ජර්නලිසම් කියන්නෙ හැඟීම් ලියන එක නෙමෙයි-මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද?

කේස් එක මේකයි. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙම පිස්සො තමයි ඔය පක්ෂවල ලොක්කො වෙලා ඉන්නෙ. දැන් දේශපාලනේ කියන්නේ රියැලිටි ෂෝ එකක්. තමන් මාර පොරවල් කියාගත්ත උං ලොකු පුටුවලට ඇවිල්ලා දිනපතා සංදර්ශන පවත්වනවා.

අපි මේ කතාකරන 2020 ඔක්තෝබර් මාසය කියන්නේ ‘අම්මට සිරි’ කියල හිතෙන කාලයක්. නිකමට හිතල බලන්නකො. ගෝලීය මට්ටමෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරණයක් වෙනුවෙන් දාන්න පුළුවන් හැම සංදර්ශනයක්ම දානවා. මිනිහා ඒ රටේ කොවිඞ් ප්‍රශ්නෙ ගැන, ගෝලීය දේශගුණ අර්බුදය ගැන, නැගී එන ජාතිවාදය ගැන, ලෝක සාමය ගැන කතා කරන්න කිසිම ප්‍රතිපත්ති සීන් එකක් දන්නේ නෑ. ඒත් ජනාධිපතිවරණ වේදිකාවේ සංදර්ශන සපයමින් ඉන්නවා.

ලංකාවෙත් එහෙමයි. ආණ්ඩුවෙයි, විපක්ෂෙයි හැමෝම දඟලන්නෙ සංදර්ශන දාන්න. විසි වන සංශෝධන විවාදය ගැන සලකන්න. තමන්ගෙ කතාවට අවධානය ගන්න හිතාගෙන එක විපක්ෂෙ මන්ත්‍රී කෙනෙක් ‘කළු ජාතික’ සම අපහාසයට ලක් කරන ජාතියේ වෙස් මූණක් දාගෙන ඇවිත් තිබුණා. විපක්ෂෙයි, ආණ්ඩුවෙයි දෙකේම ගොඩක් අය සංදර්ශන පවත්වනවා මිසක් ලංකාවෙ අනාගතය ගැන ප්‍රතිපත්තිමය කතාවක් කියන්නෙ නැති තරම්.

දේශපාලනය ජෝක් වෙන අස්සෙ ජාතිවාදය සහ අන්තවාදය පැතිරෙනවා. ඔය කලින් කිව්ව දෙපැත්තෙම දේශපාලනඥයෝ තමන්ට අවස්ථාවක් ලැබුණ ගමන් ජාතිවාදය පතුරුවලා හරි බලය හොයනවා. මිනිසුන් අතර සමගිය නැති වෙනවා. යුද්ධ ගැන අවදානම, දේශගුණ අර්බුදය වැඩි වීමේ අවදානම තියෙනවා. මේ රට, මේ ලෝකය කොහේටද මේ යන්නෙ කියලා මිනිසුන්ට හිතෙනවා. මොළයක් තියෙන මිනිසුන්ගේ හිත්වල යහපත් හෙටක් ගැන බලාපොරොත්තුව නැතිවෙලා යනවා. ඒ නිසා දැන් අපේ වගකීම තමයි ඇත්ත හෙළි කරන අතරේම යහපත් හෙටක් ගැන බලාපොරොත්තු මේ සමාජයේ දල්වන එක. සමහරවිට මේ යුගයේ දේශපාලන පක්ෂ ඉටු නොකරන, එයාලගෙ වගකීම් පවා ජනමාධ්‍යවලට ඉටු කරන්න සිද්ධවෙනවා.

ඔය කියාගෙන ආ කතාව ටිකකට නවත්තන්නං. වෙන දෙයක් කියන්න ඕනෑ.

