රෝගීන් සහ සම්බන්ධතා මාධ්‍යයට නිරාවරණය කිරීමට එරෙහිව රෙගුලාසි ගේන්නැයි ඉල්ලති

(හසරිදු රාජපක්ෂ)

කොවිඩ්-19 රෝගීන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව නීති විරෝධී ලෙස මාධ්‍යයට නිරාවරණය කිරීම වහාම පාලනය කිරීම සඳහා රෙගුලාසි ගෙන ආ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එමෙන්ම කෝවිඩ්-19 ආසාදනය වීමෙන් අලුතින් වාර්තා වන රෝගීන් සංඛ්‍යා සහ පොකුරු පිළිබඳ තොරතුරු මහජනයාට ඉක්මණින්, පැහැදිලිව හා නිවැරදිව තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බව ද එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය (CCPSL) විසින් සකස් කළ කෝවිඩ්-19 සඳහා ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය වැඩි දියුණු කිරිම පිළිබඳ යෝජනා රජයට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, කෝවිඩ්-19 වසංගතය පෙන්නුම් කරනු ලබන ගතික ස්වභාවය අනුව එයට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය උපායමාර්ග යෙදවීම සිදුකළ යුතු බවද, ආසාදනය පාලනය කිරීමේ ප්‍රධාන පියවරයන් වන ආසාදිතයින් සොයායෑම, පරික්ෂා කිරීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම අඛන්ඩව කරගෙන යන අතර වෙනස්වන සන්දර්භයන්ට අනුව උපායමාර්ගයන් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද ප්‍රජා වෛද්‍ය විශේෂයෝ පෙන්වා දෙති.

ඒ අනුව සිදුකළ යුතු ප්‍රමුඛතා පියවරයන්හි කළ යුතු වෙනස්කම් පිළිබඳ අත්‍යවශ්‍ය නිර්දේශ ඔවුන් රජයට නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒවා පහත පරිදි වේ.

ජාතික මට්ටමේ සැලසුම් කිරීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය

” මෙම වසංගතය පාලනය කිරීම පිළිබඳ සියලු තාක්ෂණික තීරණ වලදී, සෞඛ්‍යමය නිර්දේශ සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ සෞඛ්‍ය වෘත්තිකයන්ට නායකත්වය දීම සිදුකළ යුතුය.

වසංගත රෝග විද්‍යාඥවරුන්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරුන්, මහජන සෞඛ්‍ය වෘත්තිකයන්, සමාජ විද්‍යාඥයින් සහ චර්යාත්මක විද්‍යාඥයින් ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතුවන අතර මෙම ක්‍රියාවලිය විවේචනාත්මකව තක්සේරු කිරීම සඳහා මෙම කණ්ඩායමට වසංගත මර්දනයට සෘජුව සම්බන්ධ නොවන ආයතනවල වෘත්තීයවේදීන්ගේ ආයතන වල විශේෂඥයින් ඇතුළත් විය යුතුය.

ජාතිකව යෝජනා කරනු ලබන උපාය මාර්ග හා දිස්ත්‍රික් ක්‍රියාමාර්ග සම්බන්ධීකරණයේ වර්තමාන අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා ඉවහල් කරගැනීමට ජාතික හා ප්‍රාදේශීය මට්ටමින් තාක්ෂණික කමිටුවක් පත් කිරීම පිළිබඳව සලකා බැලිය යුතුය.” යැයි එම වාර්තාවෙ දැක්වෙයි.

