මේ විදියට කැලෑ කපන්න රජයෙන් අවසර දුන්නොත් රට බරපතල අනතුරක – ආචාර්ය ගෝතමී වීරකෝන්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින හෙක්ටයාර ලක්ෂ 5 ක් වූ අවශේෂ වනාන්තර දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත පැවරීමට ආණ්ඩුව සූදානම් වීමත් සමඟ ඒ පිළිබදව සමාජයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.

අදාළ ඉඩම් පැවරීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස ඉකුත් ජූලි 01 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පරිසර හා වනජීවී සම්පත් ඇමතිවරයාට කැබිනට් මණ්ඩලය විසින් දැනුම් දෙනු ලැබ ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ පවතින නීති රාමුව තුළ ගැමි ජනයා පීඩාවට පත්වීම වැලැක්වීම සදහා රජය මෙම තීරණය ගත් බවයි.කෙසේ වෙතත් තවදුරටත් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට නුසුදුසු ඉඩම් ගොවීන් හට පැවරීමේ ක්‍රමවේදයක් දැනටමත් තිබියදී ගොවි ජනතාවට සහන සැලසීම සඳහා බව පවසමින් 5/2001 චක්‍ර ලේඛය හදිසියේ අවලංගු කිරීමට උත්සාහ කිරීම සැකයට තුඩු දෙන බවට පරිසරවේදීහු චෝදනා කරති.

අව‍ශේෂ වනාන්තර

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේදී වන සංරක්ෂණ ආඥා පනත සහ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත ප්‍රධාන ලෙස උපයෝගී කර ගනු ලබයි.මීට අමතරව ජාතික උරුම වනභූමි පනත නමින් පනතක් ඇති අතර එමගින් ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ‘සිංහරාජය’ ලෝක උරුමය පමණි.

මෙසේ ආරක්‍ෂිත ඉඩම් ලෙස ප්‍රකාශයට පත්කර ඇති රජයේ ඉඩම් වලට අමතරව කිසිඳු නීතිමය තත්ත්වයක් මගින් ප්‍රකාශයට පත්කර නොමැති රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා හැඳින්වූ පොදු වචනය වුයේ ‘Other State Forest’ ලෙසයි.එම වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී ‘වෙනත් රජයේ වනාන්තර’ යන නිවැරදි වචනය වෙනුවට ‘අවශේෂ වනාන්තර’ හෝ ‘අවශේෂ කැලෑ’ යන්න භාවිත කෙරේ.එම භාවිතාව තුළින් බොහෝ දෙනාට නිරායාසයෙන්ම සන්නිවේදනය වන්නේ එම වනාන්තර වැදගත්කමින් අඩු ප්‍රයෝජනයක් නොමැති වනාන්තර කොටසක් ලෙසයි.

නමුත් ජෛව විද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමක් සහිත අක්කර දහස් ගණනක් විශාල වනාන්තරවල සිට කුඩා සංවේදී පරිසර කලාප ද මීට අයත් වේ.ඒවා තුළ ගංගා ඇළදොළ රක්ෂිත, ඇතැම් ජලපෝෂක ප්‍රදේශ ඓතිහාසික හා ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක්ද අවශේෂ වනාන්තර තුළ දක්නට ලැබේ.

පරිසරවේදීන්ගේ මතය

රක්ෂිත ප්‍රදේශ අතර අඛණ්ඩ වන ආවරණයක් ඇති කරන අවශේෂ වනාන්තර හෙක්ටයාර ලක්ෂ පහකට පමණ එකවර නීතිමය ආරක්ෂාව අහිමි වුවහොත් එම ප්‍රදේශවල සිටින ජීවීන්ට මෙන්ම ඊට යාබදව පවතින රක්ෂිතවල ඇති ශාක සහ ජල පෝෂක ප්‍රදේශයන්ටද විශාල බලපෑමක් සිදු වන බව ආචාර්ය ගෝතමී වීරකෝන්  පවසයි.

ආචාර්ය ගෝතමී වීරකෝන් ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ (Natural History Museum) ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු (Senior Curator of Lichens and Slime Moulds) ලෙස කටයුතු කරන්නීය.ආචාර්ය ගෝතමී වීරකෝන් විසින් ලොවට හඳුන්වා දෙන ලද නව ලයිකන විශේෂ සංඛ්‍යාව 123 කි. ඉන් 90 ක් පමණ ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ වේ. ඇය විසින් මේ දක්වා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පර්යේෂණ පත්‍රිකා (Research Papers) ප්‍රමාණය 40 කට ආසන්න වේ. ලොව ප්‍රමුඛ පෙළ විද්‍යා සහ අධ්‍යාපන ආයතන අතරින් එකක් වන ‘නැෂනල් ජියොග්‍රැෆික් සොසයිටි’ (National Geographic Society) වෙතින් ප්‍රදානය කරන වාර්ෂික ජෛව විවිධත්ව ගවේෂණ අරමුදල හිමි කර ගත් දකුණු ආසියාවේ පළමු විද්‍යාඥවරිය ද ඇයයි.

ආචාර්ය ගෝතමී වීරකෝන් 2015 සිට 2017 දක්වා ශ්‍රී ලංකාවේ කළ පර්යේෂණ මගින් ග්‍රැෆිඩේසි (Graphidaceae) නමැති ලයිකන පවුලට අයත් ග්‍රැෆිස් (Graphis) ගණයේ ලයිකන 128 ක් හඳුනා ගෙන ඇත. ඒ අතරින් 106 ක්ම ශ්‍රී ලංකාවෙන් අලුතෙන් වාර්තා වූ ලයිකන විශේෂ වේ. අදාළ පර්යේෂණ වාර්තාව 2019 වසරේ දෙසැම්බර් මස ‘ද ලයික්න්ලොජිස්ට්’ (The Lichenologist) විද්‍යා සඟරාවේ පළ විය. ඒ අනුව ලෝකයේ තනි රටකින් වැඩිම ග්‍රැෆිස් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්විය.

ඇය මේ සම්බන්ධයෙන් සිදු කළ සම්පූර්ණ පැහැදිලි කිරීම පහත දැක්වෙයි.

Previous articleමාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් – ගල්කන්දේ ධම්මානන්ද හිමි
Next articleකෝප් කමිටුවේ දොර මාධ්‍යයට වැහෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here