හැම යුගයකම වෘත්තිය ජනමාධ්‍යවේදියාගේ වගකීම එකක්. ඒ තමයි ඇත්ත කියන එක. මිනිසුන්ගේ ඇත්ත දැනගැනීමේ අයිතිය, ආචාරධාර්මිකව සපුරන එක. මීඩියාවලට එන ඕනෑ කෙනෙකුට ඉක්මනින් තේරෙන දේවල් දෙකක් තියෙනවා. අපිට සමාජය ඉක්මනින් බියවද්දන්න පුළුවන්. බිය ඇවිස්සෙන සිරස්තලයක් දැක්කොත් ඉක්මනින් මිනිහෙක් පත්තරේ අරං බලනවා. බිය ඇවිස්සෙන තම්බ්නේල් එකක් දැක්කොත් ඉක්මනින් වීඩියෝව ක්ලික් කරලා බලනවා. අහවල් දවසෙ උල්කාවක් ඇවිත් වැටෙනවා, අහවල් දවසෙ බෝම්බයක් පුපුරනවා, අහවල් ජාතියට අයිති උං අපේ ජාතිය වඳ කරනවා, අහවල් ජාතියට අයිති දොස්තර මහත්තයෙක් අපේ අම්මලා හාරදාහක් දැනටත් වඳ කරලා කියලා දාපු ගමං මිනිස්සු ගන්නවා. දෙවැනි එක කුතුහලය. සමහරවිට අනුන්ගේ කුණු සෙවීමේ උවමනාව. අඟහරුවලින් ගඩොල් හම්බවෙලා කිව්ව ගමං මිනිස්සු ටක් ගාලා බලනවනෙ.

මිනිස්සු ඕවා ගැන උනන්දුයි කියලා දන්න නිසා, අපේ යටි හිත නිතර කියන්නේ අපි දන්න ඇත්තක් වුණත් චුට්ටක් එහෙ-මෙහෙ කළොත් අපේ ප්‍රවෘත්තිය, ලිපිය, වීඩියෝව විකුණාගන්න පුළුවන් කියලයි. අන්න ඒ හැඟීම්වලින් ගැලවිලා, ආචාරධර්ම රැකගෙන පුවත් සමාජගත කරන එක තමයි වැඩේ.

තව අතුරු කරුණක් තමයි, හැඟීම් ලියන එක ජර්නලිසම් නෙවෙයි කියන එක. ඔය ලංකා වගේ පත්තරවල පවා වැඩිපුර තියෙන්නෙ හැඟීම්බර ටෝක් විතරයි. තුන්වැනි පිටුවෙන් බාගයක් පිරෙන්න ලියනවා, හිත කිතිකවන කතාවක්. ඒත් කරුණු සහ තොරතුරු නැති හිස් හැඟීම් එක්ක මීඩියා කරලා වැඩක් නෑ.

මං මුලින් කියාගෙන ආපු කතාවට ආපහු බහින්නං.

ඇත්ත කියනවට අමතරව මේ දවස්වල අපට කරන්න වෙලා තියෙනවා තව වැදගත් දෙයක්. ඒක තමයි මම කලින් විස්තර කරගෙන ආවෙ. අපේ සමාජයේ බලාපොරොත්තුව රැකගන්න එක. සමාජයට අනාගතය ගැන බලාපොරොත්තු දෙන එක. ඇත්තටම ඒ වැඩ කරන්න ඕනෑ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ, දේශපාලන නායකයන් හා විවිධ සිවිල් සංවිධානවල නායකයන්. ඔවුන් නොකරන දේ තමයි අපි කරන්න ඕනෑ.

ජන මතයට තීරණාත්මක ලෙස සමාජ මාධ්‍ය බලපෑම් කරන යුගයක් මේක. මීට දශකයකට එහා සමාජය ජනමාධ්‍යවේදියාගෙන් බලාපොරොත්තු වුණු දේ, අදටත් බලාපොරොත්තු වෙනවද?

