නැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ – පරිසර ඇමති

සීග්‍ර ඛාදනයක් සිදුවෙමින් පවතින නැගෙනහිර වෙරළ තීරයේ අක්කරෙයිපත්තු සිට පොතුවිල් දක්වා දැවැන්ත ඛනිජ කැණීම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එංගලන්ත සමාගමකට ආණ්ඩුව විසින් අවසර ලබා දී තිබේ.

වටිනා ඛනිජ 04ක්

එංගලන්ත සමාගමක් වන කැපිටල් මෙට්ල්ස් පෞද්ගලික සමාගම සමග මෙරට ක්‍රියාත්මක දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම වෙරළේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ ගාර්නට් යන ඛනිජ ද්‍රව්‍ය බහුලව ඇති බවත්, මේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35ක (රුපියල් මිලියන 7,000ක) ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අදාළ එංගලන්ත සමාගම මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

ලංකා නියෝජිතයා

මේ පිළිබඳව තොරතුරු විමසීමට එංගලන්ත සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන දම්සිලා එක්ස්පෝර්ට්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ඉරංග දුනුවිල සම්බන්ධ කරගත්තද, ඔහු පැවසුවේ දුරකතනය ඔස්සේ මීට අදාළ කිසිදු තොරතුරක් සැපයීමට නොහැකි බවයි.

ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට !

මුල් අදියරේදී ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 5,431,709 ක් මෙම වෙරළෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර, වෙරළේ කැණීම් ව්‍යාපෘති 04ක් සහ මුහුදේ කැණීම් ව්‍යාපෘති 05ක් සිදුකිරීමට සැලසුම් සකස් කොට ඇත. මුහුදේ වර්ග කිලෝමීටර් 351ක් පුරා මේ කැණීම් සිදුකිරීමට නියමිත ය. මෙසේ ලබාගන්නා වැලි, ඔලුවිල් වරායේ ඉදිකෙරෙන පිරිපහදුවකදී වෙන්කෙරෙන අතර, ඉන්පසු ලබාගන්නා ඛනිජ ද්‍රව්‍ය සෘජුවම ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට රැගෙන යෑමට අදාළ සමාගම සැලසුම් කර තිබේ.

නම් වෙනස් කරන්නේ ඇයි?

ඉක්වටෝරියල් පාම් ඔයිල් ඇතුළු නම් කිහිපයකින් හඳුන්වා ඇති මේ සමාගම, අවස්ථා කිහිපයකදීම නම් වෙනස් කර ඇති බව හෙළි වේ. සමාගම වර්තමාන නම භාවිත කිරීම ආරම්භ කළ 2015 වසරේ සිට මෙවැනි ව්‍යාපෘති සිදු කර නැති බව ද සමාගම් වෙබ් අඩවියේ තොරතුරුවලින් තහවුරු වේ.

හිටපු ඇමති බැසිල්

බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී නැගෙනහිර නවෝදය වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස මුල් වරට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සාහ දරා තිබිණි. එහෙත් ධීවර රැකියාවේ නියුතු පවුල් 10,000ක් ප්‍රමුඛ 80,000කට අධික ජනතාවගේ විරෝධය නිසා ව්‍යාපෘතියේ කටයුතු නතර කෙරිණි.

ඛාදනය වැඩිම වෙරළක්

නැගෙනහිර පළාතේ අලයඩිවෙම්බු, තිරුක්කෝවිල් සහ පොතුවිල් ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර, මේ වෙරළ තීරය ලංකාවේ වැඩිම වෙරළ ඛාදනයක් සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ වෙරළ තීරයේ ශක්තිමත් බව අදාළ ඛනිජ නිසා බවත්, ඒවා යන්ත්‍ර මගින් ඉවත් කිරීමෙන් පසු එය සම්පූර්ණයෙන්ම නැති වන බවත් ය.

අවසරය පිළිබඳ ප්‍රශ්නයක්

මේ සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගෙන් මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදී විමසූ විට ඔහු පැවසුවේ තම දෙපාර්තමේන්තුවෙන් මේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ලබාදී නැති බවයි. එවැනි ව්‍යාපෘතියක් පිළිබඳ සාකච්ඡාවක් පමණක් තිබෙන බවත්, විද්‍යාත්මක අධ්‍යයනයකින් පසු ඊට අනුමැතිය දිය හැකිද යන්න තීරණය කළ යුතුව ඇති බවත් එහිදී ඔහු සඳහන් කළේය.

රහසිගත වාර්තා

ඔහු මේ වනවිට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ප්‍රධානියෙකු පත්කර නැත. එවැනි තත්ත්වයක් යටතේ අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ වන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලට පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් එවා ඇත. තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ එම වාර්තාව ජනතා අදහස් සඳහා තබා තිබූ බවත්, පසුගිය මාර්තු 12 දා එම කාලය අවසන් වූ බවත් ය. මේ පිළිබඳ අදාළ ප්‍රදේශවාසීන් දැනුවත් කර හෝ නැත.

මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ

මේ වෙරළ තීරයේ ඛනිජ වැලි කැණීම් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත්, තමන් ඇමති ධුරය බාරගැනීමෙන් පසු එවැනි කිසිදු කැණීමක් සඳහා අවසර ලබානොදුන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පරිසර ඇමති මහින්ද අමරවීර පැවසීය. එසේ අනුමැතිය ලබාදෙන්නේ නම් එහිදී පරිසර වාර්තා පුළුල් ව අධ්‍යයනය කළ යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා සඳහන් කළේය.

Previous articleමැතිවරණ නීතිවල අඩුපාඩු හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්
Next articleමාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත් ඝාතනය කරලා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here