අසත්‍ය පුවත් මුවාවෙන් වැටබඳින ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් අධිකරණයට වගකීමක් නැද්ද ?

(තරිඳු ජයවර්ධන)
‘අසත්‍ය පුවත් පළ කළැයි කියමින් සමාජ මාධ්‍යවල අදහස් පළ කළ කිහිප දෙනෙක් පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා නිවේදනයක් නිකුත් කරමින් ‘අසත්‍ය පුවත්’ පළ කරන්නන් අත්අඩංගුවට ගන්නා බව ඊයේ (08) ප්‍රකාශ කළේය.
ඊට පෙර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න 2020 අප්‍රේල් පළමු වැනි දා නිවේදනයක් නිකුත් කරමින් ‘සුළු වැරදි’ සම්බන්ධයෙන් විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බව ප්‍රකාශ කළේය.
එලෙසම ‘අසත්‍ය පුවත්’ සම්බන්ධයෙන් නීතියක් ගෙන ඒමට ද පසුගිය කාලයේ කතා බහක් ඇති විය. ශ්‍රී ලංකාවේ ‘අසත්‍ය පුවත්’ යැයි කියමින් භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට උත්සාහ කරන්නේ ලෝකයේ මානව හිමිකම් පිළිබඳ උනන්දුවක් දක්වන රාජ්‍යයන් සහ අධිකරණ යාන්ත්‍රණයන් මගින් භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හීන කිරීමට හේතුවන ‘අසත්‍ය පුවත්’ පිළිබඳ නීති ඉවත් කරන ලෙස නියෝග කරනා පසුබිමකදී ය.
දේශද්‍රෝහීත්වය, අපහාස කිරීම සහ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් සාපරාධී සම්බාධක පැනවීමේ පුරුද්ද මගින් ප්‍රකාශන නිදහස ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ලෙස සීමා කළ හැකි බවත්,  මෙම නීති ක්‍රියාත්මක කිරීම මගින් ජාත්‍යන්තරව සහතික කර ඇති අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය විය හැකි බවත් බටහිර අප්‍රිකා රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාවේ ප්‍රජා අධිකරණය (ECOWAS Court) 2018 පෙබරවාරි මස 13 වැනි දා ප්‍රකාශ කළේය.
ඒ අප්‍රිකා ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සහ ගැම්බියා ජනමාධ්‍යවේදීන් පිරිසක් ගැම්බියාවට එරෙහිව ගොනු කළ නඩුවක තීන්දුව ලබා දෙමිනි.
ගැම්බියාවේ දේශද්‍රෝහීත්වය, සාපරාධී අපහාස කිරීම සහ අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශනය පිළිබඳ නීති සමාලෝචනය කර ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ජාත්‍යන්තර විධිවිධානවලට අනුකූල වන පරිදි එම නිදහස ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට අධිකරණය නියෝග කළේය.
නඩුවේ පළමු පැමිණිලිකරු අප්‍රිකා ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයයි. එය අප්‍රිකා ජනමාධ්‍යවේදීන්ගේ වැඩිම නියෝජනයක් සහිත සංවිධානයක් වන අතර 2007 දී ආරම්භ කර ඇතැයි කියැවේ.
දෙවැනි, තෙවැනි, සිව් වැනි සහ පස් වැනි පැමිණිලිකරුවන් අප්‍රිකා පුරවැසියන් වූ අතර නඩුව ගොනු කරන අවස්ථාව වන විට ඔවුහු පිටුවහල්ව ජීවත් වී සිටියහ.  කායික හා මානසික හිංසාකිරීම් හේතුකොට ගෙන ඔවුන් ගැම්බියාවෙන් පලාගොස් ඇති බව නඩුවේදී කියැවී තිබිණි.
ගැම්බියාවේ ජනාධිපතිවරයාට එරෙහිව ලිපියක් රචනා කළ බවට වූ බොරු චෝදනාවලින් පසුව, එරට ආරක්ෂක නිලධාරීන් විසින් 2013 සැප්තැම්බර් 15 වන දින තමා අත්අඩංගුවට ගෙන රඳවා තබන ලද බව දෙවැනි පැමිණිලිකාරිය Fatou Camara සඳහන් කළාය.
2013 ඔක්තෝම්බර් 10 වන දින, අපරාධ නීති සංග්‍රහයේ එස්.59 සහ 2013 තොරතුරු හා සන්නිවේදන (සංශෝධන) පනතේ එස්. 173 ඒ යන ව්‍යාජ ප්‍රවෘත්ති විධිවිධාන යටතේ ඇයට එරෙහිව නඩු පවරා ඇත. එම නඩුවට අදාලව ඇයට ගැම්බියා ඩලසි (ගම්බියා මුදලින්) මිලියන පහක ඇප නියමවී තිබිණි. ඇයගේ නඩු විභාගයට දේශපාලනික වශයෙන් බලපෑම් සහිතව විභාග වෙතියි බියෙන් ඇය සෙනෙගල් හරහා එක්සත් ජනපදයට පලා ගොස් සිටියාය.
