බොරුව පිළිගන්න සූදානම් සමාජයක ඇත්ත පෙන්වන එක අමාරු වැඩක් – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම විදිහට ඔබ දකින්නෙ මොකක්ද ?

වර්තමානය වන විට සියල්ල, ප්‍රාග්ධන මෙහෙයුම්වලට අවශ්‍ය විදියට තමයි ක්‍රියාත්මක වෙන්නෙ. දේශපාලන මෙහෙයුම් පවා ක්‍රියාත්මක වෙන්නෙ ප්‍රාග්ධන වුවමනාවන්ට අවශ්‍ය විදියට. ඒ වගේ ප්‍රාග්ධන මෙහෙයුම්වලට ඇත්ත මොකක්ද කියන එක වැදගත් නෑ. යුක්තිය, සාධාරණය වැදගත් නෑ. පරිසරය වැදගත් නෑ. ලාභය හැර වෙනත් කිසිදෙයක් වැදගත් නෑ. මාධ්‍ය ආයතන කරන්නෙත් බිස්නස් එකක්. එහෙම තත්ත්වයක් යටතේ තමයි අපි ජනමාධ්‍යවේදියාගේ වගකීම ගැන කතා කරන්නෙ. මේ යුගයේ ජනමාධ්‍යවේදීන්ටත් ප්‍රාග්ධනයේ වගේම දේශපාලනයේ බලපෑම සෘජුවම තියෙනවා. අපි දකින දේ තමයි ජනමාධ්‍යවේදීන් බහුතරයක් ප්‍රාග්ධන සහ දේශපාලන මෙහෙයුම්වල රූකඩ බවට පත්වෙලා තියෙනවා කියන එක. මූල්‍ය හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ඔවුන් තමන්ගේ වෘත්තිය පවත්වාගෙන යනවා. ඉතින් මේ තත්ත්වය යටතේ ඇත්ත හෙළිදරව්වීම වැළකෙනවා. අසත්‍ය කරුණු සමාජගත වෙනවා. ජනතාව සවිඥානික කිරීම වෙනුවට රැවටීමට ලක් කෙරෙනවා. කොටින්ම කිව්වොත් ජනතාවට සත්‍ය තොරතුරු දැනගන්න තියෙන අයිතිය පවා උල්ලංඝනය වෙනවා.

මේක ඇත්තටම බරපතළ තත්ත්වයක්. ජනමාධ්‍යවේදියාගෙ වගකීම කියන අර්ථයෙන් ගත්තොත් ජනමාධ්‍යවේදියා මේ කරන්නෙ මිනිස්සු රැවටීමක්. මිනිස්සු ඇත්ත වෙනුවට බොරුවට මුලාකිරීමක්. පහුගිය කාලෙ අපි දැක්කා, මේකට උදාහරණ ඕනෙ තරම්. වසංගත තත්ත්වයක් යටතේ පවා කොයිතරම් වගකීම් විරහිත විදිහට වැඩ කරන මාධ්‍ය අපි දැක්කද. ඔවුන් තරගකාරීත්වය ඇතුළෙ තමන්ගෙ ලාබය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන තැනට පත්වෙලා. උදාහරණයක් ගන්න. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යම් ප්‍රවෘත්තියක් ආවරණය කරලා, ඒකට අදාළ වාර්තාව එවනවා. ඒක ලිපියක් වෙන්නත් පුළුවන්. වීඩියෝ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ජනමාධ්‍ය ආචාරධර්මවලට යටත්ව, ජනතාව අතරට ගෙනියන්න ඕනෙ කොහොමද, ඒ එවන විදිහටම ජනතාව අතරට ගියොත් වෙන්නෙ මොකක්ද කියලා අදාළ ආයතනයෙ වගකීම දරන පාර්ශ්ව මීට වඩා හිතන්න ඕනෙ. එක්කො එහෙම වෙන්නෙ නෑ. නැත්නම් ඔවුන්‌ගෙ අවශ්‍යතාව තමයි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉටු කරන්නෙ. කොහොම හරි අවසානයට ආචාරධර්ම විරෝධී විදිහට ජනතාවට යහපතක් වෙනුවට, සමාජයට අනර්ථයක් සිදු වෙන විදිහ‌ට තොරතුරු ගලායෑම සිද්ධ වෙනවා. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට තියෙන වගකීම තමයි, ප්‍රාග්ධන මෙහෙයුම් අතර මේක බැලන්ස් කරන එක. ප්‍රාග්ධනයෙන් මිදෙන්න බෑ.

