එන්නත් මිශ්‍ර කිරීමට විශේෂඥ අනුමැතිය නෑ – පර්යේෂණ පමණයි : ගම්මන්පිලගේ බොරුවේ ඇත්ත මෙන්න !

(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා මර්දන එන්නත් වර්ග දෙකක් මිශ්‍ර කර එන්නත්කරණය කිරීමේ ගැටළුවක් නොමැති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පසුගිය 11 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
‘මේ වන විට මේ විෂය පිළිබඳ විශේෂඥයන් අදහස් දක්වලා තියෙනවා පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකිනුත් දෙවැනි මාත්‍රාව තවත් එන්නත් වර්ගයකිනුත් ලබාගැනීමේ ප්‍රශ්නයක් නෑ කියලා. ඒ පිළිබඳ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් අවසාන තීන්දුවක් ගනීවි. ඒ නිසා පළමු මාත්‍රාව විතරක් අරගෙන සිටින පුද්ගලයන් දෙවැනි මාත්‍රාව ලබගැනීම පිළිබඳ බියක්-සැකයක් ඇතිකරගන්න කිසිම හේතුවක් නෑ’ යැයි ඔහු එහිදී සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය

මාත්‍රා දෙක වෙනස් වර්ගවල එන්නත් දෙකකින් ලබාදිය හැකිදැයි MediaLK ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ විමසීමකදී ඔවුන් විද්‍යුත් තැපෑල හරහා පිළිතුරු සපයමින් පැවසුවේ ‘මිශ්‍ර එන්නත්කරණය’ මගින් ප්‍රතිශක්තිජනක හැකියාව හෝ කාර්යක්ෂමතාව වර්ධනය වන ආකාරය පිළිබඳ දත්ත තවමත් නොමැති බවයි.
MediaLK – පළමු මාත්‍රාව එක් එන්නතකිනුත්, දෙවන මාත්‍රාව වෙනත් එන්නතකිනුත් ලබා දිය හැකි බවට ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු ප්‍රකාශ කර තිබෙනවා. එසේ සිදුකිරීම ආරක්ෂිත බවට තහවුරු වී තිබෙනවාද?
WHO – මිශ්‍ර එන්නත්කරණය’ මගින් ප්‍රතිශක්තිජනක හැකියාව හෝ කාර්යක්ෂමතාව පිළිබඳ දත්ත තවමත් නැහැ. පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.
MediaLK – එය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ කුමන ආකාරයටද?
WHO – හදිසි භාවිත ලැයිස්තුවට (EUL) එක්කර ඇති කොවිඩ්-19 එන්නත් අනුමත කර ඇත්තේ තනි භාවිතය සඳහා පමණයි.
MediaLK – ඊට අදාළ පරීක්ෂණවල වර්තමාන තත්ත්වය…?
WHO – එක්සත් රාජධානියේ සායනික අත්හදා බැලීමක් මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඇස්ට්‍රාසෙනෙකා එන්නත හා ෆයිසර් එන්නත මිශ්‍ර කිරීම පිළිබඳව ඔවුන් සලකා බලමින් සිටිනවා. මෙම අත්හදා බැලීම මොඩර්නා සහ නොවවැක්ස් එන්නත් දක්වා සිදුකිරීමට ද පරීක්ෂණ පුළුල් කර තිබෙනවා. එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳ වැඩිදුර අධ්‍යයනයන් ලෝක සෞඛ්‍ය සංවිධානය දිරිමත් කරනවා.

තවම පරීක්ෂණ මට්ටමේ විතරයි – කොහෙවත් තහවුරු වෙලා නෑ

එන්නත් මිශ්‍ර කර ලබාදීම තවම ඇත්තේ පර්යේෂණ මට්ටමේ පමණක් බවත්, මෙතෙක් එය විද්‍යානුකූලව අනුමත කර නොමැති බවත් එන්නත්කරණවේදී, වෛරස රෝග විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය MediaLK වෙත පසුගියදා පැවසුවාය.
‘මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ප්‍රමාද වෙන තත්ත්වයක් තිබෙනවා. එය ගෙන්වාගන්නට රජය උත්සාහ දරමින් සිටිනවා. එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකියාවක් (Mix and match) තිබෙනවාද කියලත් සොයා බලනවා. ඒ කියන්නේ එක එන්නත් වර්ගයකින් පළමු මාත්‍රාව ලබාගත් අයට වෙනත් වර්ගයක කෝවිඩ් එන්නතකින් දෙවැනි මාත්‍රාව දෙන්න පුළුවන්ද කියන එකයි සොයා බලන්නේ. මේක තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. තවම විද්‍යානුකූලව එය අනුමත කරලා නැහැ. නමුත් රටවල් දෙකක් හෝ තුනක් පරීක්ෂණ ප්‍රතිඵල එන්නට පෙර, තරුණ අයට එන්නත් වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රොසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් තරුණ අයට දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හරි ෆයිසර් හරි එන්නතක් ලබාගන්න අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ රටවල්වල නියාමන අධිකාරීන් විසින් තමයි මේ තීරණය අරගෙන තිබෙන්නේ. නමුත් තවම ලෝකයේ මේ සම්බන්ධයෙන් නිශ්චිතව, විද්‍යාත්මකව තහවුරු කරපු තොරතුරක් නැහැ. මේ ආකාරයට එන්නත් වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබාදීලා අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්නට පුළුවන් කියන දත්ත තවමත් ලෝකයට ලැබිලා නැහැ.’

