මූලික අයිතිවාසිකම්වලට අත තියන්න විධායකයට අයිතියක් නෑ – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම්වලට අත තැබීමට විධායකයට කිසිදු අයිතියක් නැතැයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.
විරෝධතා මර්දනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය භාවිත කරන ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව මෙහිදී නීතිඥ සුනිල් වටගල පැවසීය. නීතිඥවරයා අදාළ කරුණ මෙසේ පැහැදිලි කළේ අද (08) පැවැති මාධ්‍ය හමුවකදී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ලිපිය

‘මේ අත්අඩංගුවට ගැනීම්වලට මූලික පදනම කර ගන්නේ 2021.07.06 වැනි දින පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ ලිපියක්. මේ ලිපියේ සඳහන් වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා යැයි කියන “රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු සිදු නොකළ යුතුයි.” කියන දේ. මේ ලිපිය අපි කවුරුවත් දැකලා නැහැ. අපි ඉතාම වගකීමෙන් කියනවා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරිපත් කරන මේ ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. මේ ලිපියේ සඳහන් රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අයිතිය ගැන සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. විශේෂ වටිනාකමක් සහිතව “මූලික අයිතිවාසිකම්” යටතේ වගන්ති සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 වගන්තිය යටතේ මේ අයිතිය ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ලිපිය මගින් ඒ අයිතිය යම් තහනමකට ලක් කරලා අත්අඩංගුවට ගැනීමට යොදා ගන්නවා. එය තනිකරම නීතියට පටහැනියි. මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයේ වගන්ති වෙනස් කරන්න නම් 15වැනි වගන්තිය යටතේ අදාල නිතියකින් විතරයි. මෙහි නීතිය කියන්නේ මොකක්ද? 170 වගන්තියේ අර්ථ විග්‍රහයේ සඳහන් වෙන හැටියට නීතිය කියන්නේ පාර්ලිමේන්තු පනතකට. පාර්ලිමේන්තු පනතකින් 14වැනි වගන්තිය වෙනස් වුණොත් විතරයි මේ වගේ ලිපියක් එන්න පුළුවන්. ඒ හැර අනු නීතියකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කරන්න බැහැ. තව විදිහකින් කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය පවතින තාක් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරන්නේ කොහොමද?

විධායකයට අයිතියක් නෑ

නිරෝධායන නිර්දේශ යටතේ ඇමතිට පුළුවන් නියෝග හදන්න. ඒ නියෝග ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා. මේ ලිපියෙන් කියන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් රැස්වීම් හා උද්ඝෝෂණ තහනම් කරන්න පොලිස්පතිට කීවාය කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියේ සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ වගන්තිවලට අත තියන්න විධායකයට අයිතියක් නැති බව. එහෙම අවස්ථාවක් දීලා නැත්තේ ආණ්ඩුව මෙහෙයවීමේ ක්‍රියාවලියක් ඇතුළේ විධායකය මූලික අයිතිවාසිකම්වලට ඇඟලි ගහල වෙනස් කරන නිසා. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තිය 14.1 වගන්තිය සහ 15වන වගන්තියත් 170 වැනි වගන්තියත් ගත්තාම මේ ලියවිල්ල අර්ථ ශූන්‍ය ලියවිල්ලක්. මේ ලියවිල්ලට කිසිම බලයක් නැහැ. මේ ලියවිල්ලෙන් කරලා තියෙන්නේ තමන්ගේ කුප්‍රකට දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමක්. මේක නීති ලියවිල්ලක් නෙවෙයි, දේශපාලන ලියවිල්ලක්. මේ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන අතකොළුවක් වෙච්ච අයගේ සිතැඟි ඉටු කිරීමක්.

අර්ථශුන්‍ය ලියවිල්ලක්?

අපට යන්න පුලුවන් නීතිමය රාමුව ඇතුළේ. මේ ලියවිල්ල අර්ථශූන්‍ය ලියවිල්ලක් බව පෙන්වලා තීන්දුවක් ගන්න ක්‍රියාත්මක වෙනවා. රැස්වීම් උද්ඝෝෂණ තහනම් කරන්න අදාල නීතිය වෙනස් කරන්නැතිව ඇමතිට, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ට හො පොලිස්පතිවරයාට මූලික අයිතිවාසිකම් නීතියට අත තියන්න බැහැ. අවශ්‍ය නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපිත් සමග සංවාදයකට එන්න. මේ උත්තරීතර නීතියට අත තියන්න සෞඛ්‍ය ඇමතිවරියගේ නිරෝධායන නීතිවලටවත්, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ටවත් පොලිස්පතිටවත් පුළුවන්කමක් නැහැ. අපි මේ ලියවිල්ල අර්ථශූන්‍ය කරන්න කඩිනමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා. ඒ පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලියවිල්ලේ ස්වභාවය අර්ථ නිරූපනය කරාවි. මේ රටේ විශාල පොහොර ප්‍රශ්නයකට උත්තර ඉල්ලා ගොවි උද්ඝෝෂණයක් යනවා. පොහොර ප්‍රශ්නයට උත්තර නොදී නිරෝධායන රෙගුලාසි ඉදිරිපත් කරනවා. මේ රටේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න යනවා. ඊට එරෙහිව විරෝධතා මතුවෙනකොට නිරෝධායන රෙගුලාසි ඉදිරිපත් කරනවා. මේ අය දේශපාලන හිඟන්නෝ.’
මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නීතිඥ උපුල් කුමරප්පෙරුම පැවසුවේ පොලිසිය විසින් ජනතාව අත්අඩංගුවට ගැනීම සඳහා භාවිත කරන අදාළ ලිපිය අභියෝගයට ලක්කිරීමේ හැකියාව පවතින බවයි.

අධිකරණයට පමණක් ඇති බලය

‘නිරෝධායන ආඥා පනත හඳුන්වා දුන්නේ 1897දී. ඒ වෙනකොට ලංකාව පස්වැනි ජෝර්ජ් රජුගේ යටත්විජිතයක්. ඔහුගේ නමත් මේ ආඥා පනතේ සඳහන් වෙනවා. පනතට අනුව නිකුත් කළ ගැසට් පත්‍රය 1950 දශකය වන තෙක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සෙ 1972 ව්‍යවස්ථාවේදී එතෙක් භාවිත කළ සියලුම නීති අපේ නීති පද්ධතියට ඇතුල් කර ගන්නවා. ඊට පස්සේ 1978 ව්‍යවස්ථාවේ 76වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කරන්නේ රටේ නීති සම්පාදනය කිරීමේ බලය ව්‍යවස්ථාදායකයට තිබෙන බව. වෙනත් ආයතනයකට නීති සම්පාදනය කරන්න බලයක් නැහැ. නමුත් දැන් නිරෝධායන පනත එක්ක අමාත්‍යවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. මේ නියෝගවල ස්වභාවය කවරකාරයෙන්ද කියලා පරික්‍ෂණයක් කරන්න අධිකරණය හැරෙන්නට වෙනත් ස්ථානයක් නැහැ.

අත්අඩංගුවට ගන්නේ මොනවටද?

පසුගිය දවස් ටිකේම අත්අඩංගුවට පත්වෙච්ච පුද්ගලයන් අරන් තියෙන්නේ අපරාධ වරදකට. මේ නිරෝධායන පනතේ නිශ්චිතවම සඳහන් වෙන අපරාධ වර්ග දෙකක් තියෙනවා. ඒවාට අදාළ දඬුවම් තියෙනවා. නමුත් පොලිස්පතිවරයාගේ නිවේදනය අනුව අත්අඩංගුවට පත්වෙන අපරාධය කුමක්ද කියලා පැහැදිලි කර නැහැ. කොරෝනා ව්‍යාප්තිය එක්ක නිකුත් කළ ගැසට් පත්‍ර කිහිපයක්ම තිබෙනවා. ඒ ගැසට්වල සඳහන් වෙන්නේ සමාජ දුරස්ථභාවය පිළිපැදීම, මුව ආවරණ පැළඳීම, ආදී වශයෙන් කරුණු කිහිපයක්.2020.10.15 නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා, යම් කෙනෙක් සමාජ දුරස්ථභාවය සහ මුව ආවරණ පිළිපදින්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. නමුත් අත්අඩංගුවට පත්වුණු අය මාර්ගෝපදේශ ඇතුළේ කටයුතු කළ යුතු බව සඳහන් කරනවා. එහෙම කෙනෙක් අත්අඩංගුවට ගන්නේ කොහොමද? එතැන පුද්ගලික නිදහස අවහිර කිරීමක්.

භයානක තත්ත්වයක්

මහජන ආරක්‍ෂක පනත යටතේ හදිසි නීතිය සෑම මාසයකම පැනවීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඕනෑ. පුද්ගල නිදහස, භාෂණයේ නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් සීමා කිරීම් පාර්ලිමේන්තුවේ තීරණය අනුව ඉදිරියට ගෙනයනවාද කියන එක ක්‍රියාත්මක වුණා. නමුත් දැන් නිරෝධායන රෙගුලාසිවල ස්වභාවය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වෙන්නේ නැහැ. මේ නිසා සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉදිරිපත් කළා කියන ලිපිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ පුද්ගල නිදහස වෙනත් අධිකාරියකට පැවරීමක් කරන්න බැහැ. රටේ පුරවැසියන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න සහ දඬුවම් කරන්න වෙනත් ලියවිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා රටේ ජනතාවට දඬුවම් කිරීම සඳහා නීතියක් නිර්මාණය කර තිබෙනවා. මේක ඉතාම භයානක තත්වයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක සෘජුවම ගැටෙන තත්වයක්. මූලික අයිතිවාසිකම් සීමා කිරීම් කළ හැකි අවස්ථා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ප්‍රතිපාදන ඉක්මවා යාමක්.

අභියෝගයට ලක්කරන්න පුළුවන්

මේ ලේඛනය පවතින නීතියට පටහැනියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අපරාධ නීතියට යන දෙකටම පටහැනියි. ඒ වගේම මූලික අයිතිවාසිකම්වලට ඇතුළත්ම පුද්ගල නිදහස සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඒ නිසා මේ ලේඛනය අභියෝගයට ලක් කිරීමේ අයිතිය ජනතාවට තිබෙනවා.’
Previous article10 දෙනකුට පොලිසිය පහරදීලා – නීතිඥවරු : නිරෝධායනය කරන්න අධිකරණයට බලයක් නෑ – අධිකරණය
Next articleඋපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here