හහ්… පිස්සු හැදෙයි. ඔන්න 2015 ජනාධිපතිවරණයෙන් පස්සෙ ලොකු සමාජ මාධ්‍ය ‘ඉන්ෆ්ලුවන්සර්’ කෙනෙක් වන මිත්‍රයෙක් මා එක්ක විවාදෙක පැටළුණා. මිනිහා අපේ පත්තර හෑල්ලුවට ලක් කළා. ‘ඔහේලා මොනවද කළේ, ඔහේලගෙ පත්තර කවුරුත් කියෙව්වෙ නෑ.’ ඔන්න ඔය විදියට සමාජ මාධ්‍යකාරයා අපි කරන ප්‍රොෆෙෂනල් ජර්නලිසම් වැඩේ හෑල්ලුවට ලක් කළා. ‘අපි තමයි ආණ්ඩුවට ගැහුවෙ, අපි තමයි ආණ්ඩුවට විරුද්ධ මතයක් හැදුවෙ. අපි තමයි ලිව්වෙ. අපි නිසයි ආණ්ඩුව පෙරලුණේ.’බ්ලා.. බ්ලා… බ්ලා… කතා ටිකක් මිනිහා කිව්වා. අපේ ෆේස්බුක් අයියලාගේ ඇරගන්ස් එක දන්නවානෙ. මම එක හරස් ප්‍රශ්නයක් ඇහුවා.

‘ඔයාලා රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ෆේස්බුක් එකේ ලිව්ව කරුණු මොනවද, ඒවා හොයාගත්තෙ කවුද? ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය, රාජපක්ෂලාගෙ සමාගම්, දූෂණ වංචා, වැලිකඩ ඝාතන ගැන සැකය මුලින් ලිව්වෙ කවුද?’.

සමාජ මාධ්‍යවල ඉන්න අය පැය ගාණක් තිස්සෙ පිටු දාහක විගණකාධිපති රිපෝට් එකක් බල-බලා ඒකෙ තියෙන පුංචි කාරණයක් මතු කරගැනීම වෙනුවෙන් ඔළුව පිස්සු වට්ටවගන්නෙ නෑ. සමාජ මාධ්‍යවල ඉන්න අය පානම ඉඩම් ප්‍රශ්නෙ ගැන හොයන්න වියදං කරගෙන එහෙ ගිහින් මිනිසුන්ගෙ කමෙන්ට් ගන්නෙ නෑ. පිටු හය- හත්දාහක් වන වෝහාරික වාර්තා මාලාව ආපු දවස්වල මට පිස්සු නොහැදුණු ටික විතරයි. සමහර කාරණයක් කන්ෆර්ම් කරගන්න විතරක් අපි පැය ගණං රස්තියාදු වෙනවා. ඒ ඔක්කොම ඉවරවෙලා අපි වචන අටසීයක ලිපියක් ලිව්වම, ඒක සුටුස් ගාලා ෆේස්බුක් පෝස්ට් එකකට හරවනවා අපේ සෝෂල් මීඩියා ‘ඉන්ෆ්ලුවන්සර්’ මහත්තුරු සහ නෝනලා. ඔවුන් කරන වැඩේ මං හෑල්ලු කරනවා නෙවෙයි. ඇත්තටම අපි කරන වැඩේ සමාජගත කරන කාර්යභාරය බොහෝදුරට ඔවුන් කරනවා. ඒ ගැන ඔවුන් නැවත නැවතත් සාකච්ඡා කරනවා. ඒත් වෘත්තිමය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය අදටත් වෙනසක් නෑ. ඔය ඉන්ෆ්ලුවන්සර්ලා ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කරන්නෙ නෑනෙ.