ආරක්ෂිත බවට තවම තහවුරු වී නෑ – කොරෝනා පාලනය බාර අමාත්‍යවරිය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ කොරෝනා එන්නත් මිශ්‍ර කිරීම ආරක්ෂිත බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවයි.
‘තවම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පළමු මාත්‍රාව ඇස්ට්‍රොසෙනෙකා එන්නත ගත්තනම්, දෙවැනි මාත්‍රාවත් ඇස්ට්‍රොසෙනෙකා ගන්න කියලා. හැබැයි ලෝකේ පර්යේෂණ සිද්ධවෙනවා මිශ්‍රණයක් භාවිත කරන්න පුළුවන්ද කියලා. මොකද හැම රටක්ම එන්නත් ගන්න අර්බුදයට මුහුණ දීලා තියෙනවා. පරීක්ෂණ කරනවා පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකිනුත් දෙන්න පුළුවන්ද කියලා. තවම ඒ ප්‍රතිඵල නිකුත් වෙලා නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිර්දේශ කරන්නේ පළමු මාත්‍රාව ගන්නා වර්ගයෙන් දෙවැනි මාත්‍රාවත් ගන්න කියලා. හැබැයි ඉස්සරහදි මේ කියන නිර්දේශ වෙනස්වෙන්න පුළුවන්. තවම විද්‍යානුකූලවත් ලෝක සෞඛ්‍ය සංවිධානයවත් තහවුරු කරලා නෑ එන්නත් මිශ්‍ර කරන්න පුළුවන් කියලා..’

අවසන් නිගමනයක් නෑ – පර්යේෂණ පමණයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් රටවල් ගණනාවක් තවමත් පරීක්ෂණ සිදුකරන බවයි. නමුත් තවමත් අවසන් නිගමනයක් නිකුත් කර නොමැති බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයාගේ ප්‍රතිචාරයක් නෑ

මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතාගෙන් විමසීම සඳහා ඔහුගේ දුරකතනය සමග සම්බන්ධ වූ නමුත්, දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා පැවසුවේ ගම්මන්පිල මහතා රැස්වීමක සිටින බවත්, එය අවසන්වීමට ‘ගොඩක් වෙලා’ යන බවත් ය. රැස්වීම අවසන් වන වේලාව පිළිබඳ දැනගැනීම සඳහා අප ගත් උත්සාහය ව්‍යර්ථ විය.

