‘පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනකුට පහරදීලා’ : අම්පිටියේ සුමනරතන හිමිට නොතීසි

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනකුට පහරදී එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමිට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අම්පිටියේ සුමනරතන හිමිට ලබන 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළ බවයි.

අදාළ හිමිනම සහ තවත් පිරිසක් එම පුරාවිද්‍යා භූමියේ රාජකාරියේ යෙදී සිටි එම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනාගේ රාජකාරීයට බාධා කර ඇති බවට කරදියනාරු පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව සේනාරත්න මහතා ප්‍රකාශ ක⁣ළේය.

මේ සම්බන්ධයෙන් කරදියානාරු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද අදාළ පුරාවිද්‍යා භූමියේ මැනුම් කටයුතු සිදු කිරීමට ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාධා කිරීම් සිදුව ඇතැයි ද සේනාරත්න මහතා කීවේය.

අයුතු හිරිහැරය සහ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් කරදියානාරු පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර පහර කෑමට ලක්වූ නිලධාරීන්ගේ වෛද්‍ය වාර්තා ලබා ගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා පියවර ගෙන ඇති බව සේනාරත්න මහතා පැවසීය.

මීට අමතරව සුමනරතන හිමි අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් ප්‍රදේශවාසීහු විරෝධතාවයක ද නිරත වූහ.

මඩකලපුවේ චෙන්කලඩි හි පන්කුඩාවේලි ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ස්ථානයකට ගිය එහිමියන් එම පුරාවිද්‍යා නිලධාරීන්ට තර්ජනය කරමින් පහර දෙන වීඩියෝවක් ද නිකුත් වී තිබේ.

එම ස්ථානයේ ගොවීන් පිරිසක් වගා කරන බවද මැනුම් කටයුතු පමා කරන බවද හැකි ඉක්මණින් සිදු කරන්නැයිද ඉල්ලමින් සුමනරතන හිමියෝ එහිදී පැවසූහ. ගොවීන් එලෙස කටයුතු කරන තුරු අදාළ නිලධාරීන් නිහඬව සිටින බවද පුරාවිද්‍යා භුමිය ආසන්නයට එන තෙක් වගා කර ඇති බවද එහිමියෝ පෙන්වා දෙති.

එහි එක් නිලධාරීයකුගේ කනට පහර දෙන ආකාරයද තවත් නිලධාරියකුගේ බෙල්ලෙන් අල්ලා බැනවදින ආකාරයක්ද එහි දැක්වෙයි.

එමෙන්ම එම නිලධාරීන් තිදෙනා අදාළ ස්ථානයේ තිබූ තාවකාලික කාර්යාලයක සිර කර රජයේ ඉහළ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

එම ස්ථානයේ මූලික මැනුම් කටයුතු සතියක් ඇතුළත ආරම්භ කරන බවට දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය එහිමියන්ට පොරොන්දු වීමෙන් පසු සිර කරනු ලැබු නිලධාරීන් නිදහස් කරන ලදී.

පහරකෑමට ලක්වූ නිලධාරීන් කරදියානාරු පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් කරදියානාරු රෝහලට ඇතුළත් කෙරිණි.

Previous articleඡන්දය දාන්න ගිය වතු කම්කරුවන්ගේ වැටුපෙන් බාගයක් කපලා : තවම විසඳුමක් නෑ
Next articleපස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් – ප්‍රදේශවාසීහු කියති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here