මාධ්‍යවේදියගෙ වගකීම පවතින දේ කියන එක නෙමෙයි – ලේඛක සහ විචාරක ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම කුමක්ද?

අභියෝගය සමාජ මාධ්‍යයද, ප්‍රාග්ධනයද, දේශපාලන අධිකාරියද, නැතිනම් වෙනත් කුමක් හෝ බල ව්‍යුහයක්ද කියන එක එහෙමම තියෙද්දි ජනමාධ්‍යයේ වගකීම කියන කාරණය වෙනස් වෙන්නෙ නෑ. එදත්, අදත්, හෙටටත් ජනමාධ්‍ය වගකීම වෙන්නෙ ජනයාට නිවැරදි තොරතුරු ගෙන යන වාහකය ලෙස ක්‍රියා කිරීම. ඒ නිසා තමයි, අද දවසේ වුණත් ජනප්‍රියතම විද්‍යුත් නාලිකා, මුද්‍රිත මාධ්‍ය බොහොමයක්ම සත්‍යය එහෙමත් නැත්නම් ඇත්ත වචනයක් විදිහට පමණක් වුණත්, තමන්ගෙ ටැග් ලයින් එකේ කොහෙ හරි අලවගෙන තියෙන්නෙ.

ඊළඟට තමයි ගැටලුව පැන නඟින්නෙ. මොකක්ද ඇත්ත? ඒක මොකටද? එය ජනතාව අතරට ගෙනියන්නෙ කොහොමද? ඒ ඇයි? ඒකෙ ප්‍රතිඵලය මොකක් වෙයිද? ඒක අපිට වැදගත්ද? නැද්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න රාශියකට උත්තර අවශ්‍ය වෙනවා. සමහර ප්‍රශ්නවලට උත්තර මාධ්‍යවේදියට අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒත් ආයතන හිමිකාරිත්වයට අත්‍යවශ්‍ය වෙනවා. අද තරම් නිර්ලජ්ජිත තරමට විනිවිද නොපෙනුණත් මුද්‍රණ යන්ත්‍රය සොයාගැනීමේ සිට මේ දක්වා ජනමාධ්‍ය ක්ෂේත්‍රය විකාශය වීමේ ඉතිහාසය තුළ මේ කාරණා හඳුනාගන්න පුළුවන්. නිදසුනක් විදිහට ප්‍රවෘත්තියක් පළකිරීම හෝ විකාශය කිරීම ගන්න පුළුවන්. සංසිද්ධිය කියන්නෙ මූලාශ්‍රයට. එහෙමත් නැත්නම් අමුද්‍රව්‍යයට. ඒක පොදුයි. ඒත් ඒක ප්‍රවෘත්තියක් බවට පත්වෙන ක්‍රියාවලිය කියන්නෙ අමුද්‍රව්‍යයෙන් යම් නිෂ්පාදන භාණ්ඩයක් නිෂ්පාදනය කරන ක්‍රියාවලියට සමානයි. ඒ කියන්නෙ ප්‍රවෘත්තිය කියන්නෙ නිෂ්පාදන භාණ්ඩයක් මිසක් හුදු ‘පවතින දෙයක් වාර්තා කිරීම‘ නෙමෙයි. ඒකට ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. නිෂ්පාදන සාධක සියල්ල අදාළ වෙනවා. ඒ කියන්නෙ එතැනදි අර ඉහතින් කියපු ප්‍රශ්නාවලියට උත්තර අවශ්‍ය වෙනවා. මේවායේ හරයාත්මක වටිනාකම් කාලයෙන් කාලයට වෙනස්වෙන්න පුළුවන්. 60-70 දශකයේ ප්‍රශ්නවලට ලැබෙන උත්තර 2000 දශකයෙන් පසුව එකී ප්‍රශ්නවලටම ලැබෙන උත්තරවලට වෙනස්. ඒ නිසා ජනමාධ්‍ය භූමිකාවේ හැඩය අනිවාර්යයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්‍රයටත්, ජනමාධ්‍යවේදියාටත් මුහුණදීමට සිදුවෙලා තියෙන අභියෝග වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස එදාට වඩා අද දවසේ දැවැන්ත  පරතරයක් නිර්මාණය කරලා තියෙනවා. මේ නිසා වගකීම කියන එක මූලධර්මයක් ලෙස වෙනස් නොවුණත් නරුමවාදී ලෙස අත්හැර තිබෙනවා. එ්ක ලංකාවට පමණක් ආවේණික තත්ත්වයක් නෙමෙයි, ලෝක තත්ත්වයක්. ඒත් ලංකාවේ ඌන සංවර්ධිත, ගෝත්‍රික, පසුගාමී, විලම්භීත සමාජ-ආර්ථික පසුබිම හමුවේ ඒක අමු ඛේදවාචකයක් බවට පත්වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය කියන්නෙ වෙනම හැඩයක්. ඒක වෘත්තීය මාධ්‍ය භූමිකාවට අභියෝගයකට වඩා ආශිර්වාදයක් හැටියට තමයි මම දකින්නෙ.

