ලංකාගම පාරට පරිසර වාර්තාවක් නෑ – ඇමැති පිළිගනී 

(ශාලිිික විමලසේන)

සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිත ව ලංකාගම හරහා දෙනියාය සිට නෙළුව දක්වා පිහිටි මාර්ගය පුළුල් කිරීමේදී පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර නොමැති බව පරිසර ඇමැති මහින්ද අමරවීර පිළිගත්තේය.

එම මාර්ගය පුළුල් කිරීමේ කටයුතු සිදු කරන හමුදාව පාර්ශ්වයෙන් අඩුපාඩුවක් සිදු වී ඇති බව ද සඳහන් කළ ඇමැතිවරයා, පරිසර පනත වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද පැහැදිලි කර සිටී. වර්තමානයේ රට පුරා සිදු වන දැවැන්ත පරිසර විනාශය සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

හතර වටෙන්ම වැඩියෙන්ම චෝදනා එල්ල වෙන ඇමැතිවරයෙක් ඔබ. ඇත්තටම ඔක්ෂිජන් ඕනෙ නෑ කියලා ආණ්ඩුව තීරණයක් අරන්ද මේ තරම් කැලෑ කපන්නෙ…?

මෙහෙමයි. ඔය කියන කතා බොහොමයක් ඇත්ත නෙමෙයි. හුඟක් කතා සමාජ මාධ්‍ය ජාලා සහ පරිසරවේදීන් කියලා කියාගන්න සමහරක් අය කියන බොරු කියලා මට පැහැදිලිව කියන්න පුළුවන්. මං මේ කතා කරන්නෙ සියලු තොරතුරු හොයලා බලලා. මේ වෙන‌කොට සිද්ධි විදිහට තියෙන එකක් තමයි, ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ සිද්ධිය. එතැන විනාශයක් වෙලා තියෙනවා. ඒකට සම්බන්ධ අය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇමැතිවරයෙකුගෙ සහෝදරයෙක් පවා අපි අල්ලලා තියෙනවා. තව එකක් තමයි, සිමෙන්ති සංස්ථා ඉඩම බදුදීමේ සිද්ධිය. ඒකෙ නැවත වන වගාව ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අනෙක හන්තානෙ සිද්ධිය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයගෙ දුව තමයි ඒකට සම්බන්ධ වෙලා තියෙන්නෙ. එතැන ගස් කැපිල්ලක් නෙමෙයි, වගා කරන්න සුද්ධ කිරීමක් කරලා තියෙනවා. ඒත් ඒක තියෙන ස්ථානයත් එක්ක අවසර ගන්න ඕනෙ. එහෙම කරලා නෑ. ඒ නිසා ඒකටත් නඩු දාලා තියෙන්නෙ.

එතකොට ඔය කියන සිද්ධි හැර අනෙක් ඔක්කොම බොරු ද, ඔක්කොම මවපුව ද ?

තව කිරින්දෙ රජයේ ඉඩමක් ඩෝසර් දාලා සුද්ධ කරලා තියෙනවා. ඒකට සම්බන්ධ පුද්ගලයො අත්අඩංගුවට අරන්, රිමාන්ඩ් කරලා තියෙනවා. ඒක සමාජ මාධ්‍යවල දාලා තිබුණෙ තිස්සමහාරාමෙ කඩොලාන සුද්ධ කළා කියලා. එහෙම එකක් නෙමෙයි ඇත්තටම එතැන වෙලා තියෙන්නෙ. තව තණමල්විල, ගෝනගම අක්කර හතළිහක් සුද්ධ කළා කියලා දාලා තිබුණා. ඒවා පෞද්ගලික ඉඩම්. දේවාල ඉඩමක්. මං ඒ ගැන හොයලා බැලුවා. එතැන අලි වැටකට හානියක් වෙලා තියෙනවා. ඒක ඇත්ත.

පරිසර ඇමැතිවරයා විදිහට රට වටේම ගස් කපන ඒවා හොයන්න ගියොත් වෙන වැඩක් කරගන්න වෙන්නෙ නෑ නේද ?

මං නිලධාරීන්ගෙන් වාර්තා ගන්නවා. ඩබල් චෙක් කරනවා. පොලිසියෙන් වගේම පරිසර නිලධාරීන්ගෙනුත් වාර්තා ගන්නවා. මං දැනගෙන ඉන්න එපැයි ඕවා ගැන. මාධ්‍යවලින් වුණත් අහන්නෙ මගෙන්නෙ.

මේ තරම් අසත්‍ය ප්‍රචාර කරනව නම්, ඇයි ඒ පිරිසට විරුද්ධව නීතිමය පියවර නොගන්නෙ, මේ කරන්නෙ රජය අපහසුතාවට පත්කිරීමක් නේද?

නෑ. එහෙම අවශ්‍ය නෑනෙ. ඕවා වැඩියෙන්ම යන්නෙ සමාජ මාධ්‍ය ජාලාවලනෙ. ඒවගෙ තව ඔයිට වඩා බොරු දාන්නෙ. ඕවා ඔක්කොම හොය-හොයා යන්න බෑනෙ.