මම කලින් විස්තර කළා ජර්නලිසම් කියන්නෙ හැඟීම් ලියන එක නෙමෙයි කියලා. ලංකා පත්තරේ උදාහරණෙටත් ගත්තනෙ. ඒක සමාජ මාධ්‍ය සහ වෘත්තිමය මාධ්‍ය අතර ඉර විදියට ඇඳලා කියන්න පුළුවන්. ඉස්සර ඇත්ත පත්තරේ මාර සටන්කාමී හෙඩිමක් දැක්කම මිනිස්සු ආතල් එකට ඒක ගත්තා. පරණ රාවය පත්තරවල පවා කරුණු සහිත ජර්නලිසම් නෙවෙයි තිබුණෙ. ‘මස් ලේ ඇට ඕනෑ කර තිබේ’ කියලනෙ පළවැනි රාවයේ හෙඩිමත් තිබුණෙ. ඒවා කාව්‍යමය වැඩ. අද ජර්නලිසම්වල තියෙන්න ඕනෑ කරුණු, දත්ත, තොරතුරු. අර හැඟීම්බර කතාවලට දැන් සමාජ මාධ්‍ය තියෙනවා. හැඟීම්බර පෝස්ට් එකක් දැම්මොත් හාට් දෙතුන්සීයක් ගන්න පුළුවන්. ‘ප්‍රේමදාස අපි සූදානම්’, ‘පුළුවන් නම් කා පාන්’ වගේ ඒ කාලයේ ඓතිහාසික හෙඩිම් විදියට සලකපු හෙඩිම් දාලා වෙඩි වගේ වචන ලියලා තමන් මාර වැඩක් කළා කියලා කියන එක නෙවෙයි ජර්නලිසම්. ඒවා කියවලා කට්ටියකට ආතල් ගන්න පුළුවන්. ඒත් වෙනසක් සිද්ධවෙන්නෙ නෑ. කියවන උංට ආතල් එක විතරයි.

ඔබ කියන වගකීම ඉටුකරන්න, විශ්වාසය ගොඩනගන්න අපේ රටේ මාධ්‍ය කර්මාන්තය ඇතුළෙ තියෙන බාධක මොනවාද?

කර්මාන්තෙ තමයි ඉතිං බාධකේ. ඒ කර්මාන්තෙ සමහර ලොක්කො පාර්ලිමේන්තුවෙ. තව ලොක්කන්ගෙ පවුලෙ සාමාජිකයන් වූ මිනීමරුවන්ට ජනාධිපති සමාව ගන්ඩ ඕනෑ. තව සමහර ලොක්කො, රටේ ලොක්කො එක්ක එකටම ඉන්න යාළුවො. ඒවා අස්සෙ වැඩක් කරන්න අවුලක් තියෙනවා. ඒත් ඕක හැම එකාම දන්නවනෙ. විස්තර කරල වැඩක් නෑ.

මං වෙන බාධකයක් ගැන කියන්නං.

ඒ තමයි අපේ අවුල. ඔය කලින් කිව්ව හැම ජාතියෙම ලොක්කන්ගෙ ආයතනවල අපේ යාළුවො ඉන්නවනෙ. මං ලියන එව්ව දාන්නෑ කියල අඬනවා හැර ඒ සමහර උං මොනවත් කරන්න ට්‍රයි කරල නෑ. නරක එකාලගෙ හිංසනයට වඩා, හොඳ එකාලගෙ නිහඬතාව නිසා තමයි සමාජයට හෙණ ගහන්නෙ කියල මාටිං ලූතර් කිං කිව්වනෙ. බොරුවට අඬ-අඬා, තමන්ට පාරක් හොයාගන්න උත්සාහ නොකරන අදහසක් තියෙන අය තමයි ලොකුම බාධකේ. නෑ.. බෑ… අවස්ථා නෑ… කියල අඬන උං ඔහේ වයසට ගිහිං, අර කර්මාන්තෙ තවත් එක දැති රෝදයක් හෝ ගඩොලක් වෙලා මැරිලා යයි. මම නං හෘදය සාක්ෂියට එකඟව වැඩ කරනවා. ඒත් මං  දවසක්වත් හාමතේ ඉඳල නෑ. දෙයියනේ කියල පොඩි ගෙවල් කෑල්ලක් කුලියට අරං, වාහන කට්ටකුත් ගෙවන්න අරං මං ජීවිතේ ගැටගහගන්නවා. වැඩක් කරනවා කියලා හිතේ හෑල්ලුවත් තියෙනවා.