අවදානම් සන්නිවේදනය සහ ප්‍රජා සහභාගීත්වය

තාක්‍ෂණික නිපුනත්වයකින් යුතු පුහුණු පුද්ගලයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන අවදානම් සන්නිවේදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම හදිසි අවශ්‍යතාවයක් වන ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

වර්තමානයේදී, විවිධ ජන කණ්ඩායම් වල හැසිරීම් තක්සේරු කිරීම, ජනතා සහභාගිත්වය ලබා ගැනීම සඳහා විශ්වාසදායක ප්‍රජා කණ්ඩායම් භාවිතා කිරීම සහ අවදානම් සන්නිවේදනය සඳහා දැනට පවතින සන්නිවේදන මාධ්‍ය නාලිකා භාවිතයේ ඌනතා පවතින බව ඔවුහු පවසති. අවදානම් සන්නිවේදන උපාය මාර්ග වසංගතයේ පවතින තත්ත්වය අධීක්ෂණය කිරිමෙන් ලබා ගන්නා තොරතුරුවල ගතික ස්වභාවයට අනුගත විය යුතුයුතු බව ද ඔවුහු පෙන්වාදෙති.

එහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ කිහිපයක් නම් කර ඇත.

ඒ අනුව විශේෂයෙන් අලුතින් රෝගීන් වාර්තාවීම් සහ පොකුරු පිළිබඳ තොරතුරු මහජනයාට ඉක්මණින්, පැහැදිලිව හා නිවැරදිව ලබා දීම අවශ්‍ය වන අතර, කොවිඩ් 19 රෝගීන් සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳව නීති විරෝධී ලෙස මාධ්‍යට නිරාවරණය කිරීම වහාම පාලනය කිරීම සඳහා රෙගුලාසි ගෙන ආ යුතු බවද යෝජනා කර ඇත.

හඳුනාගත් පොකුරු හා සම්බන්ධ ජනගහනයන්, භූගෝලීය ප්‍රදේශ, ජනවාර්ගික කණ්ඩායම්, වෘත්තීන් හෝ කර්මාන්ත පිළිබඳව ඔවුන් අපහසුතාවට පත්වන සේ තොරතුරු වාර්තාකරණය වළක්වා ගැනීම  සඳහා නව රෙගුලාසි හඳුන්වා දිය යුතු බවත් ආසාදිතයින්ගේ පෞද්ගලික තොරතුරු මාධ්‍යයට නිකුත්වීම වැලක්විමට අදාල කටයුතු සිදුකළ යුතු බවත් මින් පෙන්වාදී ඇත.

ජනතාව තුළ ඔවුන්ගේ මානසික හා චර්යාත්මක සූදානමක් ඇතිකිරීම සඳහා වසංගතය උත්සන්න වීමේදී සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග, ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන්ට කලින් කලට පැහැදිලිව සන්නිවේදනය කළ යුතු බවද ඔවුහු සඳහන් කරති.

ප්‍රාථමික ආසාදන වැළැක්වීමේ උපාය මාර්ගයන්ට හානි කරන ව්‍යාජ සහතික ලබා දීමෙන් වැළකිය යුතු බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් සඳහන් කර තිබේ.

ආවේක්ෂණය, රෝග විමර්ශනය සහ ක්ෂණික ප්‍රතිචාර

ආවේක්ෂණය:

කෝවිඩ්-19 ආසාදිතයින් පිළිබඳව කරනු ලබන සක්‍රිය සහ අක්‍රිය සෝදිසි කිරීම් විධිමත් කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ වාර්තා වූ රෝගීන් පදනම් කරගත් රෝග අර්ථ දැක්වීමක් තවම සකස් කර නැති බවත් ප්‍රජා වෛද්‍යවරු සඳහන් කරති. එබැවින් පවතින දත්ත උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා රෝගීන්ගේ රෝග ලක්ෂණ පිළිබඳව අර්ථ දැක්වීමක් සකස් කළ යුතු බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු පවසති.

වර්තමානයේ පවතින දත්ත වලින් පෙනී යන්නේ බාහිර රෝගී සත්කාරවලින් 50% ක් පමණ පෞද්ගලික අංශයේ සිදුකරන බවත් එම නිසා ඉන්ෆ්ලුවෙන්සා රෝගාබාධ (ILI ) සහ දරුණු උග්‍ර ශ්වසන ආසාදන (SARI) වැනි අවේක්ෂණ ක්‍රියාමාර්ග පෞද්ගලික අංශයට ව්‍යාප්ත කළ යුතු බවත් එහි සඳහන් වෙයි. පෞද්ගලික අංශයේ ප්‍රතිකාර කරනු ලබන සියලු දෙනාට සැක සහිත (ILI /SARI)  රෝගීන් සඳහා පීසීආර් පරීක්ෂණ කිරීමවලට යොමු කරන ලෙස උපදෙස් ලබාදිය යුතු බවද ඔවුහු යෝජනා කරති.