ඒ වුණාට රජය අපහසුතාවට පත්කරනවා කියලා සාමාන්‍ය මිනිස්සු අත්අඩංගුවට ගත්ත ආණ්ඩුවක් ඔබතුමන්ලා. උදාහරණයක් විදිහට කොවිඩ් වසංගතය කාලෙ ඒ වගේ දාහතක් එකදිගට අත්අඩංගුවට ගත්තා?

ඒ කාලෙ වෙනයි. ඒක වසංගත තත්ත්වයක්. සංවේදී තත්ත්වයක්. ඒ විදිහට මේවා පස්සෙ යන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.

සමාජ මාධ්‍යවල විතරක් නෙමෙයි, මාධ්‍ය සාකච්ඡා තියලත් පරිසර සංවිධාන මේ විනාශයන් ගැන ඡායාරූප සහිතව හෙළිදරව් කළා ?

මාධ්‍ය සාකච්ඡා තිය-තියා ඕවා කියන්නෙ සජිත් ප්‍රේමදාසලගෙ පැත්තෙන්නෙ. මං ප්‍රසිද්ධියෙ කියලා තියෙන්නෙ ඔය විනාශයන් ගැන ඔප්පු කරන්න විවාදෙකට එන්න කියලා. ඇත්තටම පරිසර හානි වැඩියෙන්ම කළේ සජිත් ප්‍රේමදාසලනෙ. ඒ ගොල්ලොන්ගෙ කාලෙ නෙ.

ඒක ඔබතුමන්ලගෙ ආණ්ඩු-විපක්ෂ ප්‍රශ්නයක්. පොළොවෙ ප්‍රශ්නෙ ඊට වෙනස්. මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම විධිමත්ව නොකරන්නෙ ඇයි ?

ඒ චෝදනාව දිගටම තියෙන එකක්. ඒ ගැන අපි සම්පූර්ණයෙන්ම වාර්තාවක් කැඳවලා තියෙන්නෙ. මේ වාර්තා සකස් කිරීම විධිමත්ව කෙරෙනවද, නැද්ද කියලා අපි හොයනවා. ඒවගෙ අඩුපාඩු තියෙනව නම් ඒවා සකස් කරන්න මම පෞද්ගලිකවම මැදිහත් වෙනවා

ඒ කියන්නෙ ඔබ පිළිගන්නවා, එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ?

ඔව්. ඒ වැඩවල යම් අඩුපාඩු තියෙනවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. පනත පවා සංශෝධනය කරන්න අපි කඩිනමින් කටයුතු කරනවා. ඊට අදාළ සංශෝධන සහිත කෙටුම්පතක කොටසක් පවා ඉතාම ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම් කරනවා.

ඒ සංශෝධන ගැන තව ටිකක් පැහැදිලි කරමුද ?

ඒක පනතින්මනෙ කරන්නෙ. සමහර දඩ පවා වෙනස් කරන්න ඕනෙ. අවුරුදු තිහකට කලින් තිබුණු දඩ මුදල් අදට ගැළපෙන්නෙ නෑ. අද බලන කොට ඒවා සුළු මුදල්. දඩය ගෙවලා ඇවිත් ආපහු ඒ වරදම කරනවා. ඒක ගෙව්වා කියලා දැනෙන්නෙ නෑ.

එක උදාහරණයක් ගමු. සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිත ලංකාගම හරහා දෙනියාය – නෙළුව මාර්ගය පුළුල් කිරීමට අදාළව පරිසර තක්සේරු වාර්තාවක් හදලා නෑ. ඇයි ඒ ?

එතැන පරිසර වාර්තාවක් අරගෙන නෑ. ඒක ඇත්ත. මමත්, ජනාධිපතිතුමත් එක්ක ඒ පාර බලන්න ගියා. හමුදාවනෙ ඒ පාර හදන්නෙ. ඒගොල්ලො ඒක ගැන වැඩියෙන් බලලා නෑ. අපිට හමුදාවට දැන් නඩු දාන්න බෑනෙ.

වරදක් කරලා නම් ඇයි නඩු දාන්න බැරි?

බැරිකමක් නෑ. කොහොම වුණත් එතැන ඒගොල්ලොන්ගෙ අතින් අඩුපාඩුවක් වෙලා තියෙනවා.

එතැනම එහා පැත්තෙ ගිං-නිල්වලා ව්‍යාපෘතියට අදාළ කටයුතු සිදුවෙනවා. ඉඩම් ලකුණු කරනවා. එතැනත් පරිසර ඇගයීම් වාර්තා නෑ ?

නෑ. ඒ ව්‍යාපෘතියට අදාළ කටයුතු තවම සිදුවෙන්නෙ නෑ. ඒක පටන්ගන්න කලින් සම්පූර්ණ පරිසර වාර්තාවක් සකස් කරන්න ඕනෙ.

