පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ උත්සහයක් – ප්‍රදේශවාසීහු කියති

(නිලූක සඳුන් පද්මසිරි)

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය යට ගැසීමේ හෝ කරුණු වෙනස් කිරීමේ උත්සහයක් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මහනුවර හිටපු බස්නායක නිලමේ වරයෙක් වන ලෙවුකේ බන්ඩාර මහාතාට අයත් බව කියන මෙම පස්මහල් ගොඩනැගිල්ල පසුගිය ඉරිදා අළුයම කඩාවැටීමෙන් අසල නිවසේ නිදා සිටි තරුණ යුවළකට සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති බිළිඳාට ජීවිතය අහිමි විය.

එය කඩාවැටීමට පෙර එහි හිමිකරු ඇතුළු පිරිසක් ඉන් ඉවත් වී ඇතත් අසල නිවෙස්වල කිසිවකුට මේ බව අනතුරු අඟවා නැතැයි ද ප්‍රදේශවාසීහු චෝදනා එල්ල කරති.

බලපුළුවන්කාරකම් භාවිතා කරමින් මෙම සිද්ධිය යට ගැසීමට නිවසේ හිමිකරු වන දොඩන්වල දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයකු වන අනුර ලෙව්කේ ඇතුළු පිරිස උත්සහ කරමින් සිටින බව එහි ප්‍රදේශවාසියෙක් Medialk.com වෙත පැවසීය.

“ගොඩනැගිල්ල සාදා ඇත්තේ ඇළ මාර්ගයක් හරස් කරලා”

මෙම ගොඩනැගිල්ල සාදා ඇත්තේ ඇළ මාර්ගයක් හරස් කර බවත් මේ හේතුවෙන් එම ප්‍රදේශයේ බොහෝ අය ලෙව්කේ පවුල සමග විරසක වී සිටි බවත් ඔහු සඳහන් කළේය.

මෙය සාදා ඇත්තේ ඇළ මාර්ගයකද යන්න කළ විමසීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් බාර භූ විද්‍යාඥ සමන්ත එගොඩපිටිය මහතා පැවසූවේ මෙය නිම්නයක හැම දිසාවකින්ම පාහේ ජලය බහින ස්ථානයක ඉදිකර ඇති බවයි.

“හැම පැත්තෙන්ම වගේ මෙතැනට වතුර එනවා. එතන තමයි මේ ගේ හදලා තියෙන්නේ. ඒ ගේ ගාවින් කාණුවක් යනවා. බෝක්කුව තියෙන්නෙත් ඒ ගේ ළඟමයි. එතැනින් තමයි වතුර ගලන්නේ. ඒ ගේ ළඟින්ම තමයි වතුර පල්ලෙහාට බහින්නේ. ගේ එක පැත්තකින් කාණුවකින් වතුර බහිනවා. එතකොට අත්තිවාරම බුරුල් වෙලා ගැලවෙන්න පුළුවන්.මිනිස්සුත් කිව්වා එතැන ඇළක් හරස් වෙලා තියෙනවා කියලා. නමුත් දැන් එතැන හොයන්න බෑ සුන්බුන්වලට වැහිලා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම ගොඩනැගිල්ල නිම කර ඇත්තේ ජලය ගලා ගිය කඳුරක් අවහිර වන සේ බව ද මේ හේතුවෙන් දිගු කලක සිට එම කඳුරේ ජලය ගලායාම අවහිර වී තිබෙන්නට ඇති බව ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා එම සිද්ධිය ගැන සොයාබැලීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

කඩාවැටුණේ හිස් ගොඩනැගිල්ලක්

මෙම ගොඩනැගිල්ල කඩාවැටීමට පෙර එම ගොඩනැගිල්ලේ සියලු දෙනා ඉවත් වී ඇතැයි ද නිවසේ තිබූ බඩු බාහිරාදිය ද ඉවත් කර තිබූ බවද කඩා වැටී තිබුණේ හිස් ගොඩනැගිල්ලක් බවද Medialk.com වෙත අදහස් දැක්වූ ප්‍රදේශවාසියා තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ ආකාරයට බැලූ විට මෙය චේතනාන්විතව සිදු කළ දෙයක් වන බවත් නිකමට හෝ ප්‍රදේශයේ අනෙක් අය දැනුම්වත් කළානම් ජීවිත අහිමි වූ පවුලට එවන් ව්‍යසනයක් නොවෙන්නට තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධ කිසිවෙකුට එරෙහිව මේ වන තෙක් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් දක්නට නැතැයි ද අවශ්‍ය නම් සීසීටීවි දර්ශන පරීක්ෂා කළ හැකියැයිද ඔහු කීවේය.