මිශ්‍ර කළොත් අතුරු ආබාධ වැඩියි

එන්නත් මිශ්‍ර කිරීම පිළිබඳ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ වන විට පරීක්ෂණ කිහිපයක් සිදුකරමින් සිටී.
එහිදී ෆයිසර් / ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රොසෙනෙකා එන්නත් මිශ්‍ර කර මාත්‍රා කාලසටහන් සංසන්දනය කරමින් කරන ලද පර්යේෂණ අතරින් එක් පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ මිශ්‍ර මාත්‍රා එන්නත් ලබාගන්නා පුද්ගලයන් තුළ අහිතකර ලෙස අතුරු ආබාධ රෝග ලක්ෂණ වැඩි වන බවයි. අහිතකර අතුරු ආබාධ රෝග ලක්ෂණ කෙටි කාලයක් පැවති බව ද එම පරීක්ෂණයෙන් තහවුරු වූයේ යැයි ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල පරීක්ෂණ කණ්ඩායම පවසා ඇත.
එන්නත් දෙකක් මිශ්‍ර කිරීම මගින් ප්‍රතිශක්තිකාරකතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් මෙම අධ්‍යයනයෙන් ලැබුණු දත්තවලින් නිගමනයකට ආ නොහැකි බව ද, ඉදිරියේදී එම කරුණු පර්යේෂණ මගින් තහවුරු කරගැනීමට නියමිත බව ද එම පරීක්ෂණ කණ්ඩායම සඳහන් කර තිබේ.
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රොසෙනෙකා එන්නත සහ ෆයිසර් එන්නත්වලට ඇති විකල්ප මාත්‍රාවන් පිළිබඳව සොයාබැලීම සඳහා මේ වසර මුලදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Com-Cov අධ්‍යයනය ආරම්භ කරන ලදි. ඔවුන් ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තාවට අනුව සති හතරක කාල පරතරයක් ඇතිව සිදුකරන ලද මෙම මිශ්‍ර එන්නත්කරණය පහත පරිදි සිදුකර තිබේ.
  1. පළමු ම්‍රාතාව ලෙස ෆයිසර් එන්නත ලබාදී දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රොසෙනෙකා එන්නත ලබාදීම.
  2. පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රොසෙනෙකා සහ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම
  3. මිශ්‍ර නොකරන ලද එන්නත් මාත්‍රා
ඉහත ආකාර අතරින් මිශ්‍ර නොකරන ලද එන්නත්කරණ ක්‍රමවේදයට වඩා මිශ්‍ර කරන ලද එන්නත්කරණ ක්‍රමවේදය මගින් වඩාත් වැඩි අතුරු රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව එම පර්යේෂණ කණ්ඩායම සඳහන් කරයි.

සාර්ථක ද, නැද්ද යන්න තවමත් කිව නොහැකියි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ළමා රෝග හා එන්නත් පිළිබඳ සහකාර මහාචාර්ය සහ මෙම පරීක්ෂණය පිළිබඳ ප්‍රධාන විමර්ශක මැතිව් ස්නේප් මේ පිළිබඳව මෙසේ අදහස් දක්වයි.
‘විශේෂයෙන් මෙම මිශ්‍ර-මාත්‍රා ක්‍රමවේදය පිළිබඳ රටවල් කිහිපයක් අවධානය යොමුකරමින් සිටින බැවින් මෙම අධ්‍යයනයන් හරහා අප පර්යේෂණය කිරීමට උත්සාහ කරන දත්ත පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත්. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලවලට අනුව මිශ්‍ර-මාත්‍රා මගින් එන්නත්කරණයෙන් පසු දිනවලදී වැඩ කිරීමට ඇතිවන අපහසුතා වැඩි විය හැකි අතර, සෞඛ්‍ය සේවකයන්ට මෙම ක්‍රමවේදය අනුව ප්‍රතිශක්තිකරණය සැලසුම් කිරීමේදී මෙය සැලකිල්ලට ගත යුතුය.’
මෙමගින් වෙනත් ආරක්ෂිත ගැටළු දක්නට නොලැබුණු බවත්, ප්‍රතිශක්තිකරණයට මිශ්‍ර එන්නත්කරණය මගින් සිදුවන බලපෑම හෝ සාර්ථකත්වය මෙම පරීක්ෂණය මගින් නිරීක්ෂණය කළ නොහැකි බවත් මැතිව් ස්නේප් පවසයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි මාසවලදී දත්ත වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද ස්නේප් කියයි.
වයස අවුරුදු 50 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පුද්ගලයන් යොදාගෙන මෙම අධ්‍යයනය සිදුකර ඇතැයි ද, මෙම තත්ත්වය තරුණ පිරිස් අතර වෙනස් ආකාරයට ඇතිවිය හැකි යැයි ද ස්නේප් අවධාරණය කර සිටී.
සමස්තයක් වශයෙන්, “එය සැබැවින්ම කුතුහලය දනවන සොයාගැනීමක්, එවන් ස්ථාවර පොදු ප්‍රතික්‍රියාවක් පෙන්නුම් කිරීම අපි අපේක්ෂා කරපු දෙයක් නෙමෙයි.” යැයි මැතිව් ස්නේප් මාධ්‍යයට පවසා තිබිණි.
එන්නත් මිශ්‍ර මාත්‍රා ලබාගත් පුද්ගලයන්ට උණ, වෙවුලන ගතිය, තෙහෙට්ටුව හෝ හිසරදය වැනි අතුරු ආබාධ රෝග ලක්ෂණ සාමාන්‍ය එන්නත්කරණයට වඩා ඇතිවීමට වැඩි ඉඩක් ඇති බව ද පර්යේෂකයන් වාර්තා කර ඇත. මිශ්‍ර මාත්‍රා ක්‍රමවේදය අනුව එන්නත් ලබාදීම යනු වඩාත් විමසිල්ලෙන් සිටිය යුතු දෙයක් බව පර්යේෂකයෝ මෙහිදී අවධාරණය කරති.
“එකම දිනයේ එකම වාට්ටුවක හෙදියන් සියලුදෙනාට මිශ්‍ර මාත්‍රා අනුව එන්නත් කිරීම සුදුසු දෙයක් නොවනු ඇත. ඊළඟ දවසේ හෙදියන් කිසිවෙක් සේවයට නොපැමිණීමට වැඩි ඉඩක් ඇත” යැයි ස්නේප් පවසා තිබිණි.