අධි අවදානම් සහිත පුද්ගලයින් සහ පොකුරු අතර ක්‍රියාකාරී සෝදිසි කිරීම් ආරම්භ කළ යුතු බව ද විශාල පිරිසකට සහ ඉහළ සංචලතාවයකින් හා නිරාවරණය විය හැකි පුද්ගලයින් සඳහා නිරාවරණ කාලය වැඩි වන ඕනෑම ස්ථානයක් මෙයට ඇතුළත් වන බවද එහි සඳහන් කර තිබේ.

රෝග විමර්ශනය:

රෝග විමර්ශන කටයුතු වලදී එම කාර්ය භාරයෙහි කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සඳහා,වැඩ බෙදා දීම, පැවරීම අත්‍යාවශ්‍ය බව එම වාර්තාවේ දැක්වෙයි.

ප්‍රාදේශීය මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) විසින් මෙහෙයවනු ලබන කණ්ඩායමක් විසින් වාර්තාවන ආසාදිතයින් විමර්ශනය සහ සම්බන්ධතා සොයා ගැනීම සිදු කළ යුතු බවත් එම පොකුරු වාර්තාවීම් විමර්ශනය කිරීම් සඳහා, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරුන් සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් සමඟ කණ්ඩායමක් යෙදවිය යුතු බවත් ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වාදෙයි.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් තාක්ෂණික සහාය සහ මග පෙන්වීම ලබා දිය යුතු නමුත් රෝගීන් හෝ පොකුරු විමර්ශනය කිරීමට අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැරෙන්නට සම්බන්ධ විය යුතු නොවන බව ද ආසාදිතයින් විමර්ශනය කරනු ලබන ක්‍රියා පටිපාටිය ප්‍රමිතියකින් යුක්ත වියයුතු බව ද රෝගීන්ට අපකීර්තියක් නොවන බව සහතික කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.

ක්ෂණික ප්‍රතිචාරය:

සීඝ්‍රයෙන් ඉහළ යන අසාදිත සංඛ්‍යාව ඉක්මනින් රෝහල් ධාරිතාව ඉක්මවා යනු ඇතැයි ඔවුන් සඳහන් කරන අතර එම අවදානම අවම කිරීම⁣ට, සම්පත් උපයෝජනය ප්‍රශස්ත කිරීමට සහ කෝවිඩ්-19 වෛරසයට එරෙහි දිගුකාලීන සටනකට සූදානම් වීම සඳහා ගතයුතු උපාය මාර්ග නිවේදනය කර තිබේ.

ඒ අනුව එම උපාය මාර්ගවල මෙසේ සඳහන් වෙයි,

අංක 2197/25 ගැසට් පත්‍රයේ දක්වා ඇති උපදෙස් පිළිපැදීමෙන් පුද්ගල හා කණ්ඩායම් වෙන්කර තැබීම, නිරෝධායනය සහ හුදකලා කිරීම් ලෙස ප්‍රතිචාර දැක්වීම අඛණ්ඩව සිදු කළ යුතුය.

i. ආශ්‍රිතයින්: අංක 2197/25 ගැසට් ගැසට් පත්‍රයේ මෙන් නිවස / ස්වයං හුදකලා කළ යුතුය

ii. රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් ආසාදිත – PCR +ve: අවදානම් තක්සේරු කිරීමකින් පසු අතිරේක පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සහිතව පහසුකම් සහිත මධ්‍යස්ථානවල හෝ ස්වයංව හුදකලා කිරීම / හුදකලා කළ යුතුය.

iii. මද වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිත – PCR +ve : වෙන්කළ රෝහල් / නිරෝධායන මධ්‍යස්ථාන වල රැක බල ගත යුතුය (ද්විතීයික හෝ තෘතීයික සත්කාර රෝහල්වල කොටසක් නොවිය යුතුය)

iv. උග්‍ර සහ තරමක රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිත – PCR +ve: දැඩි සත්කාර ඒකකයක් සහිත රෝහල් / වාට්ටු වල රැක බල ගත යුතුය.