ලෙව්කේ මහතාගේ සහෝදරයෙකු පොලිසියේ හිටපු උසස් නිලධාරීයෙකු බව ද මේ සියලු සම්බන්ධතා යොදාගනිමින් මෙම සිද්ධිය යටගැසීමට උත්සහ ගන්නා බවද ඔහු පැවසීය.

ඉදිකිරීම ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අදහස

මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති ආකාරය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් බාර භූ විද්‍යාඥ සමන්ත එගොඩපිටිය මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ මෙය අස්ථාවර භුමියකට ගැලපෙන ආකාරයට ස්ථාවරව ඉදි කර නැතුවා පමණක් නොව කම්බි සහ කොන්ක්‍රීට් ද ප්‍රමාණවත් පරිදි යොදා නැති බවයි.

ඒ මහතා මෙසේද පැවසීය.

“නිම්නයක තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනක භුමිය අස්ථාවරයි. අනික බෑවුමක් සහ වතුර නිතරම ගලා යන තැනක්. ඒ භුමියට ගැලපෙන්න ගැඹුරකට හරියන්න ස්ථාවර විදියට මේක හදලා නෑ. හදන්න කළින් සොයලා බලලා නෑ. ඒ වගේ තැනක පිහිටි ගල සමග සම්බන්ධ වෙන්න ඉදිකිරීම් කරන්න ඕනේ. මේක හදලා තියෙන්නේ එහෙම සම්බන්ධ වෙන්න නෙමෙයි උඩ පස් ස්ථරයක තමයි අත්තිවාරම තිබෙන්නේ.

ව්‍යහාත්මක ස්ථායිතාවය ඒ කියන්නේ මේකට දාලා තියෙන කම්බිවල ප්‍රමාණය සහ කොන්ක්‍රීට්වල ශක්තිය කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව බැලූ බැල්මටම පේනවා. පරීක්ෂණ කරන්න කළින් අපි නිකම් බැලුවම එ් බව අපට පෙනෙන්නට තිබුණා.”

චෝදනාවන්ට ගොඩනැගිල්ලේ හිමිකරුගේ පිළිතුර

අදාළ ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් දෙමින් පැවසූවේ තමන්ට එල්ල කරන චෝදනා අසත්‍ය බවයි.

“මගේ දුව මේ පාර A/L කරනවා. 1.30 වෙනකන් එයා පාඩම් කරා අපිත් කට්ටිය ඔක්කොම එයා පාඩම් කරන තැන ඉදගෙන හිටියා. 1.30 නිදා ගන්න ගියා. නිදා ගන්න ගිහිල්ලා පාන්දර 4.00 , 4.15 විතර අපිට ඇහුණා දඩස්,දොඩොස් ගාලා සද්ද, අල්ලපු  ගෙදර සමරසිංහ කියලා එයා කිව්වා එකපාරටම Mr. ලෙව්කේ ඔයාගේ ගේ පුපුරනවා කියලා. කියපු ගමන්ම එලියට එනකොට එලියට එන්න බෑ ගේ ඇතුළේ ටයිල් ඔක්කොම ඉස්සිලා. අපි එහෙම්ම පැනලා පාරට පැන්නා. එවෙලේ වැස්ස. අපි වාහනේට නැග්ගා. නැගලා කෙළින්ම ඉස්සරහ ගෙදරට ආවා.

මේක නිසි ප්‍රමිතියට හදලා තියෙන්නේ.ඉංජිනේරු කෝපරේෂන් එකෙන් සම්පූර්ණ අනුමැතිය ලබාගෙන තිබුණේ. කම්බිවලට පවා”

අනුර ලෙව්කේ මහතාගේ බිරිඳ මෙසේ පැවසීය.

” අපි මේක හැදුවේ 2006. එ් වෙනකොට ගන්න ඕනේ හැම අනුමැතියක්ම අරන් තිබුණේ. හරිම දුකයි බොරු චෝදනා කරන එක. හැඳුනුම්පතක්වත් නැතිව රෑ නිදාගෙන හිටිය ඇඳුම පිටින් විතරයි. වෙන කිසිම දෙයක් නෑ. තේ හැන්ඳක්වත් නැතුව තමයි.

