පොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මහජන සාමය විෂය භාර ඇමැති සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් අයුතු ලෙස මැදිහත් වූ බවට MediaLK සහ තවත් මාධ්‍ය කිහිපයක් පසුගිය සතියේ වාර්තා කළේය. දෙරණ රූපවාහිනී නාලිකාවට සහ අරුණ පුවත්පතට පමණක් එම චෝදනාවට අදාළ ව නිවැරදි කිරීමක් යොමුකරන ලෙස දන්වමින් පොලිස් විශේෂ කාර්ය බලකාය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ලිපියක් යොමුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වෙත මෙම කරුණු පැහැදිලි කිරීමේ ලිපිය යොමුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ය.
STF ලිපියේ සඳහන් අංක
ඔහු එම ලිපියේ සඳහන් කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි ගොස් ඇත්තේ ඉඩම් ආරවුලකට නොවන බවයි. ඔවුන් එහි ගොස් ඇත්තේ නීති විරෝධී ගිනි අවි, මත්ද්‍රව්‍ය සහ මත්පැත් ගැන ලැබුණු තොරතුරකට අනුව බවත්, එසේ වැටලීමට ගියේ විශේෂ කාර්ය බලකායට අනුයුක්ත WP GK 8966 අංක දරන වෑන් රථයෙන් සහ WP PVO 6178 අංක දරන යතුරු පැදියෙන් බවත් එම ලිපියේ සඳහන් වේ.
කෙසේ වෙතත් සීසීටීවී දර්ශනවල සටහන් වී ඇත්තේ GK 8766 අංක දරන වෑන් රියක් සහ VO 6176 දරන යතුරුපැදියෙන් එම පිරිස ගොස් ඇති බවයි. නිවැසියන් ද ප්‍රකාශ කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යැයි කියන පිරිස පැමිණියේ මෙම අංක දෙක සහිත වාහනවලින් බවයි.
RMV හි සඳහන් සැබෑ අංක
MediaLK කළ සොයා බැලීමකදී තහවුරු වූයේ වෑන් රියේ සටහන්ව තිබූ බව කියන අංකයෙන් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ත්‍රීරෝද රථයක් බවයි. 2001 වසරේ නිෂ්පාදිත වර්ෂය ලෙස සඳහන් එම ත්‍රීරෝද රියේ මොඩලය ලෙස සටහන් වී ඇත්තේ ‘බජාජ් ඔටෝ’ යන්නයි. එහි එන්ජින් අංකය වන්නේ AEMBHF39247 යි. යතුරුපැදියේ සවිකර තිබූ අංකය මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ TVS – SCOOTY PEP + වර්ගයේ යතුරුපැදියක් ලෙසයි. එහි එන්ජින් අංකය වන්නේ 0G3CA2093628 යි. එහි නිෂ්පාදිත වර්ෂය 2010 ලෙස සඳහන් ය.
සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බව කියන අංක සහ වැටලීමට ගිය බවට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා ලිඛිතව දන්වා ඇති අංක අතර පරස්පරතාවක් ඇති බැවින් MediaLK ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළේය.
‘මට එවපු දේ මම දුන්නා’
MediaLK – පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන වාහන අංක සහ සීසීටීවී දර්ශනවල වාහන අංක අතර පරස්පරතාවක් තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ආවේ ව්‍යාජ අංක තහඩු සහිත වාහනවලින් කියන චෝදනාවට පොලිසියේ ප්‍රතිචාරය මොකක්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක – පොලිස් විශේෂ කාර්ය බලකාය වාහන අංක වගයක් මට එවලා තිබුණා. ඒ අංක එක්ක තමයි මම නිවැරදි කිරීම යොමුකළේ.
MediaLK – සීසීටීවීවල තියෙන අංකයි, ඒ අංකයි වෙනස් නේද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක – නෑ, මට එහෙම ක්ලියර් කරලා එවලා තිබුණේ නෑ. එස්එෆ් කමඩාන් එවපු එකටනේ මං යවලා තියෙන්නේ.
MediaLK – සීසීටීවීවල තියෙන අංක බොරු කියන එක ගැන එස්ටීඑෆ් එකෙන් අහලා කියන්න ඔබතුමාට පුළුවන්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක – ඒක අහන්න පුළුවන්… නමුත් මම අහන්න… ඔ්කට විමර්ශනයක් යනවා. ඇමතිතුමා කියලා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් එස්ටීඑෆ් එකෙන් කරනවානේ. ඒ නිසා අපි ඒක අහන්න යන එක එතිකල් නැහැනේ.
MediaLK – එහෙම නම් විමර්ශනයක් යන අතරතුර මේක බොරු කියලා නිවේදනයක් දාන එකත් ගැටළුවක් නේද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක – එස්ටීඑෆ් කමඩාන් මට එවනවානේ මාධ්‍ය ප්‍රකාශක විදිහට මේක වැරදි, නිවැරදි කරලා දෙන්න කියලා.
