කෝප් කමිටුවේ දොර මාධ්‍යයට වැහෙයි

(නිලූක සඳුන් පද්මසිරි)

මින් ඉදිරියට පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප් කමිටුව) රැස්වීම් මාධ්‍යයට විවෘත නොකිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ සංවිධායක ⁣අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

යහපාලන ආණ්ඩුව දේශපාලන ඉලක්කවලට පහරදීමට එය භාවිත කළ බවත් එලෙස මාධ්‍යයට කෝප් කමිටුවේ කටයුතු යළි විවෘත කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම තීන්දුව පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ගත් තීන්දුවක් බවද ඔහු කීවේය.

ඒ මහතා මෙසේද පැවසීය

“දේශපාලන ඉලක්කවලට පහරදෙන්න තමයි ඒක පාවිච්චි කළේ. අපිටත් ඒක හොදයි. අපි ඒක කළොත් ඔබතුමාලගේ කාලේ හොරකම් තමයි එළිවෙන්නේ. හැබැයි සදාචාරයක් තියෙන්නෙ ඕන. මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ තනතුරුවල හිටපු අයගේ ආත්ම ගරුත්වය රැකෙන විදියට තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඒ නිසා බොරු මාධ්‍ය සංදර්ශන තියන්න යන්නේ නෑ මේ ආණ්ඩුව. තමුන්නාන්සේලා තමයි ඒක කෙරුවේ.එය ඉතිහාසය තුනෙන් දෙකේ බලයක් දීලා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කරපු එක යළි අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊට විරෝධය දැක්වීය.

මෙම තීරණය ගත යුත්තේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා බවත් මෙය ඔහුට සිදුකළ බලපෑමක් බවත් ඔහු පැවසීය.

ඔහු මෙසේද කීවේය.

“මම කෝප් කමිටු සාමාජිකෙයක්. මෙතුමා කියනවා මෙතුමාලා තීන්දු කරලා තියෙනවා කියලා මාධ්‍යයට නොදී ඉන්න. හැබැයි කෝප් සභාපතිතුමා තීරණය කළේ ලබන සතියේ එ තීන්දුව එතුමා දෙනවා කියලා. මේ තීරණය ගන්න ඕන ආණ්ඩු පක්ෂ සංවිධායක නෙමෙයි. තීන්දුව ගන්න ඕනේ කෝප් කමිටුවේ සභාපති. මේ කරන්නේ බලපෑමක්. මේ කරන්නේ සභාපති බවට පත්වුණු මහාචාර්ය චරිත හේරත් මහත්තයට බලපෑමක් කරන්නේ. එතුමා ගන්න ඕන තීන්දුව මෙතුමා අරගෙන කියනවා ඒක ක්‍රියාත්මක කරන්නේ නෑ කියලා. ඒ කියන්නේ තීන්දුව අරගෙන මෙතැනින්. දැන් මේ හොරාට කළින් කෙහෙල්කැන වැට පැන්නා. ඒ ගේම ගහන්න යන්නේ. නිලධාරීන් පිට දාලා මේක කරන්න හදන්නෙ.”

යළි අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසූවේ මෙය පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ගත් තීන්දුවක් බවයි.

“ගරු කථානායකතුමනි මේක පක්ෂ නායකයින්ගේ රැස්වීමේදි සාකච්ඡා කරලා අපි ආව තීන්දුවක්. ඒක ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමතිතුමා දන්නවා. මේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ඒකේ නෑ. ඒකයි දන්නේ නැත්තේ. ඒ වගේ තනතුරකට එන්න කල් යනවා.” යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසය

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කළ යුතු බවට යෝජනා රැසක් ඉදිරිපත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කළ යුතු බවට වන යෝජනාව ඉදිරිපත් කළ අතර කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කරන බවට එවකට හිටපූ කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේ 2019 අගෝස්තු 08 වැනිදා ය.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ ඉදිරි පියවරක් බව ජයසූරිය මහතා එම නිවේදනය කරමින් පැවසීය.

එදින හිටපු කථානායකවරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි..

