හේතු නොදක්වා අත්අඩංගුවට ගත් තරුණයා රිමාන්ඩ්

වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ බව කියමින් ඊයේ අත්අඩංගුවට ගත් රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නම් තරුණයා හෙට (09) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (08) නියෝග කළාය.
මෙම තරුණයා ඊයේ රහස් පොලිසියේ යැයි කියා ගන්නා පිරිසක් පැමිණ චෝදනා පැහැදිලි කර දීමකින් තොරව රැගෙන ගොස් තිබිණි.
ඊයේ කියා තිබුණේ ඔහු වට්ස්ඇප් සම්බන්ධයෙන් පළ කළ නිවේදනයක් ගැන මෙම විමර්ශනය යන බවයි. කෙසේ වෙතත් අද ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය දැනුම් දුන්නේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට මෙම තරුණයා ව්‍යාජ නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
තරුණයා වෙනුවෙන් නීතීඥ ඩිලාන් නාලක, සංජය ආරියදාස, මිගාර ඩොස් සමඟ තිෂ්‍ය වේරගොඩ යන මහත්වරු පෙනී සිටියහ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මීට පෙර ප්‍රකාශයක් ලබා ගෙන එය අවසන් කළ බවත්, ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස්ඇප් සම්බන්ධයෙන් නිවේදනයකට බව කියමින් බවත් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේය.
මෙවැනි නිවේදනයක් පළ කිරීමට ඇති අයිතිය කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විමසීමක් කළ අතර නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ තරුණයා පුරවැසියෙක් වීමම ප්‍රමාණවත් බවයි. මෙය භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් බවත් දීර්ඝ කරුණු දැක්වීමක් කරමින් නීතීඥවරයා පැහැදිලි කළේය. මෙම නඩුව ඇසීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බව ද නීතිඥවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම නඩුව යොමු කළ යුත්තේ තමාට නොව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට බැවින් හෙට මෙම තරුණයා ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලෙස නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහු හෙට දක්වා රිමාන්ඩ් කරන ලෙස ද නියෝග කළාය.
මේ සම්බන්ධයෙන් MediaLK ඊයේ පළ කළ ප්‍රවෘත්තිය පහත දැක්වේ.

වරෙන්තු නෑ – චෝදනා පැහැදිලි කිරීමක් නෑ : නිවේදනයක් සම්බන්ධයෙන් තරුණයෙක් අත්අඩංගුවට !

Previous articleකිසිවක් හංගලා නෑ : නොතීසි නිකුත් කිරීම නීතිවිරෝධියි – එක්ස්ප්‍රස් පර්ල් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට කියති !
Next articleසාගරයේ හෙට දවස වෙනුවෙන් පියවර රැසක් ගත්තා – අගමැතිගේ නිවේදනය අභියෝගයට ලක්කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here