ව්‍යාපෘතියෙ කටයුතු පටන් අරන් තියෙන්නෙ. ඉඩම් සලකුණු කරලත් ඉවරයි ?

සලකුණු කරලා ඇති. ඒත් ව්‍යාපෘතිය පටන් අරගෙන නෑනෙ තවම. ඒකට සල්ලි වෙන්කරලත් නෑ තාම. ඒක නිසා පරිසර වාර්තාවක් නැතුව අපි ඒක කරන්නෙ නෑ.

ඔබේ දිස්ත්‍රික්කයෙ ලුණුගම්වෙහෙරත් රජයේ කැලෑ කපනවා. ආපහු මුල ප්‍රශ්නෙට තමයි යන්න වෙන්නෙ, ඔක්ෂිජන් ඕනෙම නැද්ද…?

මෙහෙමයි. ඔය හැමෝම කරන චෝදනාවලට එකින්-එක උත්තර දෙන්න බෑ. දවස් කීපෙකට කලින් මම නීතිඥ ජගත් ගුණවර්ධන මහත්තයා ඇතුළු පිළිගත් පරිසරවේදීන් පිරිසක් මුණගැහුණා. මම ඒගොල්ලොන්ට කිව්වා, අපිට වාර්තා වෙලා තියෙන, අපි දැනුවත් වෙලා තියෙන පරිසර විනාශ කිරීම් මෙන්න මේවා. මේවට අමතරව තව මොනවද තියෙන්නෙ කියලා. එතුමන්ලා වෙන ඒවා ගැන කිව්වෙ නෑ. මම කියපු දේ පිළිගත්තා. කවුරුහරි දෙන්නෙක්-තුන්දෙනෙක් එකතු වෙලා පරිසර සංවිධානයක් හදාගෙන, මෙතැන කැලේ කපනවා, අතැන කැලේ කපනවා කියන්න පුළුවන්. ඒත් ඒ තොරතුරු විධිමත්ව ඉදිරිපත් කරන්න ඕනෙ.

රජයේ කැලෑ තනි කැමැත්තට ව්‍යාපෘතිවලට පැවරීමේ අවස්ථාව අහුරලා තිබුණු 05/2001 චක්‍රලේඛය අහෝසි කරන්න ආණ්ඩුව සැලසුම් සකස් කරලා තියෙනවා. ඒකෙ තත්ත්වය කොහොමද ?

ඔතැනදි අදාළ වෙන්නෙ මිනිස්සු වගා කරපු ඉඩම්. හේන් කරපු ඉඩම්. ඒවට අදාළ බලය දිසාපතිවරයට පවරන්න සාකච්ඡා කෙරෙනවා. මිනිස්සුන්ට ඔප්පු දෙන්නයි ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නෙ. මේවා රජයේ කැලෑ නෙමෙයි. දිසාපතිට තමයි මේ බලය මුලිනුත් තිබුණෙ.

ඒත් දිසාපති වෙනුවට වනජීවී, පරිසර ඇතුළු සියලු නිලධාරීන් සහිත කමිටුවකින් මේ වැඩේ වෙන එක වඩා සාධාරණයිනෙ….?

ඒකට අදාළ අවසාන තීරණයක් තවම අරගෙන නෑ. අපි තවම ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. ජනාධිපතිතුමා ජනතාව හමුවෙන කොට, ජනතාවගෙ පැත්තෙන් තියෙන ප්‍රධානම ඉල්ලීමක් තමයි තමන් ඉන්න ඉඩමට ඔප්පුවක් දෙන්න කියන එක. ඒ ගැන අපි සලකා බලමින් ඉන්නෙ. ජනතාවගෙ පැත්තෙන් සාධාරණව හිතන්නත් ඕනෙ. රටේ සම්පත් ආරක්ෂා කරන්නත් ඕනෙ.

ඇත්තටම මේ වගේ කාරණා ගැන ගැඹුරට කතා කරන්න බැරි වෙලා තියෙන්නෙ මේ ඇමැති ධුරවලට අදාළ විෂයයන් බෙදීමේ ප්‍රශ්නයක් තියෙන හින්දා නේද, ඔබට අදාළ විෂයයන් වෙනත් තැන්වල, ඔබ ඒවා ගැන දන්නෙ නෑ…?

ඒ වගේ ගැටළු තියෙනවා. හැමදාම ඕවා තිබුණනෙ. කොහොම වුණත් තමන්ගේ උපරිමයෙන් තමන්ට පැවරුණු වගකීම ඉෂ්ඨ කිරීමනෙ වෙන්න ඕනේ.

එම මාර්ගයේ ඡායාරූප පහත දැක්වෙයි…

Previous articleකෝප් කමිටුවේ දොර මාධ්‍යයට වැහෙයි
Next articleයාපනය විශ්වවිද්‍යාල සිසුන් සමග පොලිසිය ගැටෙයි : හමුදාවත් කැඳවයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here