සමාජය මාධ්‍යවේදියාව විශ්වාස කරන්නෙ නැහැ – සිනමාවේදී ප්‍රසන්න විතානගේ

දේශපාලන සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යවේදියාගේ වගකීම විදිහට ඔබ හඳුනාගන්නේ මොකක්ද ?

ලංකාව පමණක් නෙමෙයි, ලෝකයේම මට දකින්නට තියෙන දේ තමයි වෘත්තීය ජනමාධ්‍යවේදියා කරන්නෙ තම හාම්පුතාට සේවය කිරීම. හාම්පුතාගෙ ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් තමයි සේවකයො වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවෙ ආණ්ඩු වෙනසක් සිද්ධ වුණා. එතැනදි අපි දැක්කා, එකම ලේඛකයා, එකම ජනමාධ්‍යවේදියා ලියන විදිහ වෙනස් කරන විදිහ, පැත්ත මාරු කරන විදිහ. වර්තමාන මාධ්‍යවේදියාට ශ්‍රීය හඬක් නැහැ. ඒකෙන් මම මාධ්‍යවේදියා මුළුමනින්ම නිශේධනය කිරීමක් නෙමෙයි කරන්නෙ.

දේශීය සහ විදේශීය වශයෙන් තමන්ගෙ වෘත්තිය පිළිබඳ කැක්කුමක් තියෙන පිරිසක් ඉන්නවා. ඔවුන් විකල්ප මාධ්‍ය භාවිතාවක නිරතවෙමින් ඉන්නවා. උදාහරණයක් විදිහට ඉන්දියාවෙ පාලක භාරතීය ජනතා පක්ෂය විසින් සම්පූර්ණයෙන්ම මාධ්‍ය ආයතන මිලදීගනිමින් ඉන්නවා. නැත්නම් හිමිකරුවන් මිලදී අරන් ඉවරයි. ඒ වගේම ඊට වෙනස්ව, තමන් දකින ඇත්ත මතු කරන මාධ්‍යවේදියො ඉන්නවා. ඔවුන්ගෙ හඬ ප්‍රබලව නැගෙන අවස්ථා අපි දකිනවා.
මේ සියලු තත්ත්වයන් යටතේ වුණත් මම බලාපොරොත්තු වෙනවා, මාධ්‍යවේදියා තමන් දකින දේට අවංක වෙයි කියලා. තමන් දකින දේ ප්‍රකාශ කරන, සත්‍ය නිරාවරණය කරන කෙනෙක් විදිහට කටයුතු කියලා. එවැනි මාධ්‍ය භාවිතාවක අවශ්‍යතාව වඩ-වඩාත් මතුවෙමින් තිබෙනවා.

ජන මතයට තීරණාත්මක ලෙස සමාජ මාධ්‍ය බලපෑම් කරන යුගයක් මේක. මීට දශකයකට එහා සමාජය ජනමාධ්‍යවේදියාගෙන් බලාපොරොත්තු වුණු දේ, අදටත් බලාපොරොත්තු වෙනවද ?

සමාජය බලාපොරොත්තු වෙනවා. ඒත් මාධ්‍ය විසින් තමන්ගේ වෘත්තීය පැවැත්ම සඳහා ඒ කාර්යභාරය අවලංගු කරගෙන තියෙනවා. ලෝකය පුරා අද මාධ්‍ය තියෙන්නෙ පොකුරු. මේවා තියෙන්නෙ කතිපයාධිකාරී තත්ත්වයක් යටතේ. ඒ කියන්නෙ සල්ලි තියෙන කෙනා අනෙක් මාධ්‍ය ආයතන හැකි තරම් මිලදී ගන්නවා. උදාහරණයක් විදිහට රූපට් මෝඩොක් කියන මාධ්‍ය හිමිකරුවට ලෝකය පුරා පුවත්පත් ආයතන පන්සිය ගාණක් විතර තියෙනවා. ඒ පන්සිය ගාණෙන් ඔහු කරන්නෙ මොකක්ද. තමන්ගෙ ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා බලය තියෙන පාර්ශ්ව එක්ක කේවල් කරනවා. ලංකාව මීට වඩා වෙනස් ද. මේ පිළිඹිබුවමයි. එතකොට ඇත්ත වෙනුවෙන් පෙනීඉන්න මාධ්‍යවේදීන්ට මොකක්ද වෙන්නෙ. ස්වාමියාගේ අවශ්‍යතා එක්ක ගැටෙනවා. ඉන්නවද, යනවද කියන එක තෝරගන්න වෙනවා.
ඔබේ ප්‍රශ්නයට පිළිතුර සමාජය බලාපොරොත්තු වුණාට, සමාජය විශ්වාස නොකරන තැනට පත්වෙලා තියෙනවා. මාධ්‍යවේදියා යනු තවදුරටත් දේශපාලනඥයා‌ මන්ම මහජනතාව රවටන, බලය හිමි කෙනෙක් බවට පත්වෙලා. ඔවුන් වරප්‍රසාදිත පුද්ගලයන් බවට පත්කරලා.

