කුඩු චෝදනා බොරු : කුඩුවලට එරෙහිව සටන් කරන්නේ හිරු විතරයි

අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා ඒසේ නැතිනම් අප කවුරුත් හොඳින් දන්නා ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනපතිට ලිපියක් යැවූ බව ඉරිදා පුවත්පතක් වාර්තා කර තිබිණි. ආර් දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් අවශ්‍ය නැත. කිසිම ඉල්ලීමක් නැතිව වුවද දුමින්ද සිල්වා මහතා නිදහස් කළ යුතුය.

දුමින්ද සිල්වා මහතා මිනීමරුවකු බවට මාධ්‍ය සහ ඇතැම් පුද්ගලයන් හංවඩු ගැසුවද දුමින්ද සිල්වා කිසිම පුද්ගලයකු ඝාතනය කර නැත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද නම් පුද්ගලයා සමඟ ආරවුලක දී දුමින්ද සිල්වාට මුලින්ම වෙඩි වැදී තිබුණු අතර පසුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට ද වෙඩි වැදී තිබිණි. වෙඩි වැදුණු භාරත මිය ගියත් හිරු නාලිකාව පොහොය දිනවලට කරන පින්කම්වල සහ ප්‍රදර්ශනය කරන ධාතූන්වහන්සේලාගේ බල මහිමයෙන් මෙන් දුමින්ද සිල්වා මහතා දිවි බේරා ගත්තේය.

හැමදාමත් ඇත්ත කතා කරන, රටේ තත්ත්වය ගැන ඇත්ත පමණක්ම හෙළි කරන, කිසිම දවසක ආණ්ඩුපක්ෂයට කඩේ නොයන, ජාතිවාදයට ඒරෙහිව නැගී සිටිනා හිරු ටීවී රූපවාහිනී නාලිකාව අයත් ඒ්බීසී මාධ්‍ය ජාලයේ ප්‍රධානී රෙනෝ සිල්වා මහතා දුමින්ද සිල්වාගේ සහෝදරයාය. රෙනෝ සිල්වා මහතා යනු සෑම පොහෝ දිනකම පන්සල්වලට ගොස් විවිධ ආකාරයෙන් උදව් උපකාර කරන පුණ්‍යවන්තයෙකි. වසරකට කිහිප වතාවක්ම ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනය කරන සහ ඊට දායක වන හොඳ මහත්මයෙකි. ඒ් මහතා කිසිම දිනෙක වැරදි වැඩක් නොකරන අතර ඔහුගේ සහෝදරයා වන ආර් දුමින්ද සිල්වා ද වැරදි වැඩ කරතියි සිතිය නොහැකිය.

දුමින්ද සිල්වා මහතා සහ රෙනෝ සිල්වා මහතා කුඩු ව්‍යාපාරය කරන බවට ඇතැම් පුද්ගලයන් විවිධ මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයන් ගෙන ගියද මේ දෙදෙනාම කුඩු ව්‍යාපරයට කිසිම සම්බන්ධයක් නැති බව මුලු රටම දනී. කුඩු මේ රටෙන් තුරන් කිරීමට හිරු මාධ්‍ය ආයතනය ලොකු වෙහෙසක් ගන්නේ එම පවුලම හෙරොයින්වලට දැඩි විරෝධයත් දක්වන නිසාය. කුඩු නිසා තරුණ පරපුරට වෙන හානිය ගැන මේ මහත්වරු හොඳින් දනිති. ඒ නිසා කිසිම දිනකට කුඩු ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව මේ මහත්වරුන් සහයෝගය දක්වන්නේ නැත.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වන වකවානුව වන විට ආර් දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ් වන විට ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු බවත් බොහෝ දෙනෙක් කියති. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඒ් වන විට නිකම්ම නිකං හිටපු මන්ත්‍රීවරයකු පමණි. මෙම සිද්ධිය සිදුවූ කොලොන්නාව ඡන්ද බල ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ සංවිධායක වරයා වූයේ ද ආර් දුමින්ද සිල්වා මහතාය. ඡන්දය දවසට ආයුධ ඇතිව හෝ නැතිව ඡන්ද මධ්‍යස්ථාන අසල සිටිය නොහැකි බවට පළාත් පාලන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ පනතේ කුමක් සඳහන් වුව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පමණක් නොවන ආසන සංවිධායක ද වූ දුමින්ද සිල්වා මහතාට එම නීති අදාල කිරීම බරපතල ප්‍රශ්නයකි. ඔහුට ඡන්ද මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීමට යාමේ අයිතිය තිබිය යුතුය. ඒ්  සඳහා කැමති පුද්ගලයකු අරගෙන යෑමේ අයිතිය තිබිය යුතුය. ඡන්ද මධ්‍යස්ථාන අසලදී කාටද ඡන්දය දුන්නේ කියා ඇසීමට එතුමාට අයිතියක් ඇත. එසේ කිරීම වැරදි බව සීඅයිඩිය  කීවද එය පිළිගත නොහැකිය. ඊට හේතුව දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ආසන සංවිධායකවරයකු ද වීම නිසාය. තමන්ට ඕනෑ විදියට ඕනෑ ආයුධයක් අරගෙන ඕනෑ තැනකට යාමට හැකියාවක් නැත්නම් ඔය මන්ත්‍රීකමින් පළක් නැත.

