සැකකරුවකු පැමිණෙන තුරු සහෝදරිය රඳවා ගැනීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි !

සැකකරුවකු පොලිසියට පැමිණෙන තුරු ඔහුගේ සහෝදරියක පොලිසියේ රඳවා තබාගැනීමට උත්සාහ කිරීමෙන් කොට්ටාව පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නිලධාරීන් දෙදෙනාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් අදාළ කාන්තාවට ගෙවන ලෙස නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (06) මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.
2012 වසරේ අගෝස්තු 09 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිදුවූ මේ සිදුවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම එම වසරේ ම ගොනුකරනු ලැබ තිබිණි. කෙසේ වෙතත් පෙත්සම විභාගයට ගෙන තිබුණේ ඊට වසර 09කට පසු, 2021 අගෝස්තු 09 වැනිදා ය.
කොට්ටාව පොලිසියේ එවකට සේවය කළ කොළොම් මුහන්දිරම්ගේ සිසිර නම් සංවර්ධන සහකාරවරයෙක්, දිසානායක මුදියන්සේලාගේ උපාලි සෙනරත් දිසානායක නම් කොට්ටාව පොලිසියේ එවකට වැඩ බලන ස්ථානාධිපතිවරයා, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාලිය ද සිල්වා, හෝමාගම දකුණ සහකාර පොලිස් අධිකාරි සේනාපති, පොලිස්පති සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
අසත්‍ය ප්‍රකාශය
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති කාන්තාව කොස්වත්තේ පදිංචිකාරියක වන අතර, එවකට ඇය හත් හැවිරිදි දරුවකුගේ මවක් වූවාය. 2012 අගෝස්තු 09 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පස්වරු 5ට පමණ මෙම කාන්තාවට දුරකතන ඇමතුමක් පැමිණ ඇති බවත්, තමන් කොට්ටාව පොලිසියේ නිලධාරියකු ලෙස ඔහු හඳුන්වා දුන් බවත්, කාන්තාවගේ සහෝදරයා හදිසි අනතුරකට මුහුණ දීම නිසා රෝහල් ගත කළැයි ඔහු ප්‍රකාශ කළ බවත් මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වී තිබේ.
සහෝදරයාගේ තත්ත්වය විමසූ විට ඒ ගැන නිශ්චිත යමක් ප්‍රකාශ නොකළ අදාළ නිලධාරියා, සහෝදරයාගේ පසුබිම් විස්තර විමසා, රෝහලට නොගොස් පොලිසියට පැමිණෙන ලෙස කාන්තාවට දැනුම් දී තිබේ. ඒ සමඟ ම ඇය ඥාතියකුට මේ බව දැනුම් දී ඇති අතර, සහෝදරයා කතා කර කියා ඇත්තේ තමන් අනතුරකට ලක්නොවූ බවයි. සහෝදරයා ගැන විමසුවේ ඇයි දැයි දුරකතන ඇමතුම දුන් පොලිසියේ යැයි හඳුන්වාගත් නිලධාරියාගෙන් විමසූ විට, ඔහු කියා ඇත්තේ පස්වරු හය පසුවීමට පෙර පොලිසියට පැමිණෙන ලෙසයි.
බිය ගැන්වීම
තමන්ට අපහසුතා ඇති බැවින් හය වන විට පැමිණීමට නොහැකි බව ඇය දැනුම් දී තිබේ. එවිට පොලිසියේ යැයි හඳුන්වා ගත් පුද්ගලයා දැනුම් දී ඇත්තේ පොලිසියට නොපැමිණියහොත් ඇගේ සහෝදරයාට සහ පවුලේ සාමාජිකයන්ට අපහසුතාවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි. ඒ ගැන බියට පත්වූ කාන්තාව පස්වරු 5.30ට පමණ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක සිටි තම දරුවා ද රැගෙන පොලිසියට ගොස් තිබේ.
ඇය පොලිසියට ගිය පසු පළමුවැනි වගඋත්තරකරු ලෙස සඳහන් පොලිසියේ යැයි හඳුන්වා ගනිමින් දුරකතන ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇත්තේ සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී ඇති බැවින් ඔහු කඩිනමින් පොලිසියට ඉදිරිපත් කරන ලෙසයි. පෙත්සම්කාර කාන්තාව ඒ සඳහා පසු දිනය තෙක් කල් ඉල්ලා ඇති අතර, සහෝදරයා පැමිණෙන තුරු ඇය පොලිසියේ රඳවා තබාගන්නා බවට තර්ජනය කර ඇත.
