මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

(ශාලික විමලසේන)

අවුරුදු දෙදහස් පන්සීයක ඉතිහාසයක් පිළිබඳව කතා කළද, දැවැන්ත මිනිස්සු ගොඩ නැගිය හැකි ගැඹුරු මුල් නොමැති වීම නිසා ජාතිවාදය වැනි ලාබ-සිල්ලර දේවල් පිටුපස දුවන ජනතාවක් මෙරට බිහි වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ අවධාරණය කරති.

එසේ වුවද සිංහල-දෙමළ වෙනසකින් තොරව, සියලු මිනිසුන් එක සමාන ප්‍රශ්නවලින් පීඩා විඳින බව උන් වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙයි.

වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ ධුරය ද දරන උන් වහන්සේ සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.

සිංහල ජාතිවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. දෙමළ ජාතිවාදය තවත් පැත්තකින් ඒ වැඩේම කරනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා විතරයි. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද?

දෙමළ ද සිංහල ද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත් වල සිංහල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදනවලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හොඳ පාසල් නෑ. තියෙන පාසල්වලට හොඳ ගුරුවරු නෑ. තරුණයන්ට රැකියා නෑ. ඔය වගේ ප්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩා විඳිනවා.

ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ දෙමළ මනුස්සය ම අත්විඳලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. ඒ කියන්නෙ ඇත්තටම මිනිස්සුන්ට තියෙන්නෙ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇඟට දැනෙන ප්‍රශ්න වෙනස්. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒ ගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන්වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.

හාමුදුරුවනේ, යුද්ධයට සෘජු ව සහ වක්‍ර ව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණය මිනිස්සු පොළඹවාගන්න ලේසිවෙන්න බලපානවා කියලා ඔබ වහන්සේ හිතනවද ?

අර මම මුලින් කියපු ප්‍රශ්න එහෙම ම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත් කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්ත ම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණේ නෑ. දකුණ මේ ජයග්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ. මේක බරපතළ කාරණයක්. එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යතාර්ථ දෙකක. ඒ නිසා ඔය ජාතිවාදය කියන්නෙ අලුතින් පටන් ගත්ත එකක් නෙමෙයි. අර සකස් කරපු පාරෙ ම දිගුවක්.

අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටළුව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නේ?

මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්. ඒක තමයි අවශ්‍ය වෙන්නෙ.

අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්, වැඩි වගකීමක් තියෙනවා?

ඇත්තටම ඔව්. මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට ප්‍රේම කිරීම ගැන කතා කරනවා. ඒ කියන්නෙ අනෙක් සියලු දෙනා ගැන කතා කරනවා. එතැනින් අපිට හොඳ ආරම්භයක් ගන්න පුළුවන්. දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට බලය ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා එකිනෙකට ඇවිළවීමෙන්.

ඒත් අපේ හාමුදුරුවනේ, අපි කොයිතරම් කතා කළත් ආගමික නායකයන් විසින්ම තමයි, මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ, ඒක හැම ආගමකටම පොදුයි?

ඒක තමයි තියෙන බරපතලම ගැටළුව. බුදු දහම ගන්න. බුදු දහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේගවලට මුහුණට මුහුණ මුණ ගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ මොහොතේ මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණාවලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ කළ යුතු ම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා, සාධනීය අදහස් වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ, එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ. ඇත්තටම සංහිඳියාව කියන වචනය මේ වැඬේදි පාවිච්චි කරන්න මම එච්චර කැමැති නෑ. මම කැමැති සුවපත් වීම කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ සුවපත් වේවා කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයි නෙ.
ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන් ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත්‍රයෙ යන්තං සන්තං පදං කියන්නෙ ශාන්ත පදය කියන එක. මෙතැන තියෙන්නෙ සුවපත් වීමේ ප්‍රමාණය මත ප්‍රශ්නයක්. එක එක්කෙනාගෙ තුවාල වල ප්‍රමාණය වෙනස්. ඒ වගේ ම සුවපත් වීමේ ප්‍රමාණයත් වෙනස්. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතල ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඞ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.

හැබැයි හාමුදුරුවනේ, මේ තුවාල වල ප්‍රමාණය අඩු තරුණ පරම්පරාවක් අද ඉන්නවා නේද?