2003 සැප්තැම්බර් සිට 2005 ඔක්තෝබර් දක්වා කාලය තුළ රජය සහ ගැම්බියා ජනාධිපතිවරයා විවේචනය කරමින් පළ කරන ලද ලිපි හා ප්‍රසිද්ධ ප්‍රකාශ මාලාවකින් පසු තුන් වැනි පැමිණිලිකාරිය වූ Fatou Jaw Manneh 2007 මාර්තු 28 වැනි දින අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඇයට එරෙහිව නඩු විභාගයක් පවත්වා තිබේ. දේශද්‍රෝහී වීම සහ ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම යන චෝදනාවලට 2008 අගෝස්තු 18 වැනි දා ඇය වැරදිකාරිය කරනු ලැබුවාය. අනතුරුව පැය දෙකක් ඇතුළත ගැම්බියා ඩලසි දෙලක්ෂ පනස් දහසක දඩයක් ගෙවන ලෙස නියම කෙරිණි. එම දඩය ගෙවාගැනීමට නොහැකිවූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කර තිබේ. අනතුරුව ගැම්බියා ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, පවුලේ ඥාතීන්ගේ සහ තවත් ආධාරකරුවන්ගේ උදව් ඇතිව දඩ මුදල ගෙවා දැමූ ඇය ගැම්බියාව හැර දමා එක්සත් ජනපදයේ පදිංචියට ගියාය.
හතර වැනි පැමිණිලිකරු Alhagie Jobe  නඩුවේදී ප්‍රකාශ කළේ 2013 පෙබරවාරි 7 වැනි දින සිරදඬුවම් ලැබ සිටි සිරකරුවන් නව දෙනකු මරා දැමීමට එරෙහි ස්ථාවරයක සිට ලියූ ලිපියක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවේ සිටියදී දින තුනක් තිස්සේ සම්පූර්ණයෙන්ම අඳුරු කාමරයක සිර කර තිබූ බව ඔහු තවදුරටත් චෝදනා කරයි. ඔහු සිහිසුන්ව සිටියදී ඔහුට පහර දී ඇති අතර පිළිස්සුම් තුවාල ද සිදු කර තිබේ. උසස් නිලධාරියෙකුගේ නියෝගය මත ඔහුව වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති බවත්, රෝහලෙන් පිටව ගිය පසු අපරාධ නීති සංග්‍රහයේ එස්.52 යටතේ දේශද්‍රෝහී චේතනාවෙන් ප්‍රකාශන පළ කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කළ බවත් කියැවිණි. ඔහුට ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප වූ අතර නඩු විභාගය අවසන් වන තෙක් මාස 17ක කාලයක් ඔහු රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටියේය. පසුව ඔහු කළ අභියාචනයක් අනුව ඔහු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබ තිබේ. තවදුරටත් ඔහුට පීඩා කරනු ඇතැයි බිය නිසා ඩකාර් සෙනෙගල් වෙත පලා ගිය බව නඩුවේදී කියැවිණි.
පස් වැනි පැමිණිලිකරු Lamin Fatty මෙම නඩුවට පසුව එකතු වී ඇති අතර ඔහු ද නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධ හිංසාවලට ලක්වූ ජනමාධ්‍යවේදියෙකි.
නඩුවේදී ජනමාධ්‍යවේදීන් තර්ක කළේ දේශද්‍රෝහී, අපහාස හා අසත්‍ය ප්‍රවෘත්ති යන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සහ වැරදිකරුවන් කිරීම මගින් ගැම්බියාව තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හා අදහස් බෙදාහදා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවයි. බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාවේ (ECOWAS ගිවිසුම) සංශෝධිත ගිවිසුමේ 66 (2) වගන්තිය යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට හිමිකම් ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ. අප්‍රිකා ප්‍රඥප්තියේ 6 වන වගන්තිය සහ අයිසීසීපීආර් හි 9 වැනි වගන්තිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සහ වධහිංසා පැමිණවීම ද ඔවුන්ගේ නිදහස අහිමි කිරීමක් බව ද මාධ්‍යවේදීහු තර්ක කළහ.
අයිසීසීපීආර් ඇතුළුව ජාත්‍යන්තර නීති සහ ප්‍රඥප්ති යටතේ ඇති බැඳීම් සපුරාලීම සඳහා ගැම්බියාව විසින් ඔවුන්ට චෝදනා කර තිබූ නීති අවලංගු කරන ලෙස හෝ වෙනත් ආකාරයකින් නීති සංශෝධනය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ජනමාධ්‍යවේදීහු ඉල්ලා සිටි අතර අත්අඩංගුවේ පසුවූ මාධ්‍යවේදීන් දෙදෙනෙකු අත්විඳි වධහිංසා සම්බන්ධයෙන් වන්දි සහ නිශ්චිත සහන ද ඉල්ලා සිටියහ.
