ඇඳිරිනීතිය නොතැකූ හිරු රියැලිටි වැඩසටහන අදත් : ක්‍රියාමාර්ග ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීහු ඉල්ලති

බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ (31) තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී සංවිධානය කර තිබූ රියැලිටි වැටසටහනට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලයි.

එම සංගමය ලිපියක් මගින් මේ බව ඉල්ලා තිබේ.

‘හිරුස්ටාර්’ නම් එම වැඩසටහන සඳහා ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සේවකයන් නොවන ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කිසිසේත්ම අදාළ නොවන පිරිසක් කොළඹට කැඳවා තිබූ බවත් එය අද (01) දිනයේත් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වන බවත් එම සංගමය සඳහන් කරයි.

ඊට පෙර දින කොළඹ පැවැති මංගල සාදයක් පවා පොලිසිය සහ සෞඛ්‍ය අංශ විසින් නතර කර දැමූ පසුබිමක මෙවැනි වැඩසටහනක් පැවැත්වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක් බවද ඔවුහු පෙන්වා දෙති.මෙම වැඩසටහන සඳහා එම පිරිස් කොළඹට පැමිණියේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක් බව ද සාමාන්‍ය පුරවැසියන්ට බලපාන නීතිය ඔවුන්ට බලනොපාන්නේ ඇයිද යන්න සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් ප්‍රශ්න කර තිබු බවද එම සංගමය සඳහන් කරයි.මෙවැනි අත්තනෝමතික වැඩ නිසා ජනමාධ්‍යවේදීන්ට ද සිය වෘත්තීය කටයුතු හරිආකාරව කරගෙන යාමට අවකාශය නැතිවනු ඇතැයි පෙන්වා දෙන එම සංගමය නීතිය නොතකා හෝ නීතිය වෙනසක් කර හෝ මෙවැනි දෑ කිරීම බරපතල තත්ත්වයක් බවද පවසයි.

ඊයේ රාත්‍රී සජීවීව විකාශය කරද්දී මාධ්‍යවේදීන් විසින් ඒ ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබූ නමුත් අදාල වැඩසටහන පැවැත්වීම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම සංගමය කියයි.මීට ක්‍රියාමාර්ග නොගැනීම මගින් නිරෝධායනය ගැන රජයේ ප්‍රතිපත්තිය ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක්වනු ඇතැයි ද රජයේ ප්‍රතිපත්ති ජනතාව විසින් ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්ෂණයක් වුවද මෙම අවස්ථාවේ නිරෝධායනය ගැන නීති දෙකක් පැවැතීම ප්‍රශ්න කිරීම මගින් බරපතල තත්ත්වයකට තල්ලුවිය හැකියැයි ද එම සංගමය යොමු කළ ලිපියේ දැක්වෙයි.

මෙලෙස නීතිය දෙආකාරයකට ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව නිරෝධායන නියෝග නොතකා හැරීමට ලක් කළ හැකි බවත් එමගින් මෙම රෝග සීඝ්‍රයෙන් පැතිරීම මගින් ජන ජීවිත අවදානමට ලක්වනු ඇති බවත් එම සංගමය අවධාරණය කරයි.නිරෝධායන නියෝග පැවැතිය යුත්තේ ජනතාව මර්දනය කිරීමට නොව ජනතාවගේ ආරක්ෂාව සඳහා බව ද නිරෝධායනය යැයි කියමින් ජනතාව ඒ්කරාශීවන විරෝධතා මර්දනය කරනා අතරතුර මෙවැනි රියැලිටි වැඩසටහන් කිරීමට අවස්ථාව දීම බරපතල කාරණයක් බැවින් මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.මේ කිසිවකින් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව රැස්වීමට ඇති ඇයිතිය හීන කරනු නොලැබිය යුතු බව ද එම සංගමය අවධාරණය කර සිටී.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

හිරු රියැලිටි වැටසටහන්වලට නිරෝධායන නියෝග ක්‍රියාත්මක නොවීම ගැනයි

covid -19 රෝගය පාලනය කිරීම සඳහා 1897 අංක තුන දරණ නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත අනුව නිරෝධායන නියෝග සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ගැසට් කරනු ලැබුවාය. ඒ්වායේ නීතිමය තත්ත්වය ගැන මතබේදයක් තිබුණ ද මෙවැනි වටපිටාවක ඒ්වා පිළිපැදීම සියලුම ජනතාවගේ සෞඛ්‍යයට හිතකර බැව් අපේ අදහසයි. කෙසේවෙතත් ඒවාට මුවාවෙමින් අයිතිවාසිකම් කප්පාදු කිරීම අපි කිසිසේත් අනුමත කරන්නේ නැති බව ද සඳහන් කරමු.

රෝගය පාලනය කිරීම සඳහා යැයි කියමින් පසුගිය බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිල වශයෙන් ප්‍රසිද්ධ නොකළ ද යුද හමුදාපතිවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශයට පත් කළහ. බස්නාහිර පළාතට ඇතුළුවීම හෝ පිටවීම ද, පළාත ඇතුළේ ගමනාගමනය ද තහනම් බව පොලිසියේ නිවේදනවලින් කියැවිණි. 

මෙම නියෝග කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අවස්ථා රැසක් පසුගිය දින කිහිපයේ මාධ්‍ය මගින් විකාශය කළේය. ඒ්වා මගින් පුද්ගලයන්ගේ අනන්‍යතාවයට හානිකරන අයුරින් කළ වාර්තා කිරීම් ගැන අපි පසුව වෙනම පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. කෙසේ වෙතත් මේ පැමිණිල්ල වෙනත් කාරණයක් ගැනයි.

