සත්‍ය තීරණය කරන්නෙ පොලිසිය ද? – විපක්ෂය : රටවල් ගණනාවක් මෙහෙම කරනවා – ආණ්ඩුව : මර්දනය කිරීමේ අපේක්ෂාවක් නෑ – පොලිසිය

මාධ්‍යයට එරෙහිව අවි එසවීමේ ආණ්ඩුවේ මර්දනකාරී පියවර සමාජ මාධ්‍යවලට අත තබමින් ආරම්භ කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
නමුත් විරුද්ධ මතධාරීන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ මුල්ම අවස්ථාව මෙය නොවන බවත්, මාධ්‍යයට අවශ්‍ය වන්නේ ස්වයං වාරණයක් මිස රාජ්‍ය හෝ වෙනත් හස්තයක බලපෑම නොවන බවත් ඔහු සඳහන් කරයි.
මාධ්‍ය නිදහස වෙනුවෙන්ද තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්ද තමන් කොන්දේසි විරහිතව පෙනීසිටින බව ද, මාධ්‍යයට එරෙහිව සිදුකෙරෙන සියලු පන්නයේ වාරණ, තර්ජන සහ සීමාවලට එරෙහි වන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
මාධ්‍යයට එරෙහි වූ සෑම පාලකයෙකුටම, සෑම පාලනයකටම අවසානයේ උරුම වූයේ කෙබඳු ඉරණමක්දැයි යන්න සම්බන්ධයෙන් ඉතිහාසයේ සාක්ෂි තිබෙන බවත්, සියලුම මාධ්‍යවල නිදහස වෙනුවෙන් අරගල කරන සටනේ තමන් පෙරමුණේ සිටින බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.

රටවල් ගණනාවක මේවා ක්‍රියාත්මක වෙනවා – ජනමාධ්‍ය ඇමති

සමාජ මාධ්‍ය ජාලාවල අයිතිකරුවෙකු නොමැති ගිණුම්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නොයෙකුත් ක්‍රමවේද හරහා රටට, ජනතාවට සහ ජාතික සමගියට අහිතකර ක්‍රියාමාර්ග සිතාමතාම ඇතිකරන පුද්ගලයන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ මීට සති කිහිපයකට පෙර මේ සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළ බවත්, එයට අනුමැතිය හිමිව තිබෙන බවත් ය. ලංකාවේ පමණක් නොව ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි ලෝකයේ රටවල් ගණනාවක් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ද ඇමැතිවරයා මෙහිදී කීවේය.
සමාජ මාධ්‍ය ජාලවල පළවන ප්‍රවෘත්ති විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවන බව ඊයේ (07) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් සහ ‘සමාජ මාධ්‍ය ඇත්තටම රජයට තර්ජනයක් ද යන්න පිළිබඳව’ මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව සඳහන් කළේය.
ඇතැම් කරුණු ඉදිරියට පැමිණියේ මෙවැනි කරුණු-කාරණා සාධනීයව ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් නිසා බවත්, එවැනි සාධනීය වශයෙන් කරුණු-කාරණා ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ට පවා මෙවැනි අහිතකර ක්‍රියාමාර්ග සිතාමතාම ඇති කරන පුද්ගලයන් ප්‍රශ්නයක් බවත්, ජනමාධ්‍යවේදීන්ගේ නිවැරදි මගපෙන්වීම් වෙනත් මානයන්ට ගෙනයෑමට ඔවුන්ට හැකි බවත්, මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ එවැනි අසංවර ලෙස කටයුතු කරන සහ වෙනත් න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට වක්‍රව දායක වන පුද්ගලයන් නිසා බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, සාධනීය කරුණු නිසි පරිදි ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ගේ ද රැකවරණයට මෙම ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිසියට බලයක් නෑ – නීතිඥ අජිත් පී. පෙරේරා