එම වගකීම අත්හැරෙන්නේ හෝ අත්හරින්නේ ඇයි ?

අද ජනතාවත් බොහෝවිට දේශපාලන පක්ෂ වශයෙන් දැඩිව බෙදුනු ස්වභාවයක් තියෙනවා. එතකොට තමන්ගේ පක්ෂවල අඩුපාඩු, ගැටළු පෙන්වාදීමක් ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒ වෙනුවට ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ වන්දිබට්ට භුමිකාවක්. ජනතාවගෙන් සුළු පිරිසක් තමයි තවම ජනමාධ්‍යවලින් ස්වාධීන ජනතාවාදී භූමිකාවක් බලාපොරොත්තු වෙන්නෙ. උදාහරණයක් විදිහට එක‌ දේශපාලනඥයෙක් ගමු. ඒ දේශපාලනඥයාගෙ පක්ෂය නියෝජනය කරන, ඔහුට පක්ෂපාතී කෙනෙක් ඔහුගේ ක්‍රියාකාරකම් විවේචනය කරන මාධ්‍යයක් දැඩිව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඔහුට වැඩියෙන් අවස්ථාව ලැබෙන මාධ්‍යයට වැඩි ළැදියාවක් දක්වන්න පුළුවන්. එතකොට මාධ්‍ය ආයතනය පැත්තෙන් බලන්නෙ මොකක්ද. තමන්ගෙ මාධ්‍ය ආයතනයට වැඩි පිරිසක් ඇදගන්නෙ කොහොමද කියලා. පත්තරයක් නම් වැඩි පාඨක පිරිසකට පත්තරේ විකුණන්නෙ කොහොමද කියලා. මේ දෙක අතරෙ අපි කලින් කියපු වගකීම අත්හැරෙන්න තියෙන ඉඩ හුඟක් වැඩියි. නිවැරදි තොරතුරු ලබාගැනීමේ අයිතිය වෙනුවට, වැරදි තොරතුරු බලාපොරොත්තු වෙන, පක්ෂපාතී තොරතුරු බලාපොරොත්තු වෙන ජනතාවක් ඉන්න එක කොයිතරම් කනගාටුවට කරුණක්ද.

වෘත්තීය ජනමාධ්‍යවේදියාට තම වගකීම ඉටුකිරීමට මෙරටදී ඇති බාධක මොනවාද?

ප්‍රධාන බාධක කිහිපයක් මම දකිනවා. එකක් තමයි ජනමාධ්‍ය කියන්නෙ වර්තමානයේ ලාබය මූලික අරමුණ කරගත්තු ආයතන. ඒ අය ඒ වෙනුවෙන්ම වැඩ කරනකොට ජනතාව අමතක වෙන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන්. ලංකාවේ අපි මේක දැඩිව දකිනවා. උදේට පත්තරේ කියෙව්වත් සියුම් විදිහට යම් දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරනවා. එහෙම නැත්නම් වෙනත් පක්ෂයක් අපකීර්තියට ලක්කරනවා. මේ දේ සිද්ධවෙන්නෙ බොහෝවිට මාධ්‍ය හිමිකරුවන්ගෙ රුචි-අරුචිකමි මත. තුන්වැනි කරුණ තමයි, මාධ්‍යකරුවන් වැටුප් ලබන කුලීකරුවන් බවට පත්වීම. ඉහළ වෘත්තීයභාවයකින් තොරව යැපීම සඳහා පමණක් මාධ්‍ය කර්මාන්තයේ නියැළෙනවා නම් අපිට ජනතාවාදී මාධ්‍ය භූමිකාව හුඟක් දුරයි. ඊට අමතරව ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂාව පිළිබඳවත් හිතන්න වෙලා තියෙනවා. මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වීමත් සමගම යුක්තිය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට හුදු වාර්තාකරණට පමණක් මාධ්‍ය භූමිකාව ලඝු වෙලා තියෙනවා.

ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු අතර ක්‍රියාත්මක වන ජනමාධ්‍ය කර්මාන්තයේදී, ඒ බාධක ජයගත යුත්තේ කෙසේද, ඒ වෙනුවෙන් ඔබ කරන යෝජනා මොනවාද ?

නව නැත්නම් ආධුනික ජනමාධ්‍යවේදීන් සඳහා සුදුසු පුහුණුවක් සහ මගපෙන්වීමක් ලැබීම අවශ්‍යයි. මාධ්‍ය භූමිකාව සහ ආචාරධර්ම පිළිබඳව විධිමත් අවබෝධයක් ලැබීමත් අතිශයින් වැදගත්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කාතවක් තියෙනවා, මාධ්‍යවේදීන්ට මොනවා හරි පාටියක් දුන්නම, තෑග්ගක් දුන්නම ඔ්නෙ දෙයක් ලියාගන්න පුළුවන් කියලා. ලේසියෙන් කරන්න පුළුවන් රස්සාවක් කියලා. මේ වගේ කතා හැදිලා තියෙන්නෙ නිකම් නෙමෙයි. ඒ මතය වෙනස් කරන එක අභියෝගයක්. හැබැයි කරන්න බැරි දෙයක් නෙමෙයි.

අනෙක මාධ්‍ය ආයතනවල ඉන්න මාධ්‍ය සහෝදරවරුන්ට තමන්ගෙ හෘද සාක්ෂිය එක්ක විශාල අරගලයක් කරන්න වෙනවා. ඒ නිසා විවිධ දේශපාලන න්‍යායපත්‍රවලින් මාධ්‍ය ආයතන මිදෙන්න අවශ්‍යයි. එහෙම නැතුව මාධ්‍ය කර්මාන්තය ඔසවා තබන්න බෑ. එහෙම නොවුණොත් වෙන්නෙ ඇත්ත, නැත්ත බවට පත්කරන මාධ්‍ය බිහිවීමයි. තවත් කාරණයක් තමයි, ඒ න්‍යාය පත්‍ර එක්ක හැප්පෙන්න පුළුවන් පෞරුෂයක් මාධ්‍යවේදීනුත් ගොඩනගාගන්න ඔ්නෙ. ඒක පහසු නෑ. ඒත් උත්සාහ කරන්න පුළුවන්. තවත් කරුණක් තමයි මාධ්‍ය නිදහස. විශේෂයෙන්ම ආණ්ඩුවල ගැත්තන් නොවන මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වීම ඉතා වැදගත්. එතැනදි සිවිල් සංවිධානවලට විශේෂ වගකීමක් පැවරෙනවා. ඔවුනුත් විවිධ දේශපාලන න්‍යායපත්‍ර යටතේ වැඩ නොකර, ඇත්ත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනීඉන්න ඕනෙ. ජනමාධ්‍යවේදියට මේ ඇත්ත ආරක්ෂා කරන වැඩේ තනියෙන් කරන්න බෑ. සමස්ත සමාජය බොරුව වෙනුවෙන් නම්, බොරුව පිළිගන්න සූදානම් නම් ජනමාධ්‍යවේදියට තනියෙන් උඩුගං බලා පීනන්න අමාරුයි. ඒත් සමාජය ඇත්ත බලාපොරොත්තු වෙනව නම්, මාධ්‍යවේදියාට ඒ වගකීම සීයට සීයක් නැතත් සැලකිය යුතු ප්‍රතිශතයක් අමාරුවෙන් හරි කරන්න වෙනවා.

Previous articleසමාජය මාධ්‍යවේදියාව විශ්වාස කරන්නෙ නැහැ – සිනමාවේදී ප්‍රසන්න විතානගේ
Next articleBlog : අද කොරෝනා ආසාදිතයින් 368ක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here