වෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි !

ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයාට අධිකරණයෙන් ඇප ලැබුණද, ඔහු මුදා හැරීම බන්ධනාගාරය ප්‍රතික්ෂේප කර ඇතැයි MediaLK වෙත වාර්තා වේ.
ඔහුට හෙට (10) දිනයේ පීසීආර් පරීක්ෂණයක් සිදු කර, එහි ප්‍රතිඵල ලැබුණු පසු අධිකරණ නියෝගයට අනුව මුදාහැරීමට හැකි බව බන්ධනාගාර ජේලර්වරුන් විසින් නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.
පීසීආර් පරීක්ෂණ සිදු කිරීම හෝ නිරෝධායනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තීරණයක් ගත හැකි නමුත් අධිකරණයෙන් ඇප ලබා දුන් පුද්ගලයෙකු යළි බන්ධනාගාරය යටතට පත්කිරීමට සෞඛ්‍ය අංශවලට හෝ බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි බවත්, එය නීතිවිරෝධී රඳවා තබා ගැනීමක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් MediaLK වෙත ප්‍රකාශ කළේය.
ඊයේ (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ තරුණයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. ඒ අනුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවනු ලැබිණි.
තරුණයා වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ.
පරිගණක අපරාධ පනත යටතේ මේ තරුණයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නද, එම පනතේ 06, 10 සහ 12 යන වගන්තිවල ඉදිරිපත් කර ඇති චෝදනා යටතට මේ සිදුවීම ගත නොහැකි බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය. මේ තරුණයා රජයේ යම් තොරතුරු පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී තිබේද යන්න සහ රජයේ යම් මුරපදයක් භාවිත කර යම් තොරතුරක් ලබාගෙන හෙළිදරව් කර තිබේද යන්න සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර, එවැන්නක් හෙළිදරව් වී නැති බව එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් විසින් අධිකරණයට ප්‍රකාශ කරන ලදි.
එසේ නම් එවැනි ක්‍රියාවකට අනුබල දී තිබේදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පිළිතුරක් ලබා දුන්නේ නැත. අනතුරුව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වෙනත් යම් නීතියක් යටතේ චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කළේය. පැමිණිල්ල යළි කැඳවීම ජූලි 01දා තෙක් කල් තැබිණි. මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කළ ද, ඔහු මුදාහැරීමට නොහැකි බවත්, ඔහුට පීසීආර් පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵල අනුව මුදාහරින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් විසින් ඇප ලද තරුණයාගේ නීතිඥවරුන්ට දැනුම් දී තිබේ.
කොවිඩ් 19 වෛරසය හඳුනාගැනීමේ පීසීආර් පරික්ෂණ ප්‍රතිඵල ලැබීමට සාමාන්‍යයෙන් දින තුනේ සිට පහ දක්වා කාලයක් යන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර පළ කළ ප්‍රවෘත්ති පහත දැක්වේ.

වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !

හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්

Previous articleසත්‍ය තීරණය කරන්නෙ පොලිසිය ද? – විපක්ෂය : රටවල් ගණනාවක් මෙහෙම කරනවා – ආණ්ඩුව : මර්දනය කිරීමේ අපේක්ෂාවක් නෑ – පොලිසිය
Next articleඅසත්‍ය පුවත් මුවාවෙන් වැටබඳින ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අධිකරණයට වගකීමක් නැද්ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here