වෘත්තීය ජනමාධ්‍යයේ ඔය වගකීම අත්හැරෙන්නෙ හෝ අත්හරින්නෙ ඇයි ?

ඒක තමයි යුගයේ නරුමවාදී දෘෂ්ටිවාදය. ඒ කියන්නෙ වැරදි බව දැන-දැනත් තවදුරටත් එය කරමින් සිටීම. ඒ පිළිබඳ වරදකාරී හැඟීමක් නොවීම. මේ යුගයේ දෘෂ්ටිවාදය ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව වටහා ගැනීමේදී ඒ සඳහා පසුබිම් වුණු ප්‍රධාන සාධක තුනක් බලපාන බව මගේ හැඟීමයි. පළමුවැන්න වෙළඳපොළ. කර්මාන්තයක් හැටියට ස්ථාපිතවීමේ අවුල. ඒ කියන්නෙ ශක්තිමත් මාධ්‍ය කර්මාන්තයක් නෙමෙයි, ලංකාවෙ තියෙන්නේ ඉතා පුංචි වෙළෙඳපොළක්. මේ වෙළෙඳපොළ තුළ හුවමාරු වටිනාකම් හදාගන්නට, සීමිත වෙළෙඳපොළක අසීමිත ලාභ උදෙසා  ආයතන රාශියක් තරඟ කරමින් ඉන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ලංකාවෙමේ මොහොතෙත් ආයතන හැටියට ලාභ ලබමින් සිටින්නේ මාධ්‍ය ආයතන අතේ ඇඟිලි ගාණටත් අඩු හෝ ඒ හා සමාන සංඛ්‍යාවක්. අනෙක් සියලු ආයතන දුවන්නේ ආයතන හිමිකාරිත්වයෙන් වෙනත් ව්‍යාපාරවලින් ලබන ලාභවලින්. මාධ්‍ය ආයතනයට අවශ්‍ය වෙලා තියෙන්නෙ තමන්ගේ එකී ලාභ ලබන ආයතනවල ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයට, දේශපාලන අධිකාරියට බලපෑම් කර වාසි අත්පත් කර ගැනීමට පමණයි. ලාභ ලබන මාධ්‍ය ආයතනවලට වෙනත් ව්‍යාපාරික හෝ දේශපාලන අවශ්‍යතා නෑ කියලා නෙමෙයි ඒකෙන් කියන්නෙ.

දෙවැන්න මාධ්‍යවේදියාගේ භූමිකාව. දයාසේන ගුණසිංහගේ අර්ථයෙන් ලණුවේ දිග පමණටවත් තණ උලා නොකන ගවයන් පිරිසක් බවට මොවුන් පත්ව තිබීමයි. මේ හේතුව නිසා තමන් ලද ඉඩකඩ තුළ පවා තමාගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු නොකිරීම, නිර්මාණශීලි නොවීම, ආචාරධර්මීය නොවීම, ගවේෂණාත්මක නොවීම තුළ තමන් විසින්ම තම වෘත්තීය හෑල්ලුවට ලක්කර ගැනීමයි. තෙවැන්න නම් මාධ්‍ය හිමිකාරිත්වයයි. ජනමාධ්‍ය ප්‍රභවයේ සිට මේ එකිනෙකට සම්බන්ධයක් තිබුණත්, වත්මනේ තරම් ජරාජීර්ණ, වහල්-ස්වාමි සම්බන්ධයක් තිබුණෙ නෑ.

වෘත්තීය ජනමාධ්‍යවේදියාට තම වගකීම ඉටුකිරීමට මෙරටදී ඇති බාධක මොනවාද?

මේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් දෙන්නම්. ප්‍රධාන බාධක ත්‍රිත්වය මුලින් කියපු විදිහට යුගයේ නරුමවාදී දෘෂ්ටිවාදී පැවැත්ම තහවුරු කරලා තියෙන සීමිත වෙළඳපොළ, මාධ්‍යෙව්දියාගේ භූමිකාව හඳුනා නොගැනීම හෝ තමන් විසින් සීමා කර ගැනීම හා ආයතනික හිමිකාරිත්වයේ ස්වරූපයයි. එය පුද්ගල නාමයකට, ආයතනික නාමයකට වඩා ප්‍රාග්ධනයයි.

ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු අතර ක්‍රියාත්මක වන ජනමාධ්‍ය කර්මාන්තයේදී, එම බාධක ජයගත යුත්තේ කෙසේද?

