මානව හිමිකම් දිනයට පෙර දින අපරාධ නඩුවක චූදිතයෙක් වයඹ ආණ්ඩුකාර ධුරයට !

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයකු වන හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇති දෙසැම්බර් 10 දිනට පෙර දිනයේ මේ පත්වීම සිදු කෙරිණි. රාජා කොල්ලුරේගේ අභාවයෙන් එම පළාත් ආණ්ඩුකාර ධුරය හිස් විය.
චෝදනා 667ක්
2008 අගෝස්තු 08 දාත්, 2009 සැප්තැම්බර් 21 දාත් අතර කාලය තුළ දී කොටහේන, වැල්ලවත්ත, ත්‍රීකුණාමලය, මඩකලපුව ඇතුළු ස්ථාන කිහිපයකදී කස්තුරි ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් නමැත්තන් මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යෑම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපොළ බලහත්කාරයෙන් ලබාගැනීම, තරුණයන් අතුරුදන් කිරීමට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මීට අදාළ අධිචෝදනා ගොනු කර තිබේ.
මේ නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී.දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, දිලංක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු, රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, උපුල් චමින්ද, චන්දන ප්‍රසාද් හෙට්‌ටිආරච්චි, නන්දප්‍රිය හෙට්ටිහැන්දි, සම්පත් ජනක පෙරේරා හා වසන්ත කරන්නාගොඩ නීතිපතිවරයා විසින් නම්කර ඇත.
දේශපාලන පළිගැනීම් කොමිසම
මෙම නඩුවට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යෑම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මගින් නිර්දේශයක් ද ඉදිරිපත් කර තිබිණි. එම කොමිසම අදාළ නිර්දේශ මගින් අධිකරණයේ විභාග වන නඩුවලට බලපෑම් කර ඇති බවට ජ්‍යෙෂ්ඨ නීතිඥවරු අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්හ.
චෝදනා ඉවත් කර ගැනීම
මේ අතර පසුගිය අගෝස්තු 04දා නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් නඩුව විභාග කෙරෙන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බවයි. ඒ බව නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අභියාචනාධිකරණයට ද දැනුම් දුන්නේය. කෙසේ වෙතත් මීට එරෙහිව අතුරුදන් කරන ලද තරුණයන්ගේ මව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර, මහාධිකරණය මගින් නීතිපතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද කටයුතු කර තිබිණි.
ජනාධිපතිගේ වගකීම පිළිබඳ ප්‍රශ්නයක් – හිටපු අමාත්‍යංශ ලේකම්
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ආයතන කටයුතු භාර අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්, පළාත් සභාවක ආයතන කටයුතු පිළිබඳ සියලු වගකීම් දරන්නේ ආණ්ඩුකාරවරයා බවත්, එවැනි ධුරයකට චූදිතයකු පත්කිරීම බරපතළ තත්ත්වයක් බවත් හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් අවධාරණය කරයි.
ආණ්ඩුකාරවරයා පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අභිමතානුසාරී බලයක් පැවතියද, අදාළ පළාතේ සියලු පළාත් රාජ්‍ය සේවකයන්ගේ පත්කිරීම්, ඉවත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරුකිරීම් ඇතුළු සියලු ආයතන කටයුතුවල බලය වසන්ත කරන්නාගොඩ වැනි අපරාධ චෝදනා ලත් අයෙකුට භාරදීම කිසිවකු අනුමත නොකරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. පළාත් සභාවේ ප්‍රධාන විධායක බලධාරියා වන්නේ පළාත් මහ ඇමැති ය.
එවැනි තත්ත්වයක් යටතේ මෙය ජනාධිපතිවරයාගේ වගකීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleපොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Next articleජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here