අරමුණ – සැලසුම සහ වගකීම

අරමුණ

01.රට පුරා විනාඩි 15 ක් විවිධ ශබ්ද ඇතිකරමින්, එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් පැවැත්වීමට 1994 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ කිහිපයක් තීරණය කළේය. එක් පුද්ගලයෙකු ඉංගිරිය ප්‍රදේශයේදී ඊට සහාය දැක්වූයේ බෙරයක් ගසමින් ය. බෙරය ගැසීම නවත්වන්නට පොලිසියෙන් අණ කෙරිණි. එහෙත් ඔහු දිගටම බෙරය ගැසීය. මේ නිසා ඔහු පොලිස් පහරදීමට ලක්විය. පොලිසිය විසින් බෙරය ද විනාශ කළේය. අවසානයේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.

මේ සම්බන්ධයෙන් ගොනුකෙරුණු සුප්‍රකට අමරතුංග එදිරිව ශ්‍රීමාල් – ජනඝෝෂා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඒ ආකාරයේ ප්‍රකාශනයක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතියට අදාළ වන බවයි. එසේම ආණ්ඩුවට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බවට ද මෙහිදී තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පෙත්සම්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.

02.නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450 ක්, බෙදාහරින්නට පෙර පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට, පුවත්පතේ එවකට ප්‍රධාන කර්තෘවරයා වූ සුනන්ද දේශප්‍රිය විසින් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කෙරිණි. මෙහිදී පෙත්සම්කරුගේ අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙස ද නියෝග කළේය දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව – 1995 නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් ය.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදු වන 14 (1) (අ) – මූලික අයිතිවාසිකම් පිළිබඳ ව්‍යවස්ථාව උල්ලංඝනය සෘජුව මෙන්ම වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන පුවත්පත්වල රජයට කෙරෙන විවේචන පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන මෙවැනි පුවත්පතක් බලහත්කාරයෙන් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ.

03.භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය බෙරයේ සිට ආරම්භ වන බවත්, එය සැඟවීම හෝ යටපත් කිරීම නීතිවිරෝධී බවත් ඉහත උදාහරණ දෙකෙන් පමණක් වුවද පැහැදිලි වේ. එම අයිතිය රැකගැනීමේ අරගලය ඉදිරියට රැගෙන යා යුත්තේ මේ යුගයේ බරපතළ ම ඛේදවාචකයක් වන ස්වයං වාරණය සහ වගකීමක් නැති මාධ්‍යකරණය නම් අභියෝගය පරාජයට පත්කරමින් ය. එසේ නොවුවහොත්, නිවැරදි තොරතුරු දැනගැනීමේ පුරවැසි අයිතිය උල්ලංඝනය වන අතර, ආචාරධාර්මික නොවන මාධ්‍ය භාවිතය නිසා පෞද්ගලිකත්වයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් ද අහිමි වේ. භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භුක්තිවිඳීමේදී බහුතරයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිවකුට අයිතියක් නැත. එය අත්නොහළ හැකි වගකීමකි.

සැලසුම

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට අදාළ තීරණාත්මක සාධකයක් වන ජනමාධ්‍ය නිදහස වගකීමෙන් යුතුව හැසිරවිය යුතු අතර, වර්තමානයේ එය, එසේ නොවන්නේ ඇයි යන්න සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් ඇති නොවීම බරපතළ අඩුවක් ලෙස අපි දකිමු.

එම නිසා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික, දේශපාලන සහ සමාජයීය වශයෙන් පුරවැසියාගේ අනාගත පැවැත්මට තීරණාත්මක වශයෙන් බලපෑම් කරන ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන් සහ ඔබ සමග පුළුල් කතිකාවක් ගොඩනැගීමට MediaLK තීරණය කළෙමු.

01.තීරණාත්මක සමාජමාධ්‍ය බලපෑම් සහ ප්‍රාග්ධන මෙහෙයුම් අතර, මේ යුගයේ වෘත්තීය ජනමාධ්‍යයේ වගකීම කුමක්ද?

02.එම වගකීම අත්හැරෙන්නේ හෝ අත්හරින්නේ ඇයි ?

03.වෘත්තීය ජනමාධ්‍යවේදියාට තම වගකීම ඉටුකිරීමට මෙරටදී ඇති බාධක මොනවාද?

04.ව්‍යාපාරික සහ දේශපාලන අරමුණු අතර ක්‍රියාත්මක වන ජනමාධ්‍ය කර්මාන්තයේදී, එම බාධක ජයගත යුත්තේ කෙසේද?

පාඨක ඔබ, මහා සමාජයේ සිට ජනමාධ්‍ය සමාජය දකින ආකාරය ද ඇතුළත්ව, ඉහත ප්‍රධාන තේමා හතර ඔස්සේ විවේචන සහ යෝජනා ඇතුළත් කතිකාවක් ගොඩනැගීමටත්, එය වෙබ්මාධ්‍ය අවකාශයේ සිට මුද්‍රිත අවකාශයක් දක්වා රැගෙන යෑමටත් අපි සැලසුම් කර ඇත්තෙමු. ඔබේ ගෞරවනීය මතයට ද එය විවෘත ය. parapura.medialk@gmail.com

වගකීම !

‘ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගීසිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් අවශ්‍යම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම්, නැවත කෙදිනකවත් ඒ සඳහා කාලයක් අපට නොලැබෙනු ඇත.’ – අවුෂ්විට්ස් නාසි කඳවුරේ සිරකරුවකු වූ ප්‍රකට ලේඛක එලී වියසෙල්

පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සිරගත කරන බලයට එරෙහිව එක්වෙමු !

Previous articleඇඳිරි නීති ප්‍රදේශවල කුලී වැඩ කරන ජනතාව අසරණ වෙලා
Next articleනිමලරාජන් – යුක්තිය අහිමි විසි වසරක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here