ඇඳිරි නීති ප්‍රදේශවල කුලී වැඩ කරන ජනතාව අසරණ වෙලා

(නිලූක සඳුන් පද්මසිරි)

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශවල සිටින ඇතැම් ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ආදිය මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවට එම ප්‍රදේශවල ජනතාව පවසති.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර හේතුවෙන් මුලින්ම ඇඳිරිනීතිය පැනවූයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලටයි. ඉන් පසු ගම්පහ පොලිස් කොට්ඨාසයේ සෙසු පොලිස් බල ප්‍රදේශවලටත් ඇඳිරිනීතිය පැනවූ අතර පසුව සීදුව සහ කටුනායක යන පොලිස් බලප්‍රදේශවලටත් ඇඳිරිනීතිය පැනවිණි.ඒ අනුව මේ වන විට එම දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19කට ඇඳිරිනීතිය බලපැවැත්වෙයි. ඇඳිරිනීතිය හේතුවෙන් එම ප්‍රදේශවල සිටින ජනතාවට තම එදිනෙදා කටයුතුවලට බාධා එල්ල විය. රැකියා සහ ව්‍යාපාර කටයුතු සඳහා යාමට නොහැකි වීම ඉන් ප්‍රධාන තැනක් ගනී.

කුලී වැඩ කරන ජනතාවට දෛනික ආදායම නෑ

මීට හේතුව වී ඇත්තේ බොහෝ පිරිස්වලට තම දෛනික ආදායම් අහිමි වීම බවත් කුලී වැඩ කරන පුද්ගලයන්ට තම ආදායම් අහිමි වීම හේතුවෙන් දැඩි අසරණභාවයකට පත්ව සිටින බවත් එම ප්‍රදේශවල ප්‍රදේශවාසීහු පවසති.

දින කිහිපයකට වතාවක් වෙළෙඳසල් විවෘත වූවද මුදල් නොමැති වීම නිසා අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීමටවත් නොහැකි වී ඇතැයි ඔවුහු කියති. මින් එදිනෙදා ආදායම් ලබන පිරිස්වලට දැඩි බලපෑම් එල්ලවී ඇතැයි ද දැනගන්නට ලැබේ.

ඇඳිරිනීතිය පනවා දින 14ක් ගතවී ඇති අතර දින 14ක් කිසිදු ආදායමක් නැති වීම නිසා තමන් දැඩි ලෙස අසරණ වී ඇතැයි වෘත්තියෙන් පෙදරේරුවකු වන පුද්ගලයෙක් පැවසීය. ඇඳිරිනීතිය හමුවේ වැඩට යාමට නොහැකි වී ඇතුවා සේම කුලී වැඩ ලබාගන්නා පුද්ගලයින්ට ඒ සඳහා ගෙවීම් කිරීමටත් මූල්‍යමය තත්ත්වයක් දැන් නැති බව ද ඔහු සඳහන් ක⁣ළේය. මේ හේතුවෙන් තම පවුලට තිබූ ප්‍රධානම මූල්‍ය ආදායම් මාර්ගය අවහිර වී ඇති බවත් ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට ඉතාමත් අසීරු වී ඇති බවත් හෙතෙම කීවේය.

අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසැල්වලටත් බලපෑම්

මේ සමගම අත්‍යවශ්‍ය ආහාර හෝ ඖෂධහල් නොවන ව්‍යාපාරවලට මින් දැඩි ලෙස බලපෑම් එල්ලවී ඇතැයිද ව්‍යාපාරිකයෝ පවසති. බොහෝ වෙළෙඳසැල් හිමියන් භාණ්ඩ තොග මිලට ලබාගන්නේ චෙක්පත්වලට බවත් මිලදී ගත් භාණ්ඩ සඳහා ගෙවිය යුතු චෙක්පත් ගොඩගැසී ඇති නමුත් කිසිදු ආදායමක් නොමැතිව ඒවා ගෙවීමට නොහැකි වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම ව්‍යාපාර ස්ථාන සඳහා ගෙවීමට ඇති කුලී ගෙවීමටද නොහැකි වනු ඇතැයි ද මේ හේතුවෙන් ගොඩනැගිලි කුලියට ලබාදෙන පුද්ගලයන්ටද යම් බලපෑමක් එල්ලවනු ඇතැයි ඔවුහු පවසති.