සංවිධිත, ශක්තිමත් මාධ්‍ය කර්මාන්තයක් ස්ථාපිත කිරීමේඅඩිතාලම සකස් කරන එක කළ යුතුයි. විද්‍යුත් නාලිකාවන්ට විකාශන බලපත්‍ර ලබාදීමේ ක්‍රමය විනිවිදභාවකින් යුතුව යළි ප්‍රතිසැලසුම් කිරීමෙන් ආරම්භ කරන්න පුළුවන්. ස්වාධීන ජනමාධ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීම හා ප්‍රමාණවත් බලතල පැවරීම කරන්න පුළුවන්. මේ වගේ තැනකින් මේ කාර්යය ආරම්භ කරන්න පුළුවන්. අවස්ථා ගණනාවකදී මේ විදිහටයෝජනා සැලසුම් සකස් කිරීම් සිදු වුණා. අනෙක් අතට මාධ්‍යවේදියාගේ පාර්ශවයෙන් ඔහුට හෝ ඇයට වෘත්තීය ගරුත්වය ඇති කළ යුතුයි. පුහුණුව, ඇගයීම, අත්දැකීම්, වටිනාකම් ඊට එකතුවිය යුතුයි. නිදසුනක් ලෙස ආචාරධර්ම සිද්ධාන්ත ලෙස ඉගැන්වීමෙන් විභාග සමත්වීම කරන්න පුළුවන් වුණත්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි ඔහුට හෝ ඇයට එකතුවෙන වටිනාකමක් තියෙන් ඕනෙ. අද වෘත්තීය ගරුත්වය කෙලෙසමින් ක්‍රියා කරන බොහෝ දෙනා ඒ දේ නැවත නැවතත් සිදුකරන්නේ තමන් කරන්නේ වරදක් බව නොදන්නා නිසා නෙමෙයි, එය වරදක් බවට තහවුරු කරනු ලැබූ කතිකාවක් නොවීම හා වඩා නිවරදිව කළා කියලා තමන්ට ලැබෙන කිසිදු වරප්‍රසාදයක් නෑ කියලා හොඳටම දන්න නිසා.

ඒකට ආයතනික රාමුව, සේවක අයිතිවාසිකම්, සාමූහික ඉලක්කයන් වලට ඒවා කේන්ද්‍රගත වෙන්න අවශ්‍යයි. මේ සාධකවලට සමගාමීව ලාභ ලැබීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට, වටිනාකම් හුවමාරු කර ගැනීමට හිමිකාරිත්වයට ඉඩක් ලැබෙනවා. ඒකෙන් කර්මාන්තයට සමගාමීව භූමිකාව වෙනස් කර ගැනීමට හිමිකාරිත්වයටත් සිදුවෙනවා.
එහෙම වෙන්නෙ නැත්නම් මහජන මුදලින් නඩත්තු වන මහජනයාට වග කියන මහජන සේවා ජනමාධ්‍යය ස්ථාපිත කරන්න ඕනෙ. ඒකට ලෝකයේ විවිධ රටවල නිදසුන් තියෙනවා. ඒවගෙන් අපේ රටට ගැළපෙන මොඩලයක් සකස් කරගන්න ඕනෙ. එහෙත් ඊට කලින් තොරතුරු අයිතිය පිළිගන්නා මෙන්ම එය තමාගේ පරම අයිතියක් ලෙස සලකන පුරවැසියෙකු නිර්මාණය කරගන්න අවශ්‍යයි. යුගයේ භාරධූරම කාර්යය ඒකයි. තොරතුරු පනත සම්මත කර ගැනීමෙන් පමණක් ඒක‌ වෙන්නෙ නෑ. ඒ පුරවැසියා නිර්මාණය කරගන්නා තැනට කතිකාව පෝෂණය වන්නේ නම් මාධ්‍යකරුවන්ට, හිමිකරුවන්ට අන් සියල්ලට ප්‍රථම තම භූමිකාව වෙනස් කරගන්නට පවා සිදුවෙන්න පුළුවන්. මන්ද යත් ජනයාගෙන් ප්‍රතික්ෂේප වන විට තමන්ගෙ පැවැත්ම තහවුරු කර ගැනීමට ඔවුන්ට සිදුවීම නොවැළැක්විය හැකි නිසා. ලෝකයේ සමාජ මාධ්‍යයට ඒ සඳහා සුවිශේෂී ඉඩක්, භූමිකාවක් වෙන්වී ඇතත් ලංකාවේ තවමත් එකී සමාජ මාධ්‍ය ඉඩකඩ පවා ඩැහැගෙන තියෙන්නෙ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මුදලාලිලා හෝ දේශපාලන අධිකාරිය විසින්. ඔවුන්ගේ හෙංචයියන් විසින්. මේ තත්ත්වයට එරෙහිව තැන තැන හුදකලා උත්සාහයන් දකින්න පුළුවන්. මෙම හුදකලා උත්සාහයන් සාමූහික අරමුණක් වෙනුවෙන් ගොනු කළ හැකි නම් සාධනීය වෙනසක ආරම්භය තියෙන්නෙ එතැන.

Previous articleරෝගීන් සහ සම්බන්ධතා මාධ්‍යයට නිරාවරණය කිරීමට එරෙහිව රෙගුලාසි ගේන්නැයි ඉල්ලති
Next articleBlog : පොලිසියේ 106කට කොරෝනා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here