පරීක්ෂණය සිදුවූයේ කෙසේද?

අහඹු ලෙස තෝරාගනු ලැබූ 50 දෙනෙකුට සහ ඊට වැඩි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 830 දෙනෙකුට ඉහත සඳහන් කළ එන්නත්කරණ ක්‍රමවේදයන්ට පළමු හා දෙවන මාත්‍රාවන් දින 28 ක කාල පරතරයකින් ලබා දී ඇත.
ලැන්සෙට් හි ප්‍රකාශයට පත්කරන ලද පර්යේෂණ වාර්තාවට අනුව සති හතරක කාල පරතරයකින් ලබාදෙන ලද මෙම මිශ්‍ර එන්නත්කරණය මෙසේ ආකාර තුනකින් ලබාදී තිබේ.
  1. පළමු ම්‍රාතාව ලෙස ෆයිසර් එන්නත ලබාදී දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රොසෙනෙකා එන්නත ලබාදීම
  2. පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රොසෙනෙකා සහ දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම
  3. මාත්‍රා දෙකටම ඇස්ට්‍රොසෙනෙකා එන්නත හෝ මාත්‍රා දෙකටම ෆයිසර් එන්නත ලබාදීම

අතුරු ආබාධ මොනවාද?

දෙවන මාත්‍රාව ලබාදීමෙන් පසුව මිශ්‍ර එන්නත් ලබාගත් පුද්ගලයන්ට වැඩි අතුරු ආබාධ ඇති වූ බව පර්යේෂකයෝ සොයා ගත් අතර එ්වා පහත පරිදි වේ.
පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රොසෙනෙකා එන්නත ලබාගෙන දෙවනුව ෆයිසර් එන්නත ලබාගත් අයගෙන් සියයට 34කට උණ රෝගය ඇතිවීම (එන්නත් මාත්‍රා දෙකටම ඇස්ට්‍රොසෙනෙකා එන්නත ලබාදුන් අයගෙන් සියයට 10කට පමණක් උණ රෝග තත්ත්ව ඇතිවී තිබිණි.)
පළමු මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාගෙන දෙවැනි එන්නත ලෙස ඇස්ට්‍රොසෙනෙකා එන්නත ලබාගත් අයගෙන් සියයට 41 කගෙන් උණ වාර්තා වීම. (මාත්‍රා දෙකටම ෆයිසර් එන්නත ලබාගත් අයගෙන් උණ වාර්තා වී ඇත්තේ සියයට 21 දෙනෙකුට පමණි.)
සෙම්ප්‍රතිශ්‍යාව, තෙහෙට්ටුව, හිසරදය, සන්ධි වේදනාව, මාංශ පේශී කැක්කුම වැනි රෝග ලක්ෂණවල ද මෙවැනිම ආකාරයේ ඉහළයෑමක් දක්නට ලැබී තිබේ.
රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත කිරීම් සිදුවී නැති අතර, එන්නත්කරණයෙන් පැය 48 ක් ඇතුළත මෙවන් අතුරු ආබාධ පෙන්නුම් කර ඇත. එමෙන්ම දෙවන මාත්‍රාවෙන් පසු සතියක කාලය ඇතුළත, ඇස්ට්‍රොසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල අතුරු ආබාධයක් වන රුධිර කැටි ගැසීමේ සින්ඩ්‍රෝමය වැනි අතුරු ආබාධ මෙහිදී දකින්නට නොලැබුණ බව පරීක්ෂකයෝ සඳහන් කරති.
මෙම සොයාගැනීම් මූලික දත්ත මත පමණක් පදනම් වී ඇති බවත්, මොඩර්නා සහ නොවැවැක්ස් එන්නත් සම්බන්ධයෙන් ද මෙලෙස පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් ඔවුහු පැවසූහ.
Previous articleමැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ : අදහස් දෙන්න ජනතාවට මාසයක්
Next articleසැකකරුවන් ඝාතනය : නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ ගැටළුවක් – මානව හිමිකම් කොමිසම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here