“පාර්ලිමේන්තු සංකීර්ණයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා කාමර අංක 05හි සවි කරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම සනිටුහන් කිරීම පිළිබද උත්සවය, 2019 අගෝස්තු 09 වැනිදා සිකුරාදා අපර භාග 2.00 සිට අපර භාග 2.30 කාරක සභා කාමර අංක 05දී පැවැත්වෙන අතර, ඉන්පසු පවත්වනු ලබන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කරන බව මෙයින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙහිදී මාධ්‍ය ව කීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි මම හුදෙක්ම බලාපොරොත්තු වෙමි. පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් ඉදිරි පියවරක් බව මා සදහන් කරන්නට කැමතියි.මේ අවස්ථාවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය බලාපොරොත්තු වෙනවා.”

එදිනම හිටපු කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පැවසූවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල රැස්වීම් ද මාධ්‍යයට විවෘත කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පියවර යොදන ලෙසත් ය.

ඔහු මෙසේද පැවසීය.

“ගරු කථානායතුමනි, ඔබතුමා විසින් නිවේදනය කරන ලද කාරක සභා රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීම ගැන අපි සතුටට පත්වෙනවා. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ගරු සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීතුමා ඇතුළු ඒ කණ්ඩායමේ ඒ කාර්යයන් මාධ්‍යයට විවෘත කිරීම ගැන මා ඉතා අගය කරනවා.. ඒ වාගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ආංශික අධීක්ෂණ කාරක සභාවල රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමත් ටිකෙන් ටික කර දෙන්න කියලා. එය ඉතා වටිනවා. ආංශික අධීක්ෂණ කාරක සභාවල ස්වභාවය රටම දැනගත යුතුයි. ගරු කථානායකතුමනි ඔබතුමා ඒ ගැනත් අවධානය යොමු කරනවානම් ඉතා වටිනවා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම සඳහා එහි සවිකළ නවීන තාක්ෂණයෙන් යුතු කැමරා පද්ධතිය විවෘත කිරීම එවකට කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, යුරෝපා සංගමයේ නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

කෝප් කමිටුව මුල් වරට මාධ්‍යයට විවෘත කෙරුණේ 2019 අගෝස්තු 09 වැනිදා වන අතර එතෙක් කෝප් කමිටු සාකච්ඡා අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවැත්වුණු අතර එහි කටයුතු ජනතාවට හෙළි නොවීය.

පොදු ව්‍යාපාර කාරක සභාව ආවරණය කිරීමට සවිකර තිබෙන කැමරා පද්ධතිය යුරෝපා සංගමයේ මූල්‍යමය අනුග්‍රහ‌යකින් හිමි වූවකි.

පාර්ලිමේන්තුව ළඟා කරගත්  ඉහළම ප්‍රජාතන්ත්‍රවාදය

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ප්‍රජාත්‍රන්තවාදයේ ඉහළම තත්ත්වය ළඟා කරගෙන ඇතැයි හිටපු කතානායක කරූ ජයසූරිය මහතා කෝප් කමිටුවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් 2019 අගෝස්තු 09 වැනිදා පැවසීය.

කෝප් කමිටුව මෙලෙස මාධ්‍යයට විවෘත කිරීම තුළින් විනිවිද පේන රාජ්‍ය ත්‍රන්තයක් බලාපොරොත්තු වන බව ද ඉදිරියේදී ආංශික අධීක්ෂණ සභාද පියවරෙන් පියවර මහජනතාවට විවෘත ‌ කරනු ඇති බවද හිටපු කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ මෙය තවත් එක් ඉදිරි පියවරක් ලෙස සඳහන් කළ ජයසූරිය මහතා ‌මෙහිදී මාධ්‍ය ඉතා වගකීමෙන් කටයුතු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

Previous articleමේ විදියට කැලෑ කපන්න රජයෙන් අවසර දුන්නොත් රට බරපතල අනතුරක – ආචාර්ය ගෝතමී වීරකෝන්
Next articleලංකාගම පාරට පරිසර වාර්තාවක් නෑ – ඇමැති පිළිගනී 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here