රජයේ පරස්පර ප්‍රකාශවලින් ජනතාව අමාරුවේ

(නිලූක සදුන් පද්මසිරි)

සතියට දින දෙක බැගින් වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර ලබා දෙන බවට රජය මීට පෙර නිවේදනය කළද ඊයේ (01) හමුදාපතිවරයා කළ ප්‍රකාශයත් සමග තමන් පැටලිලි සහගත තත්ත්වයකට පත්ව ඇතැයි ගම්පහ-කොළඹ ප්‍රදේශවාසීහු පවසති.

එමෙන්ම බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට දින තුනකට දැමූ ඇඳිරිනීතිය අනිවාර්යයෙන් අද (02) අලුයම 5ට ඉවත් කරන බවටත් ඒනිසා අහාර ද්‍රව්‍ය ගැනීමට කලබල නොවන ලෙසටත් හමුදාපතිවරයා ප්‍රකාශ කළ නිසා දින තුනකට හතරකට පමණක් ආහාර ද්‍රව්‍ය මිලදීගත් බවත් මේ හේතුවන් දැන් ආහාරයට ගැනීමට කිසිවක් නොමැතිව අපහසුතාවට පත්ව සිටින බවත් අදාළ ප්‍රදේශවල ජනතාව මැසිවිලි නගති.

මීට පෙර රජය කළ නිවේදනය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළෙඳසැල් විවෘත කිරීම සඳහා සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙකෙහි අවසර ලබා දෙන බව සඳහන් විය.

එම නිවේදනය පහතින්…

නමුත් ඊයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසූවේ කොරෝනා පැතිර ගිය පළමු අවස්ථාවේ මෙන් ජංගම වෙළෙඳ රථ පැමිණෙනු ඇති බවයි. නමුත් මෙම නිවේදනය අවලංගු වන අයුරු හෝ ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් ඔහු සිදු කළේ නැත. මේ හේතුවෙන් අද වෙළෙඳසැල් විවෘත කිරීමට අවසර නැතිද අවසර ඇතිද යන්න සම්බන්ධයෙන් ජනතාව ගැටළුකාරී තත්ත්වයකට පත්ව තිබේ.

එමෙන්ම එම නිවේදනය අනුව හෙට වෙළෙඳසැල් විවෘත කිරීම සඳහා අවසර හිමි වන ඇඳිරිනීතිය පනවා ඇති අනෙකුක් දිස්ත්‍රික්කවල ජනතාව ද ⁣ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වෙයි.

රජය පෙර නිකුත් කළ මෙම නිවේදනය හේතුවෙන් දින කිහිපයකට පමණක් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත් තමන්⁣ගේ ආහාර ද්‍රව්‍ය මේ වන විටත් අවසන් වී ඇති නිසා ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙක් පැවසීය. මෙවන් පරස්පර ප්‍රකාශ නිසා තමන් අපහසුතාවට පත්ව සිටින බවත් මෙවන් නිවේදන නිකුත් කිරීමේදී හා ප්‍රකාශ සිදු කිරීමේදී රජය සැලකිලිමත් විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ මාධ්‍ය ද අද වාර්තා කළේ අද ඖෂධහල් සහ ආහාර ද්‍රව්‍ය වෙළෙඳසැල් විවෘත නොකරන බවයි. නමුත් මීරිගම ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතැම් වෙළෙඳසැල් මේ වන විට විවෘත කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසූවේ මේ සතිය තුළ කිසිදු වෙළෙඳසැලක් විවෘත නොකරන බවත් ජංගම වෙළෙඳුන් නිවෙස්වලට පැමිණෙන බවත්ය. එය අද සිට ක්‍රියාත්මක වන බවද එම මධ්‍යස්ථානය පැවසීය.

Previous articleපොඩි කාලෙ නම් මාධ්‍ය ත්‍රිපිටකය, කුරානය වගේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්
Next articleනොවැ. 02 – මුක්තිය ලද අපරාධකරුවන් සමග ගමනක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here