ඡන්දය දාන්න ගිය වතු කම්කරුවන්ගේ වැටුපෙන් බාගයක් කපලා : තවම විසඳුමක් නෑ

ඉකුත් මහ මැතිවරණ දිනයේ ඡන්දය දැමීමට ගිය තමන්ගේ වැටුපෙන් අඩක් කපා ඇතැයි නානුඔය උඩරතල්ල වතුයායේ වතු කම්කරුවෝ ප්‍රකාශ කරති.

ඒ සම්බන්ධයෙන් වතු කළමනාකරුගෙන් විමසූ විට එය රජයෙන් ලබාගන්නා ලෙස පැවසූ බවත් මැතිවරණ දිනය සඳහා තමන්ට සම්පූර්ණ දිනක වැටුප ගෙවිය යුතු බවත් ඔවුහු අවධාරණය කරති.

එලෙස වැටුප් කැපීමට සහ ඔවුන්ගේ නෛතික සහ වෘත්තීය අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එහි කම්කරුවෝ 275 දෙනෙක් මේ වන විට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරමින් සිටිති.

ඉකුත් 12 වැනිදා ආරම්භ වූ මෙම වැඩ වර්ජනය 10 වන දිනටත් අද (21) ක්‍රියාත්මක විය.

ඇතැම් අවස්ථාවලදී තමන් පැය 8 ක් වැඩ කළ ද ගෙවන්නේ වැටුපෙන් අඩක් බවත් වැසි දිනකදී පවා තේ දළු කිලෝග්‍රෑම් 18ක් නෙළීමට බලපෑම් කරන බවත් ඉන් කිලෝග්‍රෑම් එකක් හෝ අඩු වුවත් තම වැටුපෙන් බාගයක් කපා දමන බවත් ඔවුහු පෙන්වා දෙති.

තේ දළු මනින ඉලෙක්ට්‍රොනික් තරාදියේ ඇතැම් අවස්ථාවලදී බර අඩු වන බව ද මෙමගින් තම ශ්‍රමය සූරාකෑමකට ලක් වන බවද ඔවුහු පෙන්වා දෙති. වතු කළමනාකරු අතින් තම අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් වතු කළමනාකරු ස්ථාන මාරු කරන ලෙසත් ඔවුහු ඉල්ලති.

තවමත් විසඳුමක් නැති තම ඉල්ලීම් ඉටු වන තෙක් වැඩ වර්ජනය දිගටම කරගෙන යන බව ද ඔවුහු පවසති.

මේ සම්බන්ධයෙන් වතු කළමනාකරුගෙන් කළ විමසීමකදී පැවසූවේ තමාට මේ ගැන අදහස් දැක්වීමට නොහැකි බැවින් මේ ගැන ප්‍රධාන කාර්යාලයෙන් විමසන ලෙසයි.

“මම ඔබට ප්‍රධාන කාර්යාලයේ අංකය එවන්නම්” යැයි ඔහු පැවසූ නමුත් ඔහු පසුව ප්‍රතිචාර නොදැක්වීය.

මේ සම්බන්ධයෙන් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ⁣පැවසූවේ වතු නඩත්තු කිරීම ප්‍රමාද වීම හා තේ දළු නෙළීමේ අනුපාතය පහළ යාම හේතුවෙන් වැවිලි පාලක මණ්ඩලය සේවකයන්ගේ දෛනික වැටුපෙන් බාගයක් කප්පාදු කිරීමටත් මාසික දීමනා නිසි ආකාරව  නොගෙවීමටත් කටයතු කරන බවයි.

මෙය දිගින් දිගටම සිදුවන බවත් පසුගිය දින කිහිපයේ නානුඔය උඩරතල වතුයායේ ඉහළ සහ පහළ වැවිලි අංශවල වතු කම්කරුවන්ගේ හා පාලක මන්ඩලයේ ගැටුම්කාරී තත්ත්වයක් අනාවරණය වූ බවත් ඔහු පැවසීය.

මේ සඳහා අවශ්‍ය සුදුසු පියවර ගැනීමට වගකිවයුතු බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් ඔහු සඳහන් ක⁣ළේය.

ඔහු මේ බව පැවසූවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයාය වෙත ගොස් කරුණු විමසීමෙන් අනතුරුවය.

Previous articleවාහන බලපත්‍රය එපා කී කතාව බොරු – හරිනි අමරසූරිය
Next article‘පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනකුට පහරදීලා’ : අම්පිටියේ සුමනරතන හිමිට නොතීසි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here