අවදානම් තක්සේරු කිරීම සඳහා පුහුණු සෞඛ්‍ය වෘත්තිකයෙකු විසින් වෙන්කර තැබීම නිරෝධායනය හෝ හුදකලා කිරීම පිළිබඳ තීරණය ගත යුතුය.

රට තුලට ඇතුල් වන ස්ථානවල (AIRPORT, HARBOUR) සංක්‍රමණය

වත්මන් ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතුය. කෙසේ වෙතත්, යම් පුද්ගලයෙකු නැවත මෙරටට ගෙන්වා වහාම නිරෝධායනය කර දින 14 ක් නිරෝධායනයේ රැඳී සිටින්නේ නම්, PCR පරීක්ෂණය ප්‍රමාණවත් වේ. එහෙත්, තනිව හුදකලාව සිදු කළහොත් මෙය වලංගු නොවේ. පුද්ගලයන්ට හෝ තෙවන පාර්ශවීය සංවිධානවලට නිරෝධායන නීති රීති උල්ලංඝණය කිරීමට ඉඩ නොදිය යුතුය.

ජාතික රසායනාගාරවල ධාරිතාව

රෝග සහ ආශ්‍රිතයින් සඳහා කරනු ලබන පරීක්ෂණ නිසා දැනටමත් ජාතික රසායනාගාර ධාරිතාව ඉක්මවා ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිටත PCR පහසුකම් ඇති සියලුම ස්ථාන වල පරීක්ෂණ කිරීමට ගත් පියවර ප්‍රශංසනීයයි. නව රෝග විනිශ්චය පරීක්ෂණ තක්සේරු කිරීමට සහ නව සාක්ෂි මත පදනම්ව නිර්දේශ යාවත්කාලීන කිරීමට තාක්ෂණික කමිටුවක් අවශ්‍ය වේ.

ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම (IPC)

සෞඛ්‍ය සේවා ආයතන හරහා පවා ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම ප්‍රශස්ත ලෙස සිදු නොවේ. සෞඛ්‍ය හා වෙනත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රධානීන් ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීමේ කටයුතු වැඩිදියුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතුය. බොහෝ ස්ථානවල ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ප්‍රශස්ත නොවන බැවින් ප්‍රකාශිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම MOH විසින් නිරීක්ෂණය කළ යුතුය.

රෝහල්වල සිදු කරනු ලබන හඳුනාගත් සැක කරනු ලබන ආසාදිතයින් TRIAGE කිරීම අධීක්ෂණය කළ යුතු අතර පුහුණු සෞඛ්‍ය වෘත්තිකයෙකු විසින් මෙහෙයවිය යුතුය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා PPE සැපයීමේ ජාතික සැලැස්මක් අවශ්‍ය වේ.

රෝගීන් කළමනාකරණය

රෝගීන් කළමනාකරණ උපායමාර්ග අදාළ තාක්ෂණික කමිටුවල උපදෙස් අනුව සකස් විය යුතුය.

මද වශයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන හෝ / රෝග ලක්ෂණ නොපෙන්වන අවස්ථා සඳහා සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ සකස් කළ යුතු අතර, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ට අධික බරක් දැරීමට සිදු නොවන බවටත්, අවධානය මධ්‍යස්ථ මට්ටමේ රෝගීන් නොසලකා දරුණු අවස්ථාවේ සිටින රෝගීන් සඳහා පමණක් ලෙස වෙනස් නොවන බවටත් වග බලා ගත යුතුය.