‘දන්නවනේ මේක පොලිසිය’
‘මල්ලි පොලිසියට අරගෙන එනකල් අපි යන්න දෙන්නේ නැහැ. දන්නවානේ මේක පොලිසිය. මල්ලිව ගෙනාවේ නැත්නම් පස්සේ හුඟක් කරදර වෙන්න වෙයි’ යනුවෙන් පළමුවැනි වගඋත්තරකරු තර්ජනය කළ බව පෙත්සම්කාර කාන්තාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වෙයි. සහෝදරයා සොයාගැනීම සඳහා ජීප් රියේ යෑමට පැමිණෙන ලෙස පළමුවැනි වගඋත්තරකරු දැනුම් දුන් බවත්, එම අවස්ථාව වන විට දෙවැනි වගඋත්තරකරු පොලිස් ස්ථානයේ සිට ඇති බවත් පෙත්සමේ සඳහන් ය.
පොලිසියෙන් ලැබුණු දුරකතන ඇමතුම ගැන දැනුම් දුන් මෙම කාන්තාවගේ ඥාතියා නීතිඥවරියක කැඳවාගෙන පොලිසියට පැමිණ ඇති බවත්, කාන්තාව පොලිසියේ රඳවා තබාගැනීමට හේතුව නීතිඥවරිය විමසූ විට ඇය කැමැත්තෙන් පොලිසියේ සිටි බවට වගඋත්තරකරුවන් ප්‍රකාශ කළ බවත්, ඇයට එරෙහිව පැමිණිල්ලක් ඇත්දැයි විමසූ විට පැමිණිල්ලක් නැති බව පොලිසිය ප්‍රකාශ කළ බවත්, පසුව නීතිඥවරිය ඇය පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බවත් පෙත්සම සහ නීතිඥවරියගේ දිවුරුම් ප්‍රකාශය උපුටා දක්වමින් නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.
නීතිය ඉක්මවා කටයුතු කිරීම
පළමුවැනි වගඋත්තරකරු කොට්ටාව පොලිසියට අනුයුක්තව සේවය කළ සංවර්ධන සහකාරවරයකු බවත්, ඔහුට කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට බලයක් නැති බවත්, ඔහුගේ රාජකාරිය වී ඇත්තේ පැමිණිලි ලැබුණු පසු පොලිස් ස්ථානයේ විමර්ශන කරන පොලිස් නිලධාරීන් වෙත ඒවා යොමුකිරීම පමණක් බවත් වගඋත්තරකරුවන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ව ඉදිරිපත් කළ ලේඛනවල සඳහන් වේ.
එසේ තිබියදී ඔහු නීතිය ඉක්මවා කටයුතු කර ඇති බව මූලික අයිතිවාසිකම් පෙත්සම් තීන්දුවේ සඳහන් වෙයි.
ස්ථානාධිපති වගකීම
දෙවැනි වගඋත්තරකරු පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වී ඇත. පොලිස් ස්ථානය භාරව කටයුතු කරන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ සියලුම කාර්යයන් සඳහා පෞද්ගලිකව වගකිව යුතු බව උක්වත්ත එ. මාරසිංහ සහ තවත් අය නම් පැරණි තීන්දුවක් උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි.
වන්දි ගෙවීමටත් නියෝග
පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස නීතිමය විශ්ලේෂණයක් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය, අවසන් වශයෙන් තීන්දු කර ඇත්තේ එම වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 13(1) යන ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්කාර කාන්තාව විෂයයෙහි උල්ලංඝනය වී ඇති බවයි.
පෙත්සම්කාර කාන්තාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පළමු සහ දෙවැනි වගඋත්තරකරුවන් දෙදෙනාට මාස තුනක් ඇතුළත තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය බැගින් අදාළ පෙත්සම්කාර කාන්තාවට ගෙවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් කොඩිකාර මහතා පෙනී සිටි අතර, පෙත්සම්කාරිය වෙනුවෙන් උදුම්බරා දසනායක, රාධා කුරුවිටබණ්ඩාර සහ ශෙලෝමි ගුණරත්න යන නීතිඥ මහත්ම-මහත්මීන් සමඟ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියේය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleපිල්ලෙයාන්ගේ ගෝලයෝ නිදැල්ලේ ; මඩකලපුව ශිවානන්ද පාසලේ ගුරුවරු ලෙඩ නිවාඩු දමති
Next articleපොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here