ඔබ කියන වගකීම ඉටුකරන්න, විශ්වාසය ගොඩනගන්න අපේ රටේ මාධ්‍ය කර්මාන්තය ඇතුළෙ තියෙන බාධක මොනවාද ?

වෘත්තීය මාධ්‍යවේදියත් මේ ක්‍රමයේම කොටසක් බවට පත්වෙලා. උදාහරණයක් විදිහට මම දන්න උදාහරණයක් කියන්නම්. එක මාධ්‍යවේදියෙක් ගැටුමක් ඇතිකර ගන්නවා, මාධ්‍ය හිමිකාරිත්වයත් එක්ක. ඔහු ගෙදර ගිහින් තමන්ගෙ දරුවන්ට සහ බිරිඳට කියනවා, මට හිතට එකඟව තවදුරටත් මේ රැකියාව කරන්න බෑ, මම අයින්වෙනවා කියලා. එතකොට දරුවො දුවලා ගිහින්, ඔහුට ණය පහසුකම් යටතේ ආයතනයෙන් දීලා තියෙන සුපිරි රථය බදාගන්නවා. අනේ තාත්තෙ, එතකොට අපිට මේක නැතිවෙනවද කියලා. ඔහු ආයතනයේ දිගටම සේවය කරනවා. තමන් අකමැති දේ කරනවා.

මේ ක්‍රමය පොළඹවනවා, මේ විදිහට කටයුතු කරන්න. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ මාධ්‍යවේදිත්වය පූජා කරන්න. නිශ්ක්‍රීයව කටයුතු කරන්න. ඒත් ඒ අහෝසි වෙන තැන අරගෙන ඇතැම් තරුණ කොටස් වගකීමෙන්, සමාජයට සැබෑව දකින්න ඉඩ හදලා දෙන ආකාරය අපි දකිනවා. ඔවුන් ප්‍රශ්නයට කිඳාබහිනවා. රූපවාහිනී සාකච්ඡා හුඟක් ඒව බලන්න, ප්‍රශ්න අල කරන එක කරන්නෙ. මං කියන්නෙ මේ බාධකය ජයගන්න, එසේත් නැත්නම් බාධකය තියාගෙන සැබෑව වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. බාධකයට යට වුණු පිරිසක් ඉන්නවා. අද තත්ත්වය ඒකයි.

මාධ්‍යවේදීන්ට මේ ප්‍රධාන බාධකය සහ අනෙකුත් බාධක ජයග්‍රහණය කරමින් තමන්ගෙ වගකීම ඉටුකරන්න, මාධ්‍ය කර්මාන්තය ඉහළට ඔසවන්න ඔබ කරන යෝජනා මොනවද?

සමාවෙන්න මගේ පිළිතුර තරමක් අසුබවාදී විය හැකියි. ඔබ කියන වගකීම කියන වචනයවත් මම ඇඟට ගන්න කැමැති නෑ. සිනමාකරුවෙක් විදිහට මම හිතන්නෙ නෑ, ඇත්ත දකින එක මගේ වගකීම කියලා. මම හිතන්නෙ ඒක මගෙ රැකියාව කියලා. සිනමාවෙ පියා හැටියට සැලකෙන ග්‍රිෆිත් කිව්වෙ මගේ කාර්යය ඔබට දැකීමට සැලැස්වීමයි කියලා. මාධ්‍යවේදියත් එහෙමයි. මේකට ඉඩක් තියෙනවද මාධ්‍ය කර්මාන්තය ඇතුළෙ, ප්‍රධාන යැයි සැලකෙන මාධ්‍ය ඇතුළෙ. සෑම පෞද්ගලික මාධ්‍ය ආයතනයක්ම පවතින ආණ්ඩු එක්ක බැඳිලා තියෙනවා. ඔවුන් ණය අරන් තියෙනව නම්, වෙනත් ව්‍යාපාර කරනව නම්, ඔවුන්ට විවේචනය කරන්න බැහැ. ඒ වගේම එහෙම කරන්න උත්සාහ කරන මාධ්‍යවේදියට ආයතනය ඇතුළෙ රැඳෙන්න දෙන්නෙත් නැහැ. මාධ්‍ය හිමියො තමන්ගෙ ව්‍යාපාර පාඩු කරගන්න කිසිසේත්ම වැඩ කරන්නෙ නැහැ. ලෝකය පුරාම තත්ත්වය ඔ්කයි. ඒක නිසා මගේ අදහස නම් ඔබ කියන ආකාරයට වගකීම ඉෂ්ඨ කරන්න අද මේ තියෙන ප්‍රධාන මාධ්‍ය ආයතන ඇතුළෙ කිසිසේත්ම හැකියාවක් නෑ, එහෙම කරන්න නම් ඔවුන්ට තමන්ගෙ හෘදය සාක්ෂියට එකඟව එළියට බහින්න වෙනවා.

Previous articleපාස්කු කොමිසම ආවරණයට ගිය මාධ්‍යවේදීන් එලවයි
Next articleබොරුව පිළිගන්න සූදානම් සමාජයක ඇත්ත පෙන්වන එක අමාරු වැඩක් – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here