ගේ නැතිවෙච්ච එකට වඩා දුක පල්ලෙහා පවුලක්ම නැති වෙච්ච එක ගැන. අසල්වාසියෝ නැති වෙච්ච එක ගැන අපට හරිම දුකයි.”

ලෙව්කේ මහතාගේ පුතා මෙලෙස පැවසීය.

“⁣මගේ ඇඳ හෙල්ලිලා මට ඇහැරුණා, බලන් ඉද්දි වැටවල් ශබ්ද, බල්ලෝ බුරනවා ඇහුණා. මම අම්මට කෝල් කරලා කිව්වා ශබ්දයක් හොරෙක් ඇවිල්ලද කියලා. අම්මිටත් ශබ්ද ඇහිලා බැල්කනිය ගිහින් බලලා. ඒ වෙලාවේ එහා ගෙදර සමරසිංහ අංකල් අපේ ගෙදරට ටෝච් ගහලා අම්මට කියලා මිසිස් ලෙව්කේ ඔයාලගේ ගේ පුපරනවා කියලා. ඒ වෙලාවෙම තමයි මම කෝල් කරලා තියෙන්නේ. අම්මි අප්පච්චිවයි නංගිවයි ඇහැරවගෙන උඩට ආවා.

රෝල ගේට් එක ඇරුණා කොහොම ඇරුණද දන්නේ නෑ. ඒවා ක්ෂණිකව වෙන දේවල්. ප්ලෑන් කරලා වෙන දේවල් නෙමෙයි.

මට මතක් වූණා හරි වාහනේ තියෙනවා කියලා. ඔක්කොම යනවානේ වාහනේ විතරනේ අපට තියෙන්නේ කියලා. හොඳටම වහිනවා. එළියේ ඉන්න බෑ. වාහනේ ස්ටාට් කළා. රිවස් කළා. අම්මිලා අප්පච්චිලා වාහනේට දාගත්තා. එතකොටත් පාරයි ගරාජ් එකයි අතර අඟල් තුන හතරක පරතරයක් හැදිලා. වාහනේ අරන් මම ලේක් ක්ලබ් එක පැත්තට ගියා. එතැනින් හරවගෙන යන ගමනුත් මගේ කෝල් ලොග් එකේ දැනටමත් තියෙනවා මම පොලිසියට කෝල් කරලා තියෙනවා හරියටම 5.00ට. 119 නෙමෙයි 2 එ්වා 8 මහනුවර පොලිසියේ එක ඔළුවට ආවේ.

සිද්ධිය වූ වෙලාවේ මම ඇහැරලා අම්මට කෝල් කරලා වාහනේ එළියට අරන් පොලිසියට කෝල් කරන අතර කාලය විනාඩි හතක් විතර යන්න ඇති. පොලිසියට කෝල් කරලා සංඝමිත්තා මාවතේ අපේ ගේ කඩාගෙන වැටෙනවා කියද්දිම වගේ ගේ කඩාගෙන වැටුණා අපි දැක්කා.

2006දී අපි ගේ හැදුවේ. එදා ඉඳන් අද වෙනකම් හැම Approve එකම අරගෙන පෙට්ටගමක. ඒවා කිසිම දෙයක් දැන් ගන්න බෑ. දැන් යටවෙලා තියෙන්නේ.”

හිමිකරුගේ සහ පුතාගේ කතාවල පරස්පරතාවක්

එම ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතාගේ සහ ඔහුගේ පුතාගේ කතාවල පරස්පරතා ඇතැයි ද  ප්‍රදේශවාසියෙකු Medialk.com සමග පැවසීය.

“අනුර ලෙව්කේ මහතා පවසන්නේ ශබ්ද ඇසීම හේතුවෙන් ඔහු අවදි වී බැලූ විට අසල නිවසේ සමරසිංහ යන පුද්ගලයා ‘Mr. ලෙව්කේ ඔබතුමාගේ ගේ පුපුරනවා’ යැයි පැවසූ බවයි.

නමුත් ලෙව්කේ මහතාගේ පුතා පවසන්නේ තම මවට ශබ්ද ඇසීම නිසා අවදි වී බැල්කනියට ගොස් බැලූ විට අසල නිවසේ සමරසිංහ මහතා “මිසිස් ලෙව්කේ ඔයාලගේ ගෙදර කණුවක් පුපරනවා” යැයි පැවසූ බවයි.

එමෙන්ම පසුව මව විසින් පියාව සහ නැගණියව අවදි කර ඇති බවද ඔහු පවසයි.

