන බය නිසාම මේ දේවල් කරන අවස්ථාත් තිබෙනවා. ඒ මොකද ඇතැම් මාධ්‍ය ආයතන දේශපාලන ගොදුරු බවට පත්ව තිබෙනවා, දවස පත්තරයට සීල් තිබ්බා. ටයිම්ස් පත්තරය, ලේක්හවුස් රජයට ගත්තා. මෙවැනි තත්ත්වයන් තුළ මාධ්‍ය බය වෙනවා. එවැනි උවදුරුවලට පත්තර, විද්‍යුත් මාධ්‍යයට මුහුණදෙන්න සිදුවෙයිද කියලා ඔවුන් හිතනවා වෙන්නත් පුළුවන්. මේ නිසා තමන්ම තමන්ව ආවරණය කරගන්නවා. මේ තත්ත්වය තුළ වෘත්තීය මාධ්‍යවේදියාගේ ගෞරවය නැතිකරගන්නා තැනට ඔවුන් පත්වෙනවා.
ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් විශාල අභියෝගවලට මුහුණ දෙනවා. එතැනදි වෙන්නෙ විශ්වාසනීයත්වය බිඳවැටීමයි. කර්මාන්තයක් විදිහටත් ඔවුන් බිඳවැටීමකට ලක්වෙනවා. මේ නිසා වෘත්තීය මාධ්‍යවේදියාට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේදී ලොකු වගකීමක් තිබෙනවා. මේ කාර්යය හරියට රේල්පීල්ලක කෝච්චියක් යනවා වගේ තමයි. පොඩ්ඩක් එහාට-මෙහාට වුණොත් කඩාගෙන වැටෙනවා. ඒ නිසා හරිම සීරුවෙන් යා යුතු ගමනක්. මාධ්‍ය ක්ෂේත්‍රය සමබරව පවත්වාගෙනයෑමේ වගකීම මාධ්‍යවේදියා සතුව තිබෙනවා.

මාධ්‍ය වගකිවයුත්තේ ජනතාවටයි. රටේ අනාගතය වෙනුවෙන් මාධ්‍යයට වගකීමක් තිබෙනවා. මේ නිසා විශේෂයෙන් සියලු මාධ්‍ය ඒ ගැන කල්පනා කළ යුතු වෙනවා. විශේෂයෙන්ම තවත් දෙයක් කිවයුතුයි. පසුගිය දවස් කිහිපයේ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවල පළවුණු දේවල් දිහා බලන කොට බහුතරයක් පුවත් පළවුණේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටුකරන ආකාරයට කියන දේ පැහැදිලියි. මම දේශපාලනඥයෙක් විදිහට එය කියනවාට ඔබ පිළිගන්න එපා. ඔබ සැම විශ්ලේෂණය කර බලන්න. ඒවා කවුරු කරනවාද කියලා මම දන්නෙ නැහැ. කොහොම වුණත් ඒ දේවල් අසාධාරණයි. හැමෝටම සමබර අවස්ථාවක් ලබාදිය යුතු වෙනවා. පහුගිය කාලය තුළ ප්‍රධාන මාධ්‍ය හැසිරුණු ආකාරය අනුව බලන විට ඔවුන් බයවුණු ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ දේවල් නිරන්තරයෙන්ම සිදුවෙන්න ගත් විට සාමාජ මාධ්‍ය කෙරෙහි ජනතාවගේ පෙළඹීම ඉබේම වැඩිවෙනවා.

Previous articleඇඳිරිනීතිය නොතැකූ හිරු රියැලිටි වැඩසටහන අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති
Next articleරජයේ පරස්පර ප්‍රකාශවලින් ජනතාව අමාරුවේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here