නිරෝධානය නියෝග පැවැතිය ද, රටේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය එමගින් කිසිසේතම හීන කළ නොහැක. මේ අනුව ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවල ඇතැම් සේවකයන්ට ඇඳිරිනීතිය පැවැතියද රාජකාරි සඳහා යාම් ඊම් කිරීමට පහසුකම් තිබිය යුතුය. පොලිසිය ජනමාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීතිය බලපත්‍රයක් ලෙස සැලකීමට තීරණය කර ඇති අතර එය බෙහෙවින්ම පැසසිය යුතුය. එය භාවිත කළ යුත්තේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහාම පමණක් බව අපගේ විශ්වාසයයි. 

අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

කරුණු මෙසේ තිබෙද්දී හිරු රූපවාහිනී නාලිකාව මගින් ඊයේ තලවතුගොඩ ප්‍රදේශයේ හිරු ලයිෆ් ස්ටුඩියෝහිදී රියැලිටි වැටසටහනක් සංවිධානය කර එය සජීවීව විකාශය කළේය.

‘හිරුස්ටාර්’ නම් එම වැඩසටහන සඳහා ජනමාධ්‍යවේදීන් හෝ ජනමාධ්‍ය සේවකයන් නොවන , ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට කිසිසේත්ම අදාල නොවන පිරිසක් කොළඹට කැඳවා මෙම වැඩසටහන පැවැත්විණි. ඊට පෙර දින කොළඹ පැවැති මංගල සාදයක් පවා පොලිසිය සහ සෞඛ්‍ය අංශ විසින් නතර කර දැමූ පසුබිමක මෙවැනි වැඩසටහනක් පැවැත්වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයකි.

ඊටත් වඩා බරපතල ප්‍රශ්නය මෙම වැඩසටහන සඳහා පිරිස් කොළඹට පැමිණියේ කෙසේද යන්නයි. සාමාන්‍ය පුරවැසියන්ට බලපාන නීතිය ඔවුන්ට බලනොපාන්නේ ඇයිද යන්න සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් ප්‍රශ්න කර තිබිණි.

මෙහි බරපතලම කාරණය නම් මෙවැනි අත්තනෝමතික වැඩ නිසා ජනමාධ්‍යවේදීන්ට ද සිය වෘත්තීය කටයුතු හරිආකාරව කරගෙන යාමට අවකාශය නැතිවීමයි. 

මීට පෙර එනම් පසුගිය අප්‍රේල් මාසයේ ද, ඇඳිරිනීතිය තිබියදී සහ දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කර තිබිය දී හිරු නාලිකාව විසින් අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබිණි.. එම උත්සවයේ පුහුණුවක් බව කියන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එම වීඩියෝව සමාජ මාධ්‍යවලට මුදා හැරියේයැයි කියමින්  හිරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු, වේෂ නිරූපන ශිල්පියකු ඇතුළු පිරිසක් කිසිම විනය පරීක්ෂණයක් නැතිවම සේවයෙන් පහ කරනු ලැබීය. එවර ද නිරෝධායන නියෝග උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් පැවැත්වූයේ නැත.

මෙවර හිරු රූපවාහිනිය එම වැඩසටහන ඊයේ රාත්‍රී සජීවීව විකාශය කරද්දී මාධ්‍යවේදීන් විසින් ඒ ගැන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබිණි. නමුත් අදාල වැඩසටහන පැවැත්වීම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් අරගෙන තිබුණේ නැත. 

මෙම වැඩසටහනේ ඊළඟ අදියර අද දිනයේ පැවැත්වීමට නියමිත බව දැනගන්නට ඇත. නීතිය නොතකා හෝ නීතිය වෙනසක් කර හෝ මෙවැනි දෑ කිරීම බරපතල තත්ත්වයකි. එමගින් නිරෝධායනය ගැන රජයේ ප්‍රතිපත්තිය ජනතාවගේ ප්‍රශ්න කිරීමට ලක්වනු ඇත. රජයේ ප්‍රතිපත්ති ජනතාව විසින් ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් ලක්ෂණයක් වුවද මෙම අවස්ථාවේ නිරෝධායනය ගැන නීති දෙකක් පැවැතීම ප්‍රශ්න කිරීම බරපතල තත්ත්වයකට තල්ලුවිය හැකිය. ඒ් මෙලෙස නීතිය දෙආකාරයකට ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව නිරෝධායන නියෝග නොතකා හැරීමට ලක් කළ හැකිය. එමගින් මෙම රෝග සීඝ්‍රයෙන් පැතිරීම මගින් ජන ජීවිත අවදානමට ලක්වනු ඇත.

නිරෝධායන නියෝග පැවැතිය යුත්තේ ජනතාව මර්දනය කිරීමට නොව ජනතාවගේ ආරක්ෂාව සඳහාය. නිරෝධායනය යැයි කියමින් ජනතාව ඒ්කරාශීවන විරෝධතා මර්දනය කරනා අතරතුර මෙවැනි රියැලිටි වැඩසටහන් කිරීමට අවස්ථාව දීම බරපතල කාරණයකි. එබැවින්, මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු. මේ කිසිවකින් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව රැස්වීමට ඇති ඇයිතිය හීන කරනු නොලැබිය යුතු බව ද අවසානයේ අවධාරණය කරමු.”

Previous articleඇඳිරිනීතිය අස්සේ කොළඹට පිටිනුත් පිරිස් කැඳවා හිරු සජීවී වැඩසටහනක් කරලා
Next articleපොඩි කාලෙ නම් මාධ්‍ය ත්‍රිපිටකය, කුරානය වගේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here