සත්‍ය ප්‍රකාශ කිරීමට කැමති මාධ්‍යයක් භාවිත කළ හැකි බව ද, සත්‍ය කුමක්ද යන්න තීරණය කිරීමට පොලිස් නිලධාරීන්ට බලයක් නැති බව ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙ⁣රේරා මහතා පවසයි.
‘සත්‍ය ප්‍රකාශ කරන්න. ඔබ කැමති මාධ්‍යයක් ඒ සඳහා භාවිත කරන්න. සත්‍ය කුමක්ද යන්න තීරණය කරන්න පොලිස් රාලහාමිට බලයක් නැහැ. අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතියක්. ඔබ ජීවත් වන රටේ ආණ්ඩුව වර්ණනා කරන්නත්, විවේචනයටත් ඔබට අයිතියක් තියෙනවා. ඒ අයිතිය උදුරාගන්න කාටවත් බැහැ. අදහස් ප්‍රකාශ කිරීම නිසා පොලීසියෙන් හිරිහැර සිදුවෙනවා නම් අපට දැනුම් දෙන්න. නොමිලයේ නීතිඥ සහාය (Legal Aid) ලබාදීමට අපි සූදානම්.
පොලිස් ආඥා පනතේ 98 වන වගන්තිය අනුව , අසත්‍ය පුවත් (fake news) සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්කළ පමණකින් අපරාධ වරදක් (criminal offense) හටගන්නේ නැහැ. බොරු කියා රටේ යම් ප්‍රදේශයක මහජන කැළඹීමක් (create a panic) ඇති කරන අයෙකුට පමණයි මෙම වගන්තිය අදාළ වන්නේ. (අසත්‍ය ප්‍රකාශ කිරීම මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.) අසාධාරණ ලෙස, අපරාධ වරදක් කළ බවට සාධාරණ පදනමක් නොමැතිව, යම් අයෙකුව අත්අඩංගුවට ගතහොත් එය මූලික අයිතිවාසිකම් කඩකිරීමක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරා නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම කළ අයට එරෙහිව සහන ලබාගැනීමට හැකියාව තිබෙනවා. රජය වර්ණනා කිරීමට මෙන්ම රජයේ ක්‍රියාකාරිත්වය විවේචනයට පුරවැසියන්ට ඇති අයිතිය දිගින්-දිගටම අධිකරණය පිළිගත් පරම අයිතියක්’ යැයි නීතිඥවරයා ෆේස්බුක් සටහනක් මගින් අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මෙසේ සඳහන් කරයි.

විවිධ පුද්ගලයන් සහ පාර්ශ්වයන් විසින් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් මහජනතාව වෙත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට වාර්තා වී ඇත.
එවැනි අසත්‍ය තොරතුරු හේතුවෙන් මහජන සාමය බිඳවැටීම, විවිධ ජාතීන් අතර හෝ ආගම් අතර බේද ඇතිවීම, ළමයින්⁣ට හා කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ සිදුවීම, ආගම් ඇදහීම්වලට පීඩා සිදුවීම, විවිධ වංචා සිදුකිරීම වැනි වැරදි සිදුවීමට තුඩු දිය හැකි අතර ම, එම අසත්‍ය තොරතුරු මත පදනම්ව මහජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීම සඳහා පෙළඹීම ද සිදුවිය හැකි බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව ඉහත පරිදි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන තැනැත්තන් එම තොරතුරු ප්‍රචාරය කිරීම හා ඒ මත පදනම්ව කටයුතු කිරීම හේතුවෙන් එවැනි තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් පහත සඳහන් වැරදි සිදුකිරීම හෝ එවැනි වරදක් සිදුකිරීම සඳහා අනුබල දීම සිදුවිය හැකිය.
  • ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 286, 286(අ), 291(ආ), 345, 365(ඇ), 402, 403, 486 වගන්ති
  • 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ 3 වගන්තිය
  • 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය
  • 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 2 සහ 3 වගන්ති
  • 1927 අංක 04 දරන අසත්‍ය ප්‍රකාශන පනතේ 02 වගන්තිය
මෙම වැරදි වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි වැරදි වේ.
ඉහත නෛතික ප්‍රතිපාදනවලට අමතරව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හා ආනුෂාංගික ක්‍රියා හේතුවෙන් වෙනත් නෛතික ප්‍රතිපාදන යටතේ ද වැරදි සිදුවිය හැකි බව අවධාරණය කරනු ලැබේ.
මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ශ්‍රී ලංකා පොලිසිය ගරු කරනු ලබන අතර, නිදහස් මාධ්‍ය භාවිතයට බාධා කිරීම හෝ මර්දනය කිරීම කිසිසේත්ම අපේක්ෂා කරනු නොලබන බවත් එම අයිතීන් භුක්ති විඳීමේ නාමයෙන් මහජනතාව අතර ද්වේෂය, වෛරය ඇතිකරන පුද්ගලයන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය, අන්තර්ජාලය තුළ සැරිසරමින් විමර්ශන කටයුතු සිදු කර ඉහත වැරදි කරන්නන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
ඒ අනුව සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් සංවිධානාත්මකව හෝ පෞද්ගලිකව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෝ එවැනි තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා සහායදීම හෝ අනුබලදීම සිදුකිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
Previous articleකොරෝනා පාලනය සංසන්දනයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාව නොමග යවයි?
Next articleවෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here