සම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් රැසක් අතර හිරවුණු, වෘත්තීය ජනමාධ්‍යවේදියාගෙ කාර්යභාරය විදිහට ඔබ හඳුනාගන්නෙ මොකක්ද?

මේ ප්‍රශ්නෙට පිළිතුර හුදෙකලාව හඳුනාගන්නවා වෙනුවට, මේ පිටුපස තියෙන ගැටළු කිහිපයක් ගැන අවධානය යොමුකරන්න මම කැමතියි. මම දකින විදිහට 1976 වගේ දක්වා, ඒ කියන්නෙ ජේ.ආර්.ජයවර්ධනගෙ විධායක ජනාධිපති ව්‍යවස්ථාවත්, ලිබරල් ආර්ථිකයත් එකට ලංකාවට ගොඩබස්සන්න පෙර කාලය ගත්තොත් අමාරුවෙන් නමුත් යම්තාක් දුරකට අපේ රටේ පුරවැසියා නිර්මාණය වෙමින් පැවතුණා. පුරවැසිභාවය සහ අයිතීන් ගැන යම් කතිකාවක් තිබුණා. ඒ පරම්පරාව සතුව ඒ පිළිබඳ දැනුම තිබුණා. ඒකට ජනමාධ්‍යයත් අයිතියි. මාධ්‍යකරුවොත් එතැන හිටියා. ඒ වෙලාවෙ තිබුණු රාජ්‍ය මාධ්‍ය ඇතුළෙ පවා පුරවැසියා මුල්කරගෙන අදට වඩා හුඟක් හොඳට ජනමාධ්‍යයේ කාර්යභාරය අර්ථකතනය කරපු පිරිසක් හිටියා. ඔවුන්ට යම් ප්‍රමාණයක භාවිතයකුත් තිබුණා. ඒක සීයට සීයක් නොවන්න පුළුවන්. නමුත් යම් සාධනීය මට්ටමක් තිබුණා.

අපි හැත්තෑව දශකයෙ අවසානයෙන් මෙපිටට එනකොට එක පැත්තකින් ලිබරල් ආර්ථිකය මහා වහලයක් වගේ අපිට ඉහළින් තිබුණා. විවිධ දේශපාලන ව්‍යුහයන් ගොඩනැගෙමින් තිබුණා. මේක ඇතුළෙ අර පුරවැසි විඥානය අඩස්සි ගතවෙලා, ඒකෙ වර්ධනය නැවතිලා අපි පස්සට රූටගෙන යන්න ගත්තා. අපේ සැඟවිලා තිබුණු අර යටත්වැසි මානසිකත්වය වැඩෙන්න පටන්ගන්නවා. යටත්වැසි පාරිභෝගික සතෙක් බිහිවෙනවා. පරිභෝජනය විතරක් මුල්කරගෙන, උඩට වඳින, පහළට පයින් ගහන සමාජයක් බිහිවෙනවා. ඔන්න ඔය වගේ සන්දර්භයක තමයි, අපිට මේ මාධ්‍ය ගැන කතා කරන්න වෙන්නෙ.

එක පැත්තකින් මාධ්‍ය ව්‍යුහයන්, ඒ කියන්නෙ ඒවා නඩත්තු වන්නේ කෙසේද, ඒවා සංවිධානය වෙලා තියෙන්නෙ කෙසේද, ඒවගෙ අයිතිය තියෙන්නෙ කාටද වගේ ප්‍රශ්න ගණනාවක් අහන්න පුළුවන්. මේ කරුණු ඔක්කොම බලනකොට ලොකු ප්‍රශ්නයක් අපිට පේනවා. ලංකාවෙ මහජනයා කේන්ද්‍ර වුණු, මහජනයා වෙනුවෙන් කැපවෙන්න පුළුවන් මාධ්‍ය ආයතන තියෙනවද කියන ප්‍රශ්නය. එක පැත්තකින් පෞද්ගලික අයිතියක් තියෙන මාධ්‍ය. අනෙක් පැත්තෙන් මහජනයාට අයිතියි වගේ පෙන්වන රාජ්‍ය මාධ්‍ය. ඒවගෙ මහජනයාට තිබුණු අයිතිය නැතිවෙලා බොහෝ කල්. ඒවා පවතින ආණ්ඩුවේ ආයතන. ලංකාවෙ පවතින සියලුම ජනමාධ්‍ය, බලවේග දෙකකින් ක්‍රියාත්මක වෙන්නෙ. එකක් තමයි බලය නියෝජනය කරන දේශපාලන බලවේග. අනෙක් පැත්තෙන් ප්‍රාග්ධනය මූලික කරගත් බලවේග. මේ දෙක අන්‍යෝන්‍ය සහයෝගයෙන් තමයි කටයුතු කරන්නෙ. වෙන්කරන්න බෑ.

මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක වන මාධ්‍යයක් අපිට පේන්නෙ නෑ. ඒකට හේතුවුණු නරක ඉතිහාසයක් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕනේ දිග කතාවක්. න්‍යායපත්‍ර වශයෙන් ගත්තහම මේවා තියෙන්නෙ මහජනයා වෙනුවෙන් නෙමෙයි. එතකොට ඒවා ඇතුළෙ අපි කතා කරන වෘත්තීය ජනමාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන් රැකියාව කරනවා. එතකොට ඔහුට කාගෙ න්‍යායපත්‍රයටද වැඩ කරන්න වෙන්නෙ කියන ප්‍රශ්නය එනවා. ඒ වගේම සමහර මාධ්‍යවේදීන්ගෙ සැබෑ ස්වාමියා වෙන තැනක ඉන්නවා වෙන්නත් පුළුවන්. වෙනත් දේශපාලන බලවේග ඔවුන්ව මෙහෙයවනවා. මේ විදිහට ඔවුන් මහජනයාට හැර, වෙනත් පාර්ශවවලට සේවය කරනවා. මහජනයා ඔවුන්ගේ න්‍යායපත්‍රයේ නැහැ.
එහෙම ගත්තහම සමාජය තුළ සමස්ත ජනමාධ්‍යයේ කාර්යභාරය මොකක්ද කියන ප්‍රශ්නය වෙනත් පැත්තකින් මතුවෙනවා …?

මේ සම්බන්ධයෙන් කතිකා ඉතිහාසයක් තියෙනවා. 1923 විතර ගුවන්විදුලිය රාජ්‍ය අධිකාරිත්වය යටතේ විතරක් තිබුණු කාලෙ, වරක් බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් මෙහෙම කියනවා, අනාගතයේ කිසියම් දවසක මේ ගුවන්විදුලි තාක්ෂණය මහජනයාට වැඩ කරන්න පුළුවන්, මහජනයාට එකිනෙකා අතර සන්නිවේදනය සිදුකරගන්න පුළුවන් ශක්‍යතාවක් සහිත තාක්ෂණයක් බවට පත්වෙයි කියලා. බ්‍රෙෂ්ට් එහෙම කියන්නෙ ප්‍රජා ගුවන්විදුලි තිබුණු කාලයක නෙමෙයි. නමුත් මේ අදහස ඉතාමත් වැදගත් අදහසක්. පුවත්පත්වල තියෙන්නෙ සංකීර්ණ ගනුදෙනුවක්. ලියන්න යම් ශක්‍යතාවක් තියෙන්න ඕනේ. කියවන්න සාක්ෂරතාවක් තියෙන්න ඕනේ. එතැන පාඨකයා සමග තියෙන්නෙ එතරම් ප්‍රජාතන්ත්‍රවාදී ගනුදෙනුවක් නෙමෙයි. නමුත් ගුවන්විදුලිය අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදී තාක්ෂණයක්. ඕන කෙනෙකුට කතාකරන්න පුළුවන්. ඕනෙ කෙනෙකුට අහන්න පුළුවන්. ලෝකයේ සමහර රටවල තියෙන ඉතා දියුණු ප්‍රජා ගුවන්විදුලි වැඩකරන්නෙ ඒ විදිහට. මෙහෙයවන, පවත්වාගෙන යන, අහන සියලු පාර්ශ්ව එකතු කරනවා. ඒ අතරෙ රාජ්‍ය මගින් පවත්වාගෙන යන, ජනතාවගෙ බදු මුදලින් ක්‍රියාත්මක වන මහජන සේවා මාධ්‍ය ආයතන තියෙනවා. ඔවුන් සීයට සීයක් මහජනතාවට වගකියනවා. ලංකාවට එහෙම සාර්ථක ගමනක් යන්න තිබුණා. නමුත් ඒක සම්පූර්ණයෙන් අනෙක් පැත්තට හැරිලා යන්නෙ.
ජනමාධ්‍ය කියන්නෙ හරියටම සමාජයේ ස්නායු පද්ධතිය. අපි දන්නවා, ජීවී ශරීරයක ස්නායු පද්ධතියට නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. අපේ ශරීරයේ කොටසක් යම් තැනක හැප්පෙන්න ගියොත්, ඒ පණිවුඩය මොළය දක්වා අරගෙන යන්නෙ ස්නායු මගින්. අපි එතැනදි මොකක්ද කරන්න ඔ්නෙ කියන ප්‍රතිචාර එන්නෙ ඒකෙන්. ස්නායු වැඩ කළේ නැත්නම් පිච්චුණත් අපි දන්නෙ නෑ. ස්නායු අවුල් නම් වැඩි කාලයක් ශරීරය පවතින්නෙ නෑ. සමාජයෙත් එහෙමයි, තොරතුරු නිර්බාධිතව පුරවැසියා වෙත ගමන් කළොත් තමයි, සමාජය දියුණු වෙන්නෙ. ඉදිරියට යන්නෙ. අපේ වෙලා තියෙන්නෙ මේ ස්නායු පද්ධතිය වැඩ කරන්නෙ නෑ. හොඳටම ලෙඩවෙලා තියෙන්නෙ. ඒක නිසා පුරවැසියට වෙන්න තියෙන හැම අනතුරක්ම වෙනවා.
මේ සමස්තය අතරෙ වෘත්තීය ජනමාධ්‍යවේදියා හිරවෙලා. ඔහුට ගැලවීමක් නෑ…?