ඔව්. ඒ පිරිසට ප්‍රමාණාත්මක ව ගත්තහම තියෙන තුවාල පමාණය අඩු වෙන්න පුළුවන්. ඒ අයගෙන් වඩා වැඩි යමක් ගන්න පුළුවන්. ඔවුන්ව එතැන්ට යොමු කරන්න ඕනෙ. ඒ අවශ්‍යතාව හදන්න ඕනෙ.

ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරනවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප්‍රජාවේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්, ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා ?

ඇත්තටම අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒක ම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරි ම භයානකයි. ඒවා මමත් හරි ම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහඬයි. ඒ අය තමන්ට කරන්න පුළුවන් කාර්යභාරය නොකළා කියලා චෝදනා කරන්න පුළුවන්. ඒත් අපි තේරුම් ගන්න ඕනෙ, ඒගොල්ලොත් මුලින් කියපු රෝගීන් ගොඬේමයි ඉන්නෙ. ඒ අයටත් ප්‍රමාණාත්මක ව වෙනස් තුවාල සිදු වෙලා තියෙනවා. ඒ අයත් ප්‍රතිචාර දක්වන්නෙ ඒ අනුව. ඒ නිසා ඒ අයට චෝදනා නොකර ඒ අයගෙ වගකීම පිළිබඳ හැඟීමක් ඇති කරවන්න පුළුවන් නම් වඩා වැදගත්.මෙතැනදි ඇත්තටම අපි කරන්න ඕනෙ කාටවත් චෝදනා කරන එක නෙමෙයි. අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉඳලා වෙච්ච දේවල් බලන්න.

විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාල වල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් ඒවා නෑ. සංවාදවලට සහභාගි වෙන්න අය නෑ. ඒක ඉවරෙටම ඉවරයි. මේ තත්ත්වයන් නිසා විශ්වවිද්‍යාල සිසුනුත් හිරි වැටිලා ඉන්නෙ. සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත් කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැමකෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාරයභාරයක් තියෙනවා.

හාමුදුරුවනේ, අපි පාසල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී අදහස් දානවා. පාසලෙන් එළියට එන්නෙ ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නේද?

අධ්‍යාපන ක්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුම නෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බඳුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බඳුනක් බවට පත් වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි.එක්දාස් නවසිය හතළිස් අටේ ඉඳලා දෙදාස් දා හතර වෙනකම් කාලය ගත්තහම එක දිගට මුළු කාලය ගැටුම් අවස්ථා ගණනින් බෙදුවොත් අපි සාමකාමී ව ඉන්න මුළු කාලය අවුරුදු හතකට අඩුයි. එක කාලයක මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් වෙනවා. ආපහු මොකුත් නැතුව නිහඬ ව යනවා. ඒවායින් මිනිස් මනසට විශාල වශයෙන් හානි වෙනවා. තුවාල වෙනවා. නැවත නැවත ලේ වැගිරෙන සමාජයක තත්ත්වය බරපතලයි.

හැත්තෑ එකේ ලේ වැගිරීම් දැකපු නැති කෙනෙක්ට ඒ හානිය මව්පියන් හරහා එන්න පුළුවන්. කියවන ලිපියක් හරහා එන්න පුළුවන්. අසල්වැසියන්ගේ අත්දැකීම් එක්ක එන්න පුළුවන්. ඒකයි මං කියන්නේ මේක ඉතා ම අපිරිසිදු ජල බඳුනක් කියලා. එහෙම ගත්තහම මේක කොතැනින් පටන් ගන්නද කියන ප්‍රශ්නය එනවා. ඒත් මේක කොහොම හරි කළ යුතුයි. අත්නොහැර මේකට පිරිසිදු ජලය එකතු කළ යුතුයි. නිදහස ලබන කොට ආසියාකරයේ දියුණු තම රාජ්‍යය බවට පත්වීමේ විභවය තිබුණු රට මෙතැන්ට ආවෙ ඇයි කියන කාරණය ගත්තහම ඒකට අරයට මෙයාට ඇඟිල්ල දික් කරලා තේරුමක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳගන්න ඕනෙ. පිටතින් එන කවුරුත් මේක විසඳන්නෙ නෑ. විශේෂයෙන් ම මෙතැනදි මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආගමික පූජකවරුන්ගේ භූමිකාවට වඩා වැදගත්. අවුලක් ඇති කරන්න ම වැඩ කරන සමහර චැනල් තියෙනවා. හැබැයි ඒ අයත් අර විදියට ම තුවාල ලත් අය. ඒකත් මතක තබා ගත යුතුයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here