MediaLK – ඔබතුමාට බැරිද ඉතින් මීඩියාවලින් අහනවා කියලා මේ ප්‍රශ්නය අහන්න?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක – මට අහන්න පුළුවන්. මට ඒක අහලා ඔෆීෂියල් ආන්සර් එකක් දෙන්න බැහැනේ. ඒක හරි නෑනේ. විවාදයට භාජනය වෙච්ච සිද්ධියක්නේ. ඒක ගන්නවා නම් මම ගන්න ඔ්නෙ ලිඛිතව (ඉන්රයිටිං). ඉන්රයිටිං ලියලා, ඉන්රයිටිං ආන්සර් එකක් ගන්න ඔ්නෙ. දැනට විමර්ශනයක් යන නිසා ඒගොල්ලෝ ක්ලියර් කරයි මොකක්ද කියන එක. ඉන්වෙස්ටිගේෂන් එකක් යන නිසා මම මෙහෙන් මීඩියා රිලීස් එකක් කරලා නෑ ඔය සම්බන්ධව. එස්ටීඑෆ් එකෙන් නිවැරදි කිරීමක් එව්වම මම ඒක මාධ්‍යයට යවන්න ඔ්නනේ. ඒ නිසා එයාලා එවපු නිවැරදි කිරීම තමයි මම යැව්වේ. විමර්ශනයේදී අනාවරණය වෙයි. මම ඒක අහන එක එච්චර ගැලපෙන්නේ නැහැනේ.
දෙසැ. 01 වාර්තාව
පුදුකුඩුඉරිප්පු පොලිස් බල ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානයෙන් සඟවා තබන ලදැයි කියන රත්‍රන් හා අවි ආයුධ ගොඩගැනීම සඳහා ගියැයි චෝදනා එල්ල වූ මහජන සාමය අමාත්‍යවරයාගේ ලේකම්වරයා සම්බන්ධයෙන් දිවුලපිටියේ ඉඩම් ගනුදෙනුවක් ගැන ද චෝදනාවක් ඇතැයි MediaLK පසුගිය 01දා වාර්තා කළේය.
දිවුලපිටිය, උල්වල්පොල, සියඹලාගහවත්තේ ඇති තම සැමියාට අයත් ඉඩමකට වෙනත් පිරිසක් ව්‍යාජ ඔප්පු සකස් කිරීමක් ගැන මීගමුව විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවත්, නීතිය හා සාමය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පැමිණ ඉඩම බලහත්කාරයෙන් මැනීමට උත්සාහ කළ බවත්, මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය ද දැනුම්වත් කළ බවත්, පොලිසියේ සහ ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එම කටයුත්ත ව්‍යර්ථ වූ බවත් නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් සමන්ති ජයකොඩි නම් කාන්තාවක සඳහන් කර තිබේ.
කිසිවකු අත්අඩංගුවට ගෙන නෑ
ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් 2019 මාර්තු 10 වැනිදා මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට SCIB/ 01 153/293 අංකයෙන් පැමිණිල්ලක් යොමු කළ බවත්, ඒ ගැන මේ වන තෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති බවත් සමන්ති මහත්මිය MediaLK වෙත ප්‍රකාශ කළාය.
‘2021 ජුනි මාසේ 13 වැනිදා සරත් වීරසේකර මහත්මයාගේ ලේකම්වරයෙක් ඇවිත් ඉඩම මනින්න ලෑස්ති වුණා. වත්තේ නැවතිලා හිටපු පිරිස මට මේ ගැන කිව්වම මම එතැන්ට ගියා. පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසකුත් ඉඩමට එහායින් වාහනය නතර කරගෙන හිටියා’ යැයි ඇය සඳහන් කළාය.
‘කුඩු දානවා’
‘එස්ටීඑෆ් එකෙන් කියලා අවස්ථා දෙකකදි ඉඩමේ නැවතිලා ඉන්න අයගෙ ගෙදර ඇවිත් තර්ජනය කරලා තිබුණා. ඔවුන්ට කුඩු දානවා කියලා බය කරලා තිබුණා. මේ ගැන ඔවුන් පොලිසියට පැමිණිලි කළා’ යැයි ද සමන්ති මහත්මිය කීවාය.
පොලිස් විශේෂ කාර්ය බලකාය යැයි කියාගනිමින් පැමිණි පිරිස එක් අවස්ථාවකදී සීසීටීවී අක්‍රීය කිරීම සඳහා නිවසේ විදුලි පරිපථය විසන්ධි කළ බවත්, තවත් අවස්ථාවක කැමරාවක් වෙනත් පැත්තකට හැරවූ බවත් නිවැසියෝ කියති.
එස්ටීඑෆ් යැයි කියාගත් පුද්ගලයෙක් ආරක්ෂිත හිස්වැස්මක් හෝ නොමැතිව නිල ඇඳුම ඇඳගත් එස්ටීඑෆ් නිලධාරියකු සමඟ යතුරු පැදියේ සිටින අයුරු පහත සීසීටීවී ඡායාරූපයේ දැක්වේ.
ඇමැතිවරයාගේ ලේකම්වරයකු කියාගත් පුද්ගලයා සමන්ති මහත්මිය සමඟ සාකච්ඡා කරන අයුරු පහත ඡායාරූපයේ දැක්වේ.
ඉඩම මැනීමට උත්සාහ කළ බව කියන දිනයේ විශේෂ කාර්ය බලකායේ පිරිස පැමිණියේයැයි චෝදනා එල්ල වන වාහනය නතර කර ඇති අයුරු පහත ඡායාරූපයේ දැක්වේ.

පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසැකකරුවකු පැමිණෙන තුරු සහෝදරිය රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !
Next articleමානව හිමිකම් දිනයට පෙර දින අපරාධ නඩුවක චූදිතයෙක් වයඹ ආණ්ඩුකාර ධුරයට !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here