මේ ඔක්කොම එක්ක වෘත්තික ජනමාධ්‍යවේදියාට ආයතනයක් තුළ කටයුතු කරද්දි, එයාට බේරෙන්න බැරි තැනක් තියෙනවා. වෛද්‍යවරයගෙ කාර්යභාරය මොකක්ද. ජනතාව සුව කරන එක. අසනීප වෙලා එන අයට අවශ්‍ය ප්‍රතිකාර කරලා, ඔවුන්ව ප්‍රකෘති තත්ත්වයට පත්කරන එක. ඔවුන්ට වෙනත් රාජකාරි වගකීමක් නෑනෙ. කාර්යභාරයක් නෑනෙ. ජනමාධ්‍යවේදියටත් කාර්යභාරයක් තියෙනවා. මහජනයාගෙ යහපත සඳහා ඔවුන්ට එදිනෙදා ජීවිතයෙදි නිවැරදි තීරණ ගන්න අවශ්‍ය තොරතුරු නිර්බාධිතව ලබා‌දෙන එක. වෛද්‍යවරයට වගේම මාධ්‍යවේදියටත් එහෙම වෘත්තික වගකීමක් තියෙනවා. ඔහුගෙ වෘත්තිය ඒකයි. එතකොට ජනමාධ්‍යවේදියා මොකක් හරි අල්ලසක් හෝ වරප්‍රසාදයක් වෙනුවෙන් ඒ වගකීම පාවාදෙනවා කියන්නෙ, වෛද්‍යවරයෙක් ලෙඩෙක්ව මරනවා වගේ වැඩක්.
මේ තත්ත්වය වෙනස් කරන්න මොකක්ද අපිට රටක් විදිහට කරන්න පුළුවන් …?