කෝවිඩ්-19 රෝගීන් කළමනාකරණ සැලැස්ම නිසා අනෙකුත් රෝගාබාධ සඳහා සෞඛ්‍යාරක්ෂාව සඳහා ඇති ප්‍රවේශය ලබා ගැනීම අවදානමට ලක් නොවිය යුතුය. COVID-19 නොවන මරණ වැළැක්වීම සඳහාද ප්‍රමුඛතාවයක් හිමිවිය යුතුය.

විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ සත්කාරක පහසුකම් සඳහා අඛණ්ඩ ධාරිතා තක්සේරුවක් සහ අනාගත අවශ්‍යතා ප්‍රක්ෂේපණය කිරීම අවශ්‍ය වේ.

මෙහෙයුම් සහාය සහ සැපයුම්

වසංගත රෝග අනාවැකි මත පදනම්ව අනාගත අවශ්‍යතා තක්සේරු කිරීම ප්‍රශස්තව සිදු කළ යුතුය.

මෙම නිර්නායක අනුව රජය සහ ජනතාව කටයුතු කරන්නේනම් කෝවිඩ් -19 වසංගතය පාලනය කරගත හැකි බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරු වැඩිදුරටත් පෙන්වාදෙති.

ප්‍රජා වෛද්‍ය විශේඥවරුන්ගේ සංගමයේ සංස්කාරක මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ලංකාවේ කෝවිඩ් තත්ත්වය අපි හිතන් ඉන්නවාට වඩා පැතිරීමක් තිබෙනවා කියලා දැන් පැහැදිලියි.  නමුත් මේ වන විට වසංගතවේදය ගැන තිබෙන අර්ථදැක්වීම් වල හිරවෙලා මේ රෝගය පාලනය කිරීම සම්බන්ධ කරුණු පහුවීමක් සිදුව තිබෙනවා. එතැනින් මිදී අපි හැමෝම මේ වසංගතය පාලනය කරගැනීම කරන්නේ කොහොමද කියලා අවධානය යොමුකළ යුතුයි. ඒ නිසා තමයි අපි මේ යෝජනාවලිය රජයට ඉදිරිපත් කළේ.

මුලින් පැවති තත්ත්වයේදී ආසාදිතයින් වැඩි පිරිසක් අපිට හමුවුණේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. නමුත් මේ වනවිට රෝගීන් විශාල ප්‍රමාණයක් විවිධ තැන්වලින් හමුවෙනවා. මේ ගැන අවධානය යොමුකළ යුතු වෙනවා. මේ වෙද්දි රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණත් මේ රෝගයෙන් වෙන්නෙ මොකක්ද කියලා අපි තවම හරියට අත්දැකලා නැහැ. මෙහි බරපතලකම තවමත් මිනිස්සුන්ට දැනිලා නැහැ. මේ අපරික්ෂාකාරීකම නිසා අපේ රටේ වැඩිමහල් පරපුරට සහ දැනටත් හදවත් රෝග, දියවැඩියා රෝග, වකුගඩු රෝග ආදී වෙනත් රෝග නිසා සංකූලතා ඇතිවන පුද්ගලයින් අතරට මේ රෝගය පැතිරුනොත් සිදුවන හානිය විශාලයි. එහෙම වුනොත් තත්ත්වය ඉතාම භයානක වෙන්න පුළුවන්. මේ නිසා මේ වසංගතය ඉතාම ඉක්මණින් පාලනය කරගැනීමට අවශ්‍ය පියවර රජය සහ සෞඛ්‍ය අංශ විසින් ගැනීම වගේම ජනතාව ඒවා අනුගමනය කිරීමත් වැදගත් වෙනවා. එහෙම නැතිව මේ රෝගය පාලනය කරන්න බැරිවෙයි.”

Previous articleමාධ්‍යයත් කොවිඩ්-19 නිර්දේශ කඩලා : නිර්දේශ තරයේ පිළිපදින්නැයි ඉල්ලීමක්
Next articleමාධ්‍යවේදියගෙ වගකීම පවතින දේ කියන එක නෙමෙයි – ලේඛක සහ විචාරක ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here