හමුදාව එන්නත්කරණය කරන්නේ නුපුහුණු අය මගින් ද ? – ඇවිත් ඇස් දෙකෙන්ම බලන්න – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

(නිලූක සඳුන් පද්මසිරි)
යුද හමුදාව එන්නත්කරණය සිදුකරන්නේ ඒ සම්බන්ධයෙන් පළපුරුද්දක් නොමැති නිලධාරීන් යොදාගෙන බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා MediaLK වෙත පැවසීය.
යුද හමුදාව යනු සෑම ආයතනයකින්ම පරිපූර්ණ සම්පූර්ණ හමුදාවක් බවත් මේ සඳහා දායක වන්නේ ⁣යුද හමුදා වෛද්‍ය බලකා බවත් වෛද්‍ය බලකායේ සිටින්නේ පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කවුරුන් හෝ එන්නත්කරණය ප්‍රමාද කරන්නේ නම් එය ජාතිය ගැන කැක්කුමක් නොමැතිකමක් බවද යුද හමුදාව යනු ජාතියේ ආරක්ෂකයා බවත් හෙතෙම පැවසීය.
හමුදාව එන්නත්කරණයට දායක වෙන එක ගැන සමාජයේ ලොකු කතා බහක් යනවා. හමුදාව මේක කරන්නේ පුහුණු නැති අය දම්මලා කියලා කතා බහක් ඇති වෙමින් පවතිනවා. මොකද්ද ඇත්ත…?
ඒක මම තනිකරම ප්‍රතික්ෂේප කරනවා. මොකද යුද හමුදාව කියන්නේ හැම ආයතනයකින්ම පරිපූර්ණ සම්පූර්ණ හමුදාවක්. ඒකෙදි ⁣යුද හමුදා වෛද්‍ය බලකායේ දායකත්වය මොකද්ද කියන එක හැමෝම දන්නවා. වෛද්‍ය බලකාය ගත්තම අපේ රෝහල්වල පුහුණු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන්. එයාලාගේ දායකත්වයෙන් තමයි වෙන්නේ. මේ වෙලාවේ දියත උයනට ඇවිත් බලන්න පුළුවන්නම් ඇස් දෙකෙන්ම බලන්න පුළුවන් කොහොමද එ්ක වෙන්නේ කියලා. දකින්නේ නැතිව ද්වේෂ සහගතව ප්‍රචාරය කරන බොරු මම සම්පූර්ණයෙන්ම බැහැර කරනවා. ඔය කිව්ව ජාතියේ එකක් නෑ.
අපේම රටේ ජනතාව එන්නත්කරණයට කොච්චර කැමතිද කියලා පෙනෙන්න⁣ට තියෙනවා. රජයෙන් එන්නත් ගෙනල්ලත් තියෙනවා. එතකොට ජනතාව එන්නත් ලබාගන්නත් කැමතිනම් රජයෙන් එන්නත් ගෙනල්ලත් තියෙනවානම් කවුරු හරි එන්නත් කරන එක ප්‍රමාද කරනවානම් ඒක මේ ජාතිය ගැන කැක්කුමක් නැති එකේකෙනෙක්. යුද හමුදාව කියන්නේ ජාතියේ ආරක්ෂකයා. එතකොට ජාතියේ ආරක්ෂකයා ඉන්නේ ජනතාව බලාගන්න. රජයෙන් අපිට යම් කිසි වගකීමක් පැවරුවාම ඒක උපරිමයෙන්ම ඉෂ්ට කරන එක විනය ගරුක හමුදාවක් විදියට අපේ කාර්යභාරය.
සුදුසුකම් ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ ජාතියේ ආරක්ෂකයා විදියට ඒ කාර්යභාරය ඉටු කරනවා. ඒක තමයි මට ඒ ගැන කියන්න තියෙන්නේ.
කොහොමද එන්නත්කරණ වැඩපිළිවෙළ සිදුවෙන්නේ..?
දැන් මේ වෙනකොට බස්නාහිර පළාතේ අවුරුදු 30 වැඩි අයට එන්නත්කරණය වෙනවා කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල.එතකොට අනිකුත් පළාත්වල අවුරුදු 60ට වැඩි අයට තමයි එන්නත්කරණය වෙන්නේ.
බස්නාහිර පළාතේ දිය උයනේ බත්තරමුල්ලේ මේ වෙනකොටත් යුද හමුදාවෙන් කරගෙන යනවා. ඊට අමතරව යුද හමුදා රෝහලෙත් එන්නත්කරණය වෙනවා.
ඊට අමතරව ඊයේ සිදුකළා කළින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගත්ත කොළඹ 1-15 ප්‍රදේශවල පදිංචි අවුරුදු 55ට වැඩි අයට ඒ ගොල්ලෝන්ගේ දෙවැනි මාත්‍රාව ලබා දෙන එක. යුද හමුදාවේ තැන් තුනකදී අපි ඒක ලබාදුන්නා.. එකක් නාරාහේන්පිට යුද හමුදා රෝහල, පී.බී සිරිසේන ක්‍රීඩාංගණය, වැල්ලවත්තේ රොක්සි ගාඩන් එක. ඒ අනුව කොළඹ 1-15 ප්‍රදේශවල වයස 55ට වැඩි අයට යුද හමුදාව මගින් එන්නත්කරණය සිදු කළා .
පිටපළාත්වල තත්ත්වය…?
පිටපළාත්වල ගත්තම මේ වෙලාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ දියතලාවේ තියෙනවා.කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, පොලොන්නරුව දිස්ත්‍රික්කවල හමුදා රෝහල්වල එන්නත්කරණය සිදුවෙමින් පවතිනවා වයස අවුරුදු 60ට වැඩි අයට.
හමුදාව විසින් එන්නත්කරණය සිදුකිරීම  සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අදහස් සහිත වාර්තාව මෙතැනින්…

Previous articleනිරෝධායන නීතියෙන් මර්දනය එපා – තවත් සංවිධාන 8කින් ඒකාබද්ධ නිවේදනයක් !
Next articleනිරෝධායන නීති මගින් විරෝධතා මර්දනය බරපතළ තත්ත්වයක් – වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45කින් ඒකාබද්ධ නිවේදනයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here