මේ වෙනකොට කිසිම මාධ්‍යවේදියෙකුට කියන්න බෑ, අපි ආචාරධර්ම දන්නෙ නෑ වගේ කතා. ඔවුන්ට නිදහසට හේතු කියන්න අයිතියක් නෑ. දැනගෙන තමයි මේ වගේ භයානක දේවල් සමාජයට කරන්නෙ. ඒවා ගැන දැනුවත් කරන්න ලෝකය පුරා වෙනම වැඩසටහන් තියෙනවා. එක්සත් ජාතීන් ප්‍රමුඛ විවිධ සංවිධාන ඒ වෙනුවෙන් වැඩ කරනවා. මම කියන්නෙ තමන් ඉන්න තැන කොතැනද, උත්සාහයක් දරන්න ඕනෙ අඩුතරමින් සදාචාරවිරෝධීව, ආචාරධර්ම විරෝධීව හැසිරෙන්නැතිව ඉන්න. තමන්, තමන්ට අවංක වෙන්න ඕනෙ. ප්‍රංශයෙ පුවත්පතක්ම තියෙනවා, ජනමාධ්‍යවේදියො විතරක් එකතු වෙලා හදලා, පවත්වාගෙන යන. අපේ රටෙත් මේ තාක්ෂණය, සම්පත්, පුරවැසි කැපවීම් එක්ක එහෙම වැඩක් කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ.

මම තව උදාහරණයක් කියන්නම්. ජපානය දෙවැනි ලෝක යුද්ධයට යනකොට අධිරාජ්‍යයාගේ ගුවන්විදුලිය තිබුණෙ. යුද්ධය උත්කර්ෂයට නංවන්න, යුදවාදී මානසිකත්වය ඇති කරන්න ඒ වෙලාවෙ ඒ මාධ්‍යකරුවො විශාල කාර්යභාරයක් කළා. ජර්මනියත් එහෙමයි. මිනිස්සුන්ගෙ ඇහැට වැලි ගහලා, මේ විනාශකාරී මාවතේ ඔවුන්ව ගෙනගියා. හැබැයි කල්පනාකාරී ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ඇයි අපිට මේ විනාශය වුණේ, මාධ්‍යයත් මේකට වගකියන්න ඔ්නෙ නේද ගියන මතය ජනතාව අතරට ගෙනගියා. ඒ ගැන මහජන කතිකාවක් ඇති කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි, ලෝකය පුරා ප්‍රසිද්ධ එන්එච්කේ ආයතනය ඇතිවෙන්නෙ. මේ ආයතනය වෙළෙඳපොළෙන් යැපෙන්නෙ නෑ. මේක යැපෙන්නෙ මහජනතාව ස්වේච්ඡාවෙන් ගෙවන මුදලින්. ජපන් ජනතාවගෙන් සීයට අසූවක් විතර මේ මුදල ගෙවනවා. ඒක සුළු මුදලක්. ඒත් විශාල පිරිසක් එකතු වුණහම, ලොකු මුදලක්. හැබැයි ඒක බදු මුදලක් නෙමෙයි. ස්වේච්ඡාවෙන් කරන්නෙ. ඒක තමයි, ආයතනයත්, ජනතාවත් අතර තිබෙන ගනුදෙනුව. ඒකෙන් මොකක්ද කියන්නෙ, අපි ඔයාලව රැකබලාගන්නම්, හැබැයි අපි වෙනුවෙන් වැඩ කරන්න ඔ්නෙ කියන සම්මුතිය.

මං හිතනවා ලංකාවෙත් ඒක කරන්න පුළුවන්. අපිව රැකබලාගන්න, අපි ජනතාව වෙනුවෙන් සේවය කරන්නම් කියන පොරොන්දුවක් දුන්නොත්, සම්මුතියකට ආවොත්, ලංකාවෙ ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ඒකට දායක වෙයි කියන විශ්වාසය මට තියෙනවා. ඒක මම කියන්නෙ නිකම්ම නෙමෙයි. මම විවිධ වැඩසටහන්වලට මුළු රට පුරාම ඇවිදලා තියෙනවා. ඒවගෙදි ගම්වල හුදෙකලාව වැඩ කරන, යමක් කරන්න අවශ්‍ය විශාල පිරිසක් හමුවෙලා තියෙනවා. මම මේ යෝජනාව ඉදිරිපත් කළහම, ඔවුන් කවුරුත් මෙතෙක් විරුද්ධ වෙලා නෑ.

Previous articleජර්නලිසම් කියන්නෙ හැඟීම් ලියන එක නෙමෙයි-මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර
Next articleකොළඹ ‘රැන්ඩම්’ ටෙස්ට් කරනවා : දැනට 1150කට පොසිටිව් – නගරාධිපතිනිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here