නවෝක් ජේ මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මුලසුන දැරීය. ඔහු සහ  සී සේ සිල්වා මොන්ටෙයිරෝ සහ සල් ජේ. අධිෂ් යන විනිසුරුවරුන්ගේ ප්‍රධාන කාර්ය වූයේ දේශද්‍රෝහීත්වය, සාපරාධී අපහාස සහ අසත්‍ය ප්‍රවෘත්ති පිළිබඳ ගැම්බියාවේ නීති මගින් ජාත්‍යන්තර නීතිය යටතේ ඇති මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇත්ද යන්න සෙවීමයි.
ගැම්බියාවේ අපරාධ නීති, ජනමාධ්‍යවේදීන් ලෙස තමන්ගේ වෘත්තියට බලපා ඇති අතර මහජන අවශ්‍යතා සඳහා තොරතුරු නිදහසේ බෙදා හැරීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත්, අපරාධ නීති සංග්‍රහයේ විධිවිධාන  මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ  ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල විය යුතු වුවත් ECOWAS හි සාමාජිකයෙකු ලෙස ගැම්බියාව එම බැඳීම් උල්ලංඝනය කර ඇති බවත් මාධ්‍යවේදීහු තර්ක කළහ.
ව්‍යාජ ප්‍රවෘත්ති වරද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් තර්ක කළේ පුවත්පත් කලාවේ දී සිදුවිය හැකි වැරදි වැළැක්විය නොහැකි නමුත් මෙම දෝෂ සඳහා සාපරාධී වගකීම් පැවතීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කරන බවයි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ මූලික වැදගත්කම මෙම අධිකරණය පිළිගත් අතර එම අයිතිය “ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් ගල පමණක් නොව, දියුණු වෙමින් පවතින සිවිල් සමාජයකට අත්‍යවශ්‍ය කරුණක්” බව ද ප්‍රකාශ කළේය. නඩු විභාගයෙන් පසු අධිකරණය කරුණු පහක් යටතේ සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය.
1) මෙම නඩුවේ 2, 3, 4 සහ 5 වන අයදුම්කරුවන්ට (පැමිණිලිකරුවන්) එරෙහිව දේශද්‍රෝහීත්වය පිළිබඳ නීතියේ විධිවිධාන බලාත්මක කිරීමේ දී විත්තිකරුගේ (ගැම්බියාවේ) ක්‍රියාමාර්ගය අප්‍රිකා ප්‍රඥප්තියේ 6, 9 12 වන වගන්තිය යටතේ අයදුම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 9, 12 (4) සහ 19 (2) වගන්ති සහ සංශෝධිත ECOWAS ගිවිසුමේ 66 (2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය තීන්දු කළේය.
2) හතර වැනි සහ පස් වැනි අයදුම්කරුවන්ට (පැමිණිලිකරුවන්ට) වධ හිංසා කිරීම, අමානුෂික සහ පහත් ලෙස සැලකීම මගින් ගැම්බියාව මානව හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය සහ අයිසීසීපීආර් හි 7 වැනි වගන්තිය යටතේ ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අධිකරණය තීන්දු කළේය.
3) අන්තර්ජාතික නීතිය යටතේ ඇති බැඳීම්වලට අනුකූලව, විශේෂයෙන්ම මානව හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය, අයිසීසීපීආර් සහ ECOWAS සංශෝධිත ගිවිසුම අනුව ගැම්බියාවේ පෙර සඳහන් කළ නීති වහාම අවලංගු කිරීමට සහ / හෝ සංශෝධනය කිරීමට ද අධිකරණය ගැම්බියාවට නියෝග කළේය.
4) අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ වධහිංසා වලින් නිදහස් වීමේ අයිතිය ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බැවින් 4 වැනි සහ 5 වැනි අයදුම්කරුවන්ට (පැමිණිලිකරුවන්ට) ගැම්බියානු ඩලසි මිලියන දෙක බැගින් ගෙවන ලෙස ගැම්බියාවට නියෝග කළේය.
5) 2 වන සහ 3 වන අයදුම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීම හේතුවෙන් ඔවුන්ට ගැම්බියන් ඩලසි මිලියනය බැගින් ගෙවන ලෙස ද අධිකරණය ගැම්බියාවට නියෝග කළේය.
Previous articleවෙනත් චෝදනා ඉදිරිපත් කරන තුරු තරුණයා රිමාන්ඩ් කරන්න – සීඅයිඩීයේ ඉල්ලීම මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි !
Next articleමහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශයක් දීම වළක්වන්න සැකකරුවන් රහසිගත ස්ථානයක සඟවලා – සීඅයිඩීයට චෝදනාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here