එමෙන්ම කුඩා පරිමාණ වෙළෙඳසැල් හිමියන්ට මින් ඇතිවන බලපෑම සුළුපටු නොවන බව ද ඔවුන් දෛනික වියදම් ආවරණය කරගන්නේ එදිනෙදා ලැබෙන මුදලින් බවද ව්‍යාපාරිකයෝ සඳහන් කරති. තවද සතිපොළවල් තුළ වෙළඳාම් කටයුතු කරන පිරිස්වලට මින් බලපෑම් එල්ල වී ඇතැයි ද දැනගන්නට ඇත.

ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශවලත් වෙළෙඳාම්වල අඩුවක්

ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශවල පවා මේ වන විට විවෘතව පවතින ඇතැම් වෙළෙඳසැල්වල වෙළඳාම් දැඩි ලෙස පහත වැටී ඇතැයි එම ප්‍රදේශවල ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. වෙනදා ලැබූ දෛනික ආදායමෙන් අඩක්වත් දැන් ඇතැම් අවස්ථාවල නොලැබෙන බව ඔවුහු පවසති. මින් බොහෝ පීඩා ඇතිවී තිබෙන්නේ ද ආහාර වෙළෙඳසැල්, ඖෂධහල් හැර අනෙකුත් ව්‍යාපාරවලට බව ඔවුහු පෙන්වා දෙති.

වෙනදාට වඩා වෙළඳාම් කටයුතු අඩු වී ඇතැයි ද දෛනික ආදායම බොහෝ සෙයින් අඩු වී ඇතැයි ද කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙක් පැවසීය. ව්‍යාපාර කටයුතු සඳහා ගෙන තිබෙන ණය මෙන්ම චෙක්පත් වලට මිලදී ගත් තොග භාණ්ඩ සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෝ ආවරණය කරගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව එම ව්‍යාපාරිකයා කීවේය.

ගම්පහට කෝටි 40ක් වෙන් කළා – රජය

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සදහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ විශේෂ මැදිහත්වීම මත මුදල් අමාත්‍යංශය මෙම ප්‍රතිපාදන වෙන් කළ බවට ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළ බව එහි සඳහන් වෙයි.

පළමු අදියර යටතේ මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට සංචරනය සීමා කර ඇති ගම්මාන 05 ඇතුළු මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට අයත් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල, හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 72,345 සදහා මෙම 5000 දීමනාව ලබා දීමට කටයුතු යොදා ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර තිබේ.

අගහරුවාදා සිට ගෙවීම අරඹනවා – ගම්පහ දිස්ත්‍රික් ලේකම්

අගහරුවාදා (20) සිට මෙම දීමනාව ලබා දීමට සියලු කටයුතු යොදා ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කළ බවද එහි දැක්වෙයි. කෝවිඩ් I හා II වටයන් තුළ
අනුගමනය කළ පරිදිම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය යටතේ මෙම මුදල ගෙවීමට සැලසුම් කර ඇති බවද ජයලත් මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඇදිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙක් පොලිස් බල ප්‍රදේශ 16 තුළ වෙසෙන ජනතාවට දෙවන අදියර යටතේ එම මුදල ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ හා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසූ බව එහි සඳහන් වෙයි. ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයේ ජනතාවටද මෙම දීමනාව ලබා දීමට පියවර ගන්නා බවද පසුගිය i හා ii වටයන්හීදී ඒ ඒ ග්‍රාම සේවා වසම්වල පත් කෙරුණු ග්‍රාමීය කමිටු හරහා කෝවිඩ් 19 හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් හදුනා ගැණුනු ආකාරයට එම සියලු පවුල් සදහා මෙවරද අදාළ දීමනාව ලබා දීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම්වරයා කී බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායන ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දෙන ලෙස සංචාරක ඇමති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණු බවද එහි සඳහන් වෙයි.

Previous articleකොවිඩ් රෝහල් 10ක් පිරිලා : රෝහල් 6ක ධාරිතාව ඉක්මවා රෝගීන් 171ක්
Next articleඅරමුණ – සැලසුම සහ වගකීම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here