තිලීපන් සමරන්න ඉඩ දෙන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලති

අමිර්දලිංගම් තිලීපන් නොහොත් ‘තිලීපන්’ සැමරීම සඳහා ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ 07ක නියෝජිතයින් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ.

දේශපාලන ඉල්ලීම් මුල් කරගනිමින් සිදුකරන ලද උපවාසයක් අතරතුර මිය ගිය තිලීපන් සැමරීම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ උත්සහයන් පොලිසිය විසින් නවතා දමා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

එම පළාත්වල පොලිසිය අධිකරණයට විවිධ හේතු සඳහන් කරමින් මෙම සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝග ලබාගෙන ඇතැයි ද එම ලිපියේ සඳහන් වෙයි.

ලබන 26 සහ එම සතිය තුළ තිලීපන්ගේ අනුස්මරණය සැමරීම තහනම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට එරෙහිවද තහනම් නියෝගයක් පොලිසිය විසින් අධිකරණයෙන් ගෙන ඇතැයි ද එහි දැක්වෙයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන්වලට සහ ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව නීත්‍යානුකූල අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් ජීවිත පූජා කළ තම පුරවැසියන් සැමරීම ජනතාවගේ මූලික අයිතියක් බව ඔවුහු එම ලිපියෙන් පෙන්වා දෙති.

එම ජනතාවට අදාළ සැමරුම සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුහු මේ අභියාචන ලිපියෙන් ඉල්ලා සිටිති.

එම ලිපිය යවා ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු ඇතුළු පිරිසක් විසිනි.

ඔවුන්ගේ නම් පහත දැක්වෙයි

  1. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
  2. පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ජී පොන්නම්ලම් (දෙමළ ජාතික ජනතා පෙරමුණ)
  3. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ප්‍රේමචන්ද්‍රන් (EPRLF)
  4. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන් ශ්‍රී කාන්ත (දෙමළ ජාතික පක්ෂය)
  5. ආනන්දි සසිදරන් (ඊල තමිලර් සුවාච්චි කලහම්)
  6. සී.වී.කේ සිවඥානම් (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
  7. බී ගජදීපන් (ප්ලොට්)
  8. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රී ධරන් (ඉලංකෙයි තමිල් අරසු කච්චි)
  9. පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජේන්ද්‍රන් (දෙමළ ජාතික ජනතා පෙරමුණ)
  10. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් (දෙමළ ජාතික පක්ෂය)
  11. ටී සිත්පරන් (තමිල් මක්කල් තේසිය කුට්ටනී)

ඉල්ලීම් පහක් මුල්කරගෙන තිලීපන් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ සැප්තැම්බර් 15 වැනිදා වන අතර උපවාසය ආරම්භ කර දින 12කට පසු සැප්තැම්බර් 26 වැනිදා ඔහු මිය ගියේය.

තිලීපන් උපවාසය ආරම්භ කළ දිනය සිහිකරමින් ඉකුත් 15 වැනිදා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සමරු උත්සව සංවිධානය කර තිබූ අතර ඇතැම් ප්‍රදේශවල ඊට එරෙහිව අධිකරණ නියෝගද නිකුත් කර තිබිණි.

මේ සමගම තිලීපන් වෙනුවෙන් පහන් දැල්වූ බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා ද  පොලිස් බාරයට ගෙන තිබිණි.

1987 සැප්තැම්බර් 15 වැනිදා යාපනය නල්ලුර් කන්දසාමි කෝවිල අසලදී තිලීපන් එම මාරාන්තික උපවාසය ආරම්භ කළ අතර උපවාසයෙන් දින 12කට පසු ඔහු 1987 සැප්තැම්බර් 26 වැනිදා ජීවිතක්ෂයට පත් විය.

අතීතයේ දී තිලීපන්ගේ අනුස්මරණය සැමරීම වස් උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රධාන මංසන්ධිවල තිලීපන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සහ කොඩිවලින් සරසා විශාල උත්සව සංවිධානය කරන ලදී.

මෙවර සමරනු ලබන්නේ ඔහුගේ 33 වැනි අනුස්මරණයයි.

ඔහුගේ ඉල්ලීම් 5 වූයේ,

1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරවල රඳවා සිටින අය නිදහස් කරන ලෙස,

2. දෙමළ ප්‍රදේශවල සිංහල අය අලුතෙන් පදිංචි කිරීම නතර කරන ලෙස,

3.අන්තර්වාර රජයක් පිහිටුවන තුරු සියලු පදිංචි කිරීම් කටයුතු නතර කරන ලෙස,

4. උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් පොලිස් ස්ථාන විවෘත කිරීම නතර කරන ලෙස,

5. ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය දෙමළ ගම්මානවල පාසල්වලින් ඉවත් විය යුතු අතර ශ්‍රී ලංකා රජය විසින් ‘ග්‍රාම ආරක්ෂකයින්ට’ ලබා දුන් ආයුධ ඉන්දීය හමුදාවේ අධීක්ෂණය යටතේ ආපසු ලබා ගන්නා ලෙස,


Cover Photo : අන්තර්ජාලයෙනි

Previous articleදේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක් 
Next articleවාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here