එසේම නිකම්ම නිකං හිටපු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන්ගෙන් වාහනය හරස් කර තම වාහනය නතර කර භාරතගෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ දුමින්ද සිල්වාට අයිතියක් ඇත. අවශ්‍ය නම් භාරතගේ කම්මුලට පහරක් ගැසීමට ද අයිතියක් ඇත. එසේ බැරිනම් ඒ් මන්ත්‍රීකමින් වැඩක් නැත. එසේ කළා යැයි කියා දුමින්දට වෙඩි තැබීමට හෝ දුමින්ද එසේ කිරීමෙන් වැලැක්වීමට භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂකයන්ට කිසිම අයිතියක් නැත. ඒ් දුමින්ද සිල්වා ආණ්ඩු පක්ෂයේ ආසන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසාය.  දුමින්ද මේවා කළායැයි අප කිසිසේත් කියන්නේ නැත.

දුමින්ද සිල්වා මහතා රෝහල් ගත වී සුවය ලැබූ පසු එම සිද්ධිය ‘මතක නෑ’ යැයි කී කතාව ෆේස්බුක් ඔස්සේ බොහෝ දෙනෙක් විවේචනය කළහ. එසේ කවුරුන් විවේචනය කළත් දුමින්ද සිල්වා කළේ බොරුවක් නොවේ. ඔහු කළේ ඇත්තකි. ඔහුට මේ සිද්ධිය අමතක වී යාම සාධාරණය. මොකද ඔහු ඒ් වන විට බීමතින් සිටි බව ඔහු නිදහස් කරන ලෙස අත්සන් තැබූ මනෝ ගනේශන් මහතාද නිවේදනයක් මගින් කියා ඇතැයි කියන නිසාය.

දුමින්දට පමණක් නොව දුමින්දගේ සහෝදරයා වන රෙනෝ සිල්වා මහතාට ද බොහෝ දෙනා චෝදනා කරති. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද රෙනෝ මහතාට කුඩු චෝදනාව කරති. එපමණක් නොව හිරු නාලිකාවට කුඩු නාලිකාව යැයි චෝදනා කරති. එය පට්ටපල් බොරුවකි. එම චෝදනාව කරන ඕනෑම අයකු පොහොය දිනක දී හිරු නාලිකාව බැලුවහොත් මේ මහත්වරුන් කරන පිංකම් දැක බලා ගත හැකිය. ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම වැනි උතුම් පිංකම් කරන මේ පිරිස කිසිම දිනක කුඩු බිස්නස් කරතියි සිතිය නොහැකිය. ඒය විය නොහැක්කකි. ඔවුන් තම නාලිකාව ඔස්සේ මෙම ජාවාරමට එරෙහිව කරගෙන යන වැඩ පිළිවෙළ අති මහත්ය.

අනිත් අතට හිරු නාලිකාව යනු ජාතියේ නාලිකාව වැනිය. පැත්ත ගියත් ඇත්ත කියන එකම නාලිකාවයි. කිසිම දිකන පක්ෂපාතීව ප්‍රවෘත්ති විකාශය කරන්නේ නැත. පවතින ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ වුවද අඩුපාඩු පෙන්වා දෙමින් තම මාධ්‍ය මෙහෙවර අකුරට ඉටු කරයි. රටේ නීතිය අකුරට රකී. උදාහරණයක් ලෙස නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙද්දී අනික් නාලිකා මෙන් නොව තම නාලිකාවේ සියලු වැඩසටහන් නතර කර දැමීය. අනිත් නාලිකා මෙන් නිරෝධායන ඇඳිරිනීතිය තියෙද්දී නළු නිළියන් ගෙන්වා අවුරුදු උත්සව පවත්වන්නේ නැත. අනිත් නාලිකා මෙන් ඒ් අවුරුදු උත්සව වීඩියෝ කර සමාජ මාධ්‍යවලට මුදා හැරියේයැයි කියමින් වේෂ නිරූපන ශිල්පීන්, මාධ්‍යවේදීන් අසාධාරණ ලෙස ආයතනයෙන් දොට්ට දමන්නේ නැත.

මෙවැනි රටට ජාතියට උදාර මෙහෙයක් කරන පවුලක සාමාජිකයකු වූ ආර් දුමින්ද සිල්වා නිදහස් කිරීම අතිශයින් සාධාරණය. ඔහු මුදා හැරීම සමාජයට කරන ලොකු කාර්ය භාරයකි. ඔහුගේ නිදහසෙන් පසු ඔහු සමාජයේ යහපැවැත්ම උදෙසා මහගු මෙහෙවරක් ඉටු කරනු ඇත. දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නොනැවතී දැනට සිටින මන්ත්‍රීවරයකුට ඉල්ලා අස්වන්නට යැයි දැනුම් දී ඔහු ජාතික ලැයිස්තුවෙන් යළිත් වරක් පාර්ලිමේන්තුවට පත් කළ යුතුය. ඉනික්බිති ඔහුට ආරක්ෂක අමාත්‍යධුරය හෝ ජනමාධ්‍ය අමාත්‍යධුරය ලබා දිය යුතුය. 

Previous articleමන්ත්‍රී පෙත්සමෙන් දුමින්ද සිල්වා එළියට එයි ද?
Next articleජර්නලිසම් කියන්නෙ හැඟීම් ලියන එක නෙමෙයි-මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here