ඒ අතරෙ මං කලින් ඉඳන් විස්තර කරගෙන ආපු හැඟීම් ලියන හැඟීම්බර පොරවල්වලට ජර්නලිසම් කරන්න බැරිවීමේ අවුලත් තියෙනවා. විශේෂයෙන් තරුණයන්ට විනයක් නෑ. මහන්සි වෙලා යම් කරුණක ඇත්ත- නැත්ත හොයාගෙන ගැඹුරට යන්න බෑ. කන්ටැක්ට්ස් එක්ක සම්බන්ධතා පවත්වන්න බෑ. අඩු තරමෙ තොරතුරු පනත වගේ ඒවා පාවිච්චි කළෙත් නෑනෙ. ඒ වෙනුවට මොකක්හරි සිද්ධියක් ගැන දැනටත් තියෙන කරුණු ටිකක් එහෙට-මෙහෙට ගලපලා මොකක්හරි අටවලා දෙන්න තමයි බලන්නෙ. වැඩක් කරන්න, අලුත් දෙයක් සමාජගත කරන්න විනයක් අපේ අයට නෑ.

මාධ්‍යවේදීන්ට මේ ප්‍රධාන බාධකය සහ අනෙකුත් බාධක ජයග්‍රහණය කරමින් තමන්ගෙ වගකීම ඉටුකරන්න, මාධ්‍ය කර්මාන්තය ඉහළට ඔසවන්න ඔබ කරන යෝජනා මොනවද?

හොටු පෙර-පෙරා අඬන්නෙ නැතුව වැඩක් කරන්න බලපල්ලා. අඩු තරමෙ ඉන්න ගමං වෙබ්සයිට් එකක්, යූටියුබ් චැනල් එකක් හදාගනිල්ලා. එළියෙ තියෙනවා ස්වාධීන මාධ්‍ය ආයතන. විකල්ප පත්තර, විකල්ප මීඩියා තියෙනවා. ඒවට පලයල්ලා. හරි, ඒ ඔක්කොම කරන්න බැරි බව හිතමු. හැමෝටම වෙබ්සයිට් සීයක්-දෙසීයක් හදන්න බෑනෙ. එහෙනං ජර්නලිස්ට්ලගෙ වෘත්තීය සමිතියකට බැඳියල්ලා. ඒවගෙ ක්‍රියාකාරී වෙලා වෘත්තීයභාවය ශක්තිමත් කරන්න දායක වෙයල්ලා. ලොකු ආයතන ඇතුළෙ වුණත් යහපත් දෙයක් කරන්න පුළුවන්, හරි වෘත්තීය අරගලයකින්. 

හැබැයි ඔය එකක්වත් කරන්න බෑ එක දෙයක් අතෑරියෙ නැත්තං. ඒ තමයි කාලකණ්ණිකම. මම කලින් ඉඳලා විස්තර කරගෙන ආවෙත් ඒක. වෘත්තීයභාවයක් නැතිකමත් ප්‍රශ්නයක්. සුනිල් මාධව හොඳට බිව්වා කියලා අපි අහලා තියෙනවනෙ. ඇයි මතක නැද්ද, මාර ජර්නලිස්ට් කෙනෙක් වෙච්ච අමරබන්දු රූපසිංහගෙ බේබදුකම ගැන හිටපු ජනාධිපතිම කී කතාව. ඇත්තෙ හිටපු කර්තෘ බී.ඒ. සිරිවර්ධන හෙවත් ‘සිරා’ උදේට ගිහින් බොරැල්ලෙන් බීලා, දවල්ට ඇවිත් කතුවැකිය ලියපු කතා අපි අහල තියෙනවා. ඕකට කියන්නෙ කාලකණ්ණිකම කියලා. යාළුවො සෙට් වෙවී, බිබී, හැඟීම්බර කතා කිය-කියා, දැන්නං ෆේස්බුක් එකේ තමන්ගෙ නොහැකියාව ගැන පෝස්ට් ලිය-ලියා ජර්නලිසම් කරන්න බෑ. අද ඇත්ත පත්තරේ කොච්චර අමාරුවෙන්ද ගහන්නෙ, සුනිල් මාධව ගහපු පත්තර අද ඇත්තෙත් නෑ.

Previous articleකුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි
Next articleසම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here