එමෙන්ම අනුර ලෙව්කේ මහතා පවසන්නේ තමන් සහ පවුලේ අය වාහනයේ නැග ‘ඉස්සරහ ගෙදරට’ ගිය බව නමුත් ඔහුගේ පුතා පවසන්නේ ‘ලේක් ක්ලබ් එක පැත්තට’ ගිය බවයි.”

මෙලෙස මෙම ප්‍රකාශ අතරත් එමෙන්ම ඔවුන් පවසන වේලාවන් අතරත් පරස්පරතා ඇතැයි ද එම ප්‍රදේශවාසියා පැවසීය.

පොලිසියෙන් පරීක්ෂණයක්

එම ගොඩනැගිල්ලේ ඉදි කරන අවස්ථාවේ දී එය නිසි නෛතික ක්‍රමවේදය අනුව සිදුකර නැති බවට තහවුරු වුවහොත් අපරාධ නීතිය යටතේ අදාළ පුද්ගලයින්ට විරුද්ධය නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න  බව හෝ අනතුරක් සිදුවන බවට කලින් දැන සිටියා නම් ඒ සම්බන්ධයෙන් අනෙක් පුද්ගලයින් දැනුම්වත් කිරීම සාදාචාරාත්මක යුතුකමක් බව ජාලිය සේනාරත්න මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසූවේ මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙම සිද්ධියෙන් තිදෙනකු මිය යාම ගැන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය ද සිදු කර ඇති බවත් ය.

අනවසර ඉදිකිරීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය වී නැතැයි ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය පැවසීය.

සිද්ධියෙන් පසු

“ඉකුත් දින කිහිපය තුළ මහනුවර දිස්ත්‍රික්කය පුරා අධික වර්ෂාපතනයක් ඇද හැලුණු අතර ඒ තුළින් තිදෙනෙක් මිය ගොස් එක් අයෙක් තුවාල ලැබීය. පූර්ණ නිවාස හානි තුනක් සහ අර්ධ නිවාස හානි 21ක් වාර්තා වී තිබේ. අවදානම සැලකිල්ලට ගෙන පවුල් අටකට අයත් 37 දෙනෙක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇත” බවට මෙම සිද්ධියෙන් පසු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

අනවසර මෙන්ම අවදානම් ‍මට්ටමේ පවතින ගොඩනැගිලි සදහා දැඩිව නීතීය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.

වර්තමානයේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් නගරය තුළ දැනට අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර එම ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා කීවේය.

මෙම සිද්ධියෙන් පසු අනවසර මෙන්ම අවදානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ (21) පැවැත්වු අතර ඒ මහතා එහිදී මේ බව පැවසීය.

මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මහනුවර නගර සභාවේ නාගරික ඉංජිනේරු, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, ආපදා කළමනාකරණ මහනුවර මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කර්යාංශයේ ප්‍රාදේශිය කළමනාකරු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ස්ථාන භාර නිලධාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවත්විණි.

මෙම සාකච්ඡාවේදී මහනුවර නගරය තුළ පවතින තවත් අවදානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් රජයේ පවතින නීතී රෙගුලාසි අනුගමනය නොකරමින් සහ උපක්‍රමශීලී ලෙස නගර තුළ අනවසර ඉදිකිරීම් සිදු කරනු ලබන බවත්, ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් සදහා කිසිසේත් උචිත නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි අවධානම් මට්ටමේ ඉදිකිරීම් වල ඇතැම් පිරිස් නිරත වී සිටින බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

මෙවන් ඛේදවාචකයක් යළි නොවෙන්නට

මෙවන් අනතුරක් යළි නොවෙන්නට කටයුතු කළ බව ද අවදානම් සහ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබලා වහාම ඒවාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

මීට අමතරව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකරුවන්ද ඉල්ලා සිටින්නේ මෙම සිද්ධියට අදාළව සාධාරණ විමර්ශනයක් පැවැත්විය යුතු බවත් මින් ඉදිරියට මෙවන් සිදුවීමක් නොවන්නට හැකි ඉක්මණින් නීතිය මෙන්ම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ කටයුතු සිදුකළ යුතු බවයි.

මෙම අනතුර⁣ට හේතුව කුමක්දැයි සෙවිය යුතු බවත් අනාගතයේදී මෙවැනි සිද්ධීන් නොවීමට පියවර ගත යුතු බවත් රජයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කළේය.

Previous article‘පුරාවිද්‍යා නිලධාරීන් තිදෙනකුට පහරදීලා’ : අම්පිටියේ සුමනරතන හිමිට නොතීසි
Next articleමාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here