හමුදාවට එන්නත්කරණය දුන්නේ ඇයි? : අපිට එන්නත් නෑ – සෞඛ්‍ය අංශ

(නිලුක සඳුන් පද්මසිරි)
රජය කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය හමුදාවට බාර දීම සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි විරෝධයක් ඇති වී තිබේ.
යුද හමුදාව පසුගියදා නිවේදනය කළේ යුද හමුදා රෝහල්වලින් එන්නත් ලබාගත හැකි බවයි. ඒ සඳහා රෝහල් ලැයිස්තුවක්ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

වගකීම කාටද?

හමුදාව එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ ප්‍රධාන වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික රුවන් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසූවේ එන්නත් තොග සෞඛ්‍ය අංශවලට නොදී හමුදාවට ලබාදීම මගින් රෝහල්වල කරන එන්නත්කරණ මධ්‍යස්ථාන කරගෙන යාමට නොහැකි වී ඇති බවයි.
හමුදාව එන්නත්කරණයට මැදිහත් වීම ගැන මොකක්ද අදහස?
හමුදාව එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන ගැටළුව. වැඩ වර්ජන ප්‍රශ්නයක් තිබුණත් ගිය සතියේ එන්නත්කරණ වැඩසටහන පටන් ගත්ත දවසේ 93000ක් දුන්නා එන්නත් ඩොක්ටර්ලා. එතකොට 93000ක් එන්නත් දිලා තමයි එදා එන්නත්කරණය කරපු රටේ මුළු එන්නත් සංඛ්‍යාව 150000ක් වුණේ. ඒත් මීඩියාවල ගියේ ඒක හමුදාවෙන් දුන්නා කියලා. එතනත් ගැටළුවක් තියෙනවා තොරතුරු හරියට යන්නේ නැති එක. අනිත් එක සෞඛ්‍ය ලේකම්වරයා සෞඛ්‍ය අංශවලට මේක දෙන්නැතිව හමුදාවට ලබාදීමක් කරනවා. එතැන තමයි ගැටළුව තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අපි රෝහල්වල කරන එන්නත්කරණ මධ්‍යස්ථාන දැන් අපිට කරගෙන යන්න බැරි වෙලා තියෙන්නේ. ගොඩක් තැන් වල.
ඒ කියන්නේ එන්නත් සෞඛ්‍ය අංශවලට එන්නැතිව හමුදාවට යනවා කියන එකද?
ඔව්..හමුදාවට යනවා.
එන්නත්කරණය කරන්න වගකීම තියෙන්නේ කාටද…?
සෞඛ්‍ය අංශවලටනේ. සෞඛ්‍ය අංශ තියෙද්දි හමුදාවට දෙන එක වැරදියි කියන එක තමයි අපි කියන්නේ.ඒක තමයි ගැටළුව.
ව්‍යසන තත්ත්වයකදී අපිට කරගන්න බැරිවෙලා තියෙනකොට හමුදාවෙන් අපිට උදව් ගන්න එක හරි. නමුත් මේ වැඩේ කරන්න හමුදාවට දෙන එක හරියන්නේ නෑ.
මේ ගැන බලධාරීන් දැනුවත් කළාද..?
අපි මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියකිනුත් දැනුම් දුන්නා.

හරිය⁣ට කරනවානම් ගැටළුවක් නෑ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා මෙසේ පැවසීය.
“අපිට ගැටළුවක් නෑ අනික් අංශවල සහයෝගය දායකත්වය ලබාගන්න එ⁣ක⁣ට. නමුත් එය සිදුවිය යුත්තේ නිසි ක්‍රමවේදයකට.”

ඒගොල්ලන්ටත් පුළුවන්

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මෙසේ පැවසීය.
එන්නත්කරණය වැඩ කටයුතු හමුදාවට ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විරෝධය පළ කරනවා. මොකද්ද මේ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් තියෙන පැහැදිලි කිරීම.?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෙරෙන ක්‍රියාවලිය පරිපූර්ණය කිරීමට (supplement) තමා මේ හමුදාව යොදවාගන්නේ.. මේ ක්‍රියාවලියේදී අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන දේට වඩා අමතර කණ්ඩායමකට මේ බේත ලබාදෙන්න පුළුවන් වෙනවා.
පුහුණුව නැති අය මේ එන්නත්කරණය කරනවා කියලා කතාවක් තියෙනවා.. හමුදාවේ මොන කණ්ඩායමද මේක කරන්නේ..?
මීට කළිනුත් යුද හමුදාවට හමුදා කාර්ය මණ්ඩලයට එන්නත් ලබා දුන්නේ ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකායන්. ඒගොල්ලන්ට පුහුණුව තියෙනවා හැකියාව තියෙනවා ඒ අයම තමයි මේ ක්‍රියාවලියට යොදවන්නේ. ඒ නිසා පුහුණුව නෑ කියන එක මේකට අදාළ වෙන්නේ නෑ.
තුවක්කුවක් අරන් වෙඩි තියන හමුදාවක් නෙමෙයිනේ මේ බේත විදින්නේ. වෛද්‍ය බලකායනේ. හමුදාවට විශාල වෛද්‍ය බලකායක් තියෙනවා. යුද හමුදාවේ සාමාජිකයන්ට එන්නත් කළේත් ඒ ගොල්ලොම තමයි. ඒ නිසා ඔය මතු කරන ගැටළුව සාධාරණ නෑ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.(ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්)
Previous articleකොරෝනා මර්දනය වෙලා ? : පීසීආර් අඩු කරලා – සෞඛ්‍ය දත්ත අනාවරණය කරන ඇත්ත !
Next articleමම දැක්කෙ නෑ : මම දන්නෙ නෑ – මර්දනය ගැන